මේ දවස්වල වැඩ කරන්නෙ මගෙ ජීවිතේ වැඩිපුරම කැමැති කෙනා එක්ක-පූජන දන්දෙණිය

 


වේදිකාව තුළින් තම රංගන ජීවිතය ආරම්භ කළ ඔහු මෙරට කලාවට දායාද වූ අති දක්ෂයෙකි. සමකාලීන රංගන ශිල්පීන් අතරින් කැපී පෙනෙන නිර්මාණ රාශියකටම දායක වීමට අවස්ථාව ලද ඔහු ඒ සියලු නිර්මාණ හරහාම තම දක්ෂතා මනාවට පෙන්වීමට සමත් විය. නමින් පූජන දන්දෙණිය වූ ඔහු පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙන්නේ උමතුවෝ දෙදෙනෙක් කෙටි ටෙලි නාට්‍යය හේතුවෙනුයි. 


උමතුවෝ දෙන්නෙක් ගැන කියලම කතාව ආරම්භ කරමු?


උමතුවෝ දෙන්නෙක් කියන්නේ සෑහෙන කාලයකින් මට හමුවුණු හොඳ පිටපතක්. ඒ වගේම මම ඒකේ වැඩ කරන්නේ මගේ ජීවිතේ මම කැමැතිම රංගන ශිල්පියා වූ ප්‍රියන්ත සිරිකුමාර සමඟ. ඒක මට තවත් ජයග්‍රහණයක්. උමතුවෝ දෙන්නෙක් කියන්නේ පවුලේ හැමෝටම වාඩි වෙලා බලන්න පුළුවන් ආකාරයේ ලස්සන කතාවක් සහිත ත්‍රිලර් ඩ්‍රාමා ගණයේ කතන්දරයක්. ආරාධනා කරනවා හැමෝටම ඒක බලන්න කියලා. ඒක ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා හිතනවා.


සෝප් ඔපෙරාවලට පුරුදු වුණු ප්‍රේක්ෂකයන්ට මිනි සීරිස් ඔරොත්තු දෙනවාද? ඒ ගැන ඔබේ අදහස?


ඉතාමත් හොඳින් ඔරොත්තු දෙනවා. මොකද අච්චර එපිසෝඩ් ගොඩක් බලන් හිටපු පිරිසට ඉතාමත් ඉක්මනින් මේක ඉවර වෙනවා. ඒ වගේම වැඩක් එක දිගට යනකම් ප්‍රේක්ෂකයා නිතරම ඉන්නේ කුතුහලයෙන්. එතකොට ඒ කතාව ඉවර වුණාම තමයි ප්‍රේක්ෂකයාට අවශ්‍ය රසය, හැඟීම, ආනන්දය හෝ ප්‍රඥාව පහළ වෙන්නේ ඒ කතාව ඉවර වුණාම. කතාව මඟදි එක පහළ වෙන්නේ නෑනේ. මිනි සීරිස් කියන්නේ ඉතාමත් වේගෙන් යන රෝලර් කෝස්ටර් එකක් වගේ. සෝප් ඔපෙරා මම දකින්නේ රෝලර් කෝස්ටර් එක හිර වෙවී යනවා වගේ. මේක ඉවර වෙන්න ඉතාමත් කාලයක් යනවා. අන්තිමට හිර වෙවී රෝලර් කෝස්ටර් එක ගිහින් නතර කළාම. ත්‍රිලර් එකකුත් නැහැ. වාව් එකකුත් නැහැ. එහෙම බලද්දි මට හිතෙනවා මිනි සීරීස් කියන දේ ප්‍රේක්ෂකයා ඉතාමත් හොඳින් වැලඳගන්න දෙයක් බවට පත්වෙනවා කියලා.


කලා නිර්මාණයක් තුළින් සමාජයට ආදර්ශයක් හෝ පණිවුඩයක් දීම අනිවාර්යයිද?


