විභාගෙ ළඟ නිසා පොඩ්ඩකට රඟපෑම් නැවැත්තුවා-නෙතුකි නෙතුම්ලි



මේ දිනවල විකාශය වන අම්මා වගේ ටෙලි නාට්‍යයේ පාරමීගේ චරිතයෙන් ඔබ හමුවට එන මේ දක්ෂ සුන්දර ළමා රංගන ශිල්පිනිය නමින් නෙතුකි නෙතුම්ලි. නෙතුකි බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වන්නේ මහපොළොව ටෙලි නාට්‍යයේ සිංගිගේ ළමා කාලයට රංගනයෙන් දායක වීම නිසයි. රංගනයට මෙන්ම හඬ කැවීමටද දස්කම්පාන ඇය මෙවර අදහස් බෙදා ගත්තේ මෙලෙසින්. 


ඔයාගේ විස්තර ටිකක් කියන්නකෝ?


මගේ නම නෙතුකි නෙතුම්ලි. මගේ පවුලේ අම්මත් තාත්තාත්, අක්කාත්, අයියාත්, මමත් ජීවත්වනවා. මම ඉගෙන ගන්නේ බෞද්ධ බාලිකා විද්‍යාලයේ. ඒවගේම මම දැනට රංගන ශිල්පිනියක් ලෙසත් හඬකැවීම් සහ නිවේදන ශිල්පිනියක් ලෙසත් වැඩකටයුතු කරගෙන යනවා.


නෙතුකිගේ මුල්ම ටෙලි නාට්‍යය ගැන කතා කළොත්?


මම රංගනයෙන් දායක වුණු මුල්ම ටෙලිනාට්‍ය තමයි ITN නාළිකාවේ විකාශය වුණ B report කියන ටෙලිනාට්‍යය. අචිනි කුලරත්නගේ චරිතය තමයි මම ඒ නාට්‍යයේ රඟදක්වන්නේ.


නෙතුකි මුලින්ම රංගනයට ආවේ කොහොමද?


මම මුලින්ම රංගන ක්ෂේත්‍රයට එන්න කලින් ගුවන්විදුලි නාළිකාවක නිවේදන කටයුතු කළා. ඉතින් එතැනින් තමයි මම මේ කලා ක්ෂේත්‍රයට ආවේ. පසුව 2018දී තමයි මම මගේ පළමුවැනි ටෙලිනාට්‍ය වුණ B report ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වුණේ. එතැනින් පස්සේ ප්‍රභාත් දුශ්‍යන්ත මාමගේ කෝපිකඩේ ටෙලි නාට්‍යයේ පියුමිගේ චරිතයටත්, සුමිත් රත්නායක මාමගේ මහපොළොව ටෙලි නාට්‍යයේ සිංගිගේ කුඩා කාලයේ චරිතයටත්, සුදත්ත තිලකසිරි මාමගේ ටීචර් අම්මා ටෙලි නාට්‍යයේ අහිංසා කියන චරිතයටත් රංගනයෙන් දායක වුණා. ඒ වගේම පංචායුධ වගේ පෝය ටෙලි නාට්‍යයන්ටත් රංගනයෙන් දායක වුණා. මම මේ වනවිට “අම්මා වගේ” ටෙලිනාට්‍යයේ පාරමී කියන ගැහැනු ළමයාගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා.


කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?


මම රඟපාපු සෑම චරිතයකටම වගේ හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ අතරින් මහ පොළොව ටෙලිනාට්‍යයේ සිංගිගේ  චරිතයට මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබෙනවා. බොහෝදෙනා පැවැසුවේ මම ඒ චරිතය හොඳට කළා කියලා. ඉතින් මේ දිනවල නම් මට ගොඩක්ම ප්‍රතිචාර ලැබෙන්නේ අම්මා වගේ ටෙලි නාට්‍යයේ පාරමී කියන චරිතයට. හිතාගන්න බැරි තරම් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඒ චරිතයට ලැබෙනවා. ඔයා හොඳට රඟපානවා. තවත් හොඳට රඟපාන්න කියලා ප්‍රේක්ෂකයන් ළඟට ඇවිත් පවසලා යනවා. ඉතිං ඒ ගැන මට දැනෙන්නේ ඇත්තටම  නිහතමානී සතුටක්.


පාසලේ ගුරුවරුන්ගෙන්-මිතුරු මිතුරියන්ගෙන් උදවු ලැබෙනවාද?