ආනන්දයෙන් ප්‍රඥාවට කියන කතන්දරය මම නෙවෙයි බර්ටෝල් බ්‍රෙෂ්ට් කියන්නේ. එයා පොඩි දේශපාලනික මතාවාදයක් වැපිරීම සඳහා තමයි එයාගේ නාට්‍ය භාවිත කළේ. කලා නිර්මාණයක් යනු සමාජය නැවත ප්‍රතිනිර්මාණය කිරීමක් කියලනේ කියන්නේ. චිත්‍රයක් ගත්තත්, කවියක් ගත්තත් මේ මොන ආකාරයේ කලා නිර්මාණයක් ගත්තත් සමාජය දෙසට කැඩපතක් අල්ලනවා අපි. එතැනදි සමාජයේ යම් කිසි සිදුවීමකට නිර්මාණකරු අර්ථකතයක් දෙන්න උත්සාහ කරනවා. ඒ නිර්මාණය රස විඳින රසිකයන් නැවතත් ඔවුන්ගේ අර්ථකථනයක් ඒ නිර්මාණයට ලබා දෙනවා. ඒ හරහා ඔවුන් ඒ සිදුවීම පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවා. පණිවුඩයක්ම නෙවෙයි. නමුත් කලා නිර්මාණයක් තුළින් හැම මොහොතකම සිදු කරන්නේ සමාජය ප්‍රතිනිර්මාණය කිරීමක්.


මිනි සීරීස් හරහා ජාතික නාළිකාවක් තුළින් ලිංගිකත්වය හුවා දක්වන බවට චෝදනාවක් තිබෙනවා. මේ ගැන මොනවාද කියන්න තිබෙන්නේ?


ලිංගිකත්වය කියන්නේ අපි හැමෝම තුළ තිබෙන මූලික මිනිස් අවශ්‍යතාවක්. ඒක ආයේ අමුතුවෙන් හුවා දක්වන්න අවශ්‍ය නැහැ. අපි දකිනවා මේක මාර සාරධර්මීය රටක් විධියට හදන්න උත්සාහ ගන්න පුද්ගලයන් මොන තරම් ලිංගික අපරාධ කරලා තිබෙනවද කියන දේ. මේක වහගෙන ඉන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. ලෝකේ ඒ දේවල් සඳහා වෙනම වෙබ් සයිට් පවා හැදිලා තිබෙනවා. එහෙම තිබෙන්නේ අදාළ මිනිස්සුන්ට ඒ රසය විඳින්න. ලිංගිකත්වය නෙවෙයි ඒ නිර්මාණවල ගැඹුරු අර්ථය කියවා ගැනීම අවශ්‍යයි. ඔය කියන සෝප් ඔපෙරාවල ලිංගිකත්වයකුත් නැහැ. ආදරය කියන එක හරියට ස්පර්ෂ කරන්නෙත් නැහැ. රියල් පොලිටිකල් මූමන්ට් එක ගැන කතා වෙන්නෙත් නැහැ. නමුත් ඔය චෝදනා කරන නිර්මාණ ඇතුළේ ඒ සියල්ලම ගැබ් වෙනවා. ඒක තමයි පරිපූරණ කලා කෘතියක් කියන්නේ. ඇත්තටම එහෙම දේවල් වෙනවා. ඒ වෙන දේවල් ප්‍රතිනිර්මාණය කිරීම අවශ්‍ය නම් ඒක කරන්න වෙනවා.


අද වනවිට දරුවන් වෙනුවෙන් කලා නිර්මාණ සිදු නොවන තරම්?


මමත් බිහිවෙන්නේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලෙන් ළමා නළුවෙක් විධියට. ළමා නාට්‍යයවල රංගනයේ නොයෙදුනා නම් අද මම කියන නළුවා නැහැ. ඒක තමයි මගේ ආරම්භය. නමුත් දැන් අවුරුදු කිහිපයක් පුරාවට එක දිගට රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් මුදල් වෙන් කරන්නේ නැහැ. එතකොට පාසලකට ගිහින් දරුවන්ට නාට්‍යයක් පෙන්වන්න උත්සාහ ගනිද්දි අපි මුහුණ දෙන ගැටලුත් එසේමයි. ඒක ඇත්තටම සඳහන් කළ යුතුම කාරණයක්. මම ඒකට හේතුව දන්නේ නැහැ. නමුත් මම හිතෙන්නෙම පාසල් තුළින් ආයේ ආයේ සමාජ ගත කරන්නේ වියළි මිනිස්සු කියන දේ. ඒකට හේතුව කලාව හැම තැනින්ම කප්පාදු කරලා තිබීම.


කලාව වෙනුවෙන් පෙනී සිටීමට ජනතා මනාපය ලබාගත් අයට කලාව ඇතුළේ ප්‍රශ්න විසඳීමට හැකි වුණාද?


එතැනදි හැදෙන්න අවශ්‍ය තනි පුද්ගල වීරයෝ නෙවෙයි. එයාලට තනියම ගියා කියලා කළ හැකි දෙයක් නැහැ. මේකේ හැදෙන්න ඕනෑ යාන්ත්‍රණය. එක එක්කෙනාට වුවමනා විධියට මේ ප්‍රශ්න කතා කරලා බැහැ. ලංකාවේ යූනියන් කියන එක හරි විහිළුවක් වෙලා තිබෙන්නේ. නමුත් අපි දැක්කා පසුගිය කාලයේ Netflix හා HBO වැනි දැවැන්ත ආයතනවලට විරුද්ධව හොලිවුඩ්වල කලාකරුවන් සම්බන්ධ යූනියන් සියල්ල එකතු වෙලා එළියට බහිනවා. ඒ AI තාක්ෂණය හරහා ඔවුන්ට සිදුවන අසාධාරණයට විරුද්ධව. ඒකත් එක්ක ඒ ආයතන ඒ තීරණය නැවත අකුළ ගන්නවා.


ඒ අනුව මම හිතන්නේ මේ ගැටලු දේශපාලනිකව විසඳාගත යුතුයි. නායකයන්ට තර්ජන, ගර්ජන දැම්මට වැඩක් නැහැ. අපි මුළින්ම ළඟ තිබෙන ගැටලු ටික විසඳා ගත යුතුයි. ඒ සඳහා එකතුවක් තිබිය යුතුයි. ලංකාව තාමත් නොදියුණු වෙන්න හේතුව තනියෙන් දියුණු වෙන්න තිබෙන සිතුවිල්ල. මේකට අවශ්‍ය වැඩපිළිවෙළක් තමයි නිර්මාණය විය යුත්තේ.


ඒත් එක්කම ඔබේ රංගන පාසල ගැනත් කතා කරමු?


මම ඒක හ¾දුන්වන්නේ වෘත්තීය රංගන ආයතනය කියලා. ඒකට හේතුව තමයි රංගනය කියන දේ කාටවත් උගන්වන්න බැහැ. ඒක තම තමන් එකතු කරගන්න දේ තුළින් ඇති වන දෙයක්. සුනිල් ශාන්ත කියලා තිබෙනවා කටහඬක් තිබෙන ඕනෑම අයකුට ගීත ගායනය කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ ගැන අවධානය හා ආදරය තිබිය යුතුයි. එතැනදි ඒ හැකියාව ලබාගන්න ඒක අධ්‍යයනය කරන්න වෙනවා. රංගනයත් ඒ වගේ තමයි. ඒ හැකියාව ලබාගන්න මනස ඒ වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍යයි. එහෙම මනස වැඩ කරන සහ මේ පිළිබඳව ආදරයක් තිබෙන අයට


රඟපාන්න කලින් කර්මාන්තය හ¾දුන්වා දීම, එහි පිළිවෙළ කියාදීම තමයි කරන්නේ. මම මේක ඇතුළේ එයාලට ඇත්තටම කර්මාන්තය උගන්වනවා. මේක ඇතුළේ ඇත්තටම තිබෙන්නේ වෘත්තීය අධ්‍යනයක්. මට නළුවෙක් විධියට ඔය ටික ඉගෙන ගන්න සෑහෙන්න අඩත්තේටම්වලට මුහුණ දීමට සිදු වුණා. මගේ අදහස තමයි මේකට පියවර තබන සියල්ලම ඒ පිළිබඳව දැන සිටිය යුතුයි කියන දේ. ඒ අදහස අනුව තමයි Acting Troup Academy ආරම්භ වෙන්නේ.


අවසන් වශයෙන් ඔබේ ඉදිරි කලා කටයුතු පිළිබඳවත් කතා කරමු?


උමතුවො දෙන්නෙක්ට අමතරව, තත්පරයක් දෙන්න නාට්‍යයත් විකාශය වෙනවා. ඒ වගේම ඊට අමතරව මම දායක වුණු සිනමා නිර්මාණක් එන්න තිබෙනවා. ඒ වගේම අලුත් සිනමා නිර්මාණයකට ලොකු කොළ එළියක් පත්තු වෙලා තිබෙනවා මේ දවස්වල.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post