ඇත්තටම  ඔව්. මගේ යහළුවෝ, මගේ පාසලේ ගුරුවරු හැමෝම මට හරිම ආදරෙයි. එයාලා හැමෝම මගේ අධ්‍යාපන කටයුතුවලට ගොඩක් උදවු කරනවා. ගුරුවරුන් මට පාසලේ මඟහැරුණු පාඩම් නැවත නැවතත් කියලා දෙනවා. මඟහැරෙන පාඩම් සටහන්  මට මගේ යහළුවෝ ගෙනත් දෙනවා. එයාලා හැමෝම  අම්මා වගේ ටෙලි නාට්‍යය බලනවා. ඉතින් මට මගේ ගුරුවරුන්ගෙන් වගේම මගේ මිතුරන්ගෙන් ලැබෙන ඒ ආදරය ගොඩක් වටිනවා.


රංගනයට අමතරව නෙතුකි වඩාත් කැමැති මොනවාටද?


රංගනයට අමතරව මම මගේ අධ්‍යාපන කටයුතු කරන්න වගේම නටන්න, සින්දු කියන්න හරිම කැමැතියි. ඒ වගේම විනෝදාංශයක් ලෙස පොත් කියවන්න වගේම ක්‍රීඩා කරන්නත් කමැතියි.


රංගන කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන උදවු මොනවාද?


හැමදේකටම මගේ හෙවණැල්ල වගේ මගේ පිටිපස්සෙන් ඉන්නේ මගේ අම්මා. හරිදේ මොකද්ද වැරැදි දේ මොකද්ද කියලා එකින් එක තෝරලා බේරලා දෙන්නේ මගේ අම්මා. ඉතිං මගේ අම්මා තමයි මාව රූගත කිරීම්වලට වගේම පන්තිවලටත් එක්කගෙන යන්නේ. ඇත්තටම මාව අද ප්‍රේක්ෂකයෝ දන්නේ මගේ අම්මා නිසා. මගේ අම්මගෙන් මට ලැබෙන සහයෝගය කියලා නිමකරන්න බැරි තරම් මට ගොඩක් වටිනවා. ඒ වගේම මගේ තාත්තා, අක්කා, අයියා ඒ හැමෝමත් මට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දෙනවා.


නෙතුකිට තවත් නිර්මාණවලට ආරාධනා ලැබුණාද?


ඔව්. මට නිර්මාණ කිහිපයකින්ම ආරාධනා ලැබුණා. නමුත්  විභාගය ළඟ නිසා ඒ නිර්මාණවලට සහභාගි වන එක  ටික කලකට නතර කළා.


දුවගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මට දැනට තිබෙන ලොකුම බලාපොරොත්තුව තමයි විභාගය හොඳින් සමත්වෙන එක. මොකද ඒක තමයි මට දැන් තිබෙන ලොකුම අභියෝගය. හැම වැඩකටම කලින් මම මුල්තැන ලබා දෙන්නේ ඉගෙනීමට. මම විනෝදාංශයක් ලෙස තමයි රංගනය, නිවේදනය සහ හඬකැවීම් කටයුතු කරගෙන යන්නේ. ඉතිං මගේ ලොකුම බලාපොරොත්තුව තමයි හොඳට ඉගෙනගන්න එක. ඒ අතරතුර ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකම මගේ කලා වැඩකටයුතුත් කරගෙන යනවා.


මෙතෙක් ආපු ගමනේදී උදවු කරපු අය කවුද?


මෙතෙක් ආපු ගමනේ මට උදවු කරපු අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතරින් පළමු කෙනා තමයි මගේ අම්මා. ඇය තමයි අද මාව මේ තරම් දුර ගොඩක් පරිස්සමෙන් එක්කගෙන ආවේ. ඉතින් මම ඇයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේ දක්වන සහයෝගයට. ඒ වගේම මම මතක් කරන්න කැමැතියි තනූජාවි විජේවික්‍රම  අක්කාව. ඇය තමයි අම්මා වගේ ටෙලි නාට්‍යයේ මගේ අක්කාගේ චරිතය රඟපාන්නේ. ඒ වගේම ඇය තමයි එහි තිර පිටපත රචනා කරන්නේ. ඇත්තෙන්ම කිව්වොත් ඇයත් මගේ අම්මා වගේම රංගන ක්‍ෂේත්‍රයේ මට පරිස්සමෙන් ඉස්සරහට යන්න පාර කියන ආදරණීය කෙනෙක්. ඒවගේම මම මතක් කරන්න කැමැතියි දිල්රුක්ෂි නැන්දා, ශානි නැන්දා සහ මදුමාලි අක්කාව. ඔවුන් තමයි මගේ නිවේදන ක්ෂේත්‍රයේ මට මුලින්ම හමුවන මගේ ආදරණීය ගුරුවරු. ඒ වගේම මට හමුවුණු පළමු අධ්‍යක්ෂ ප්‍රභාත් දුෂ්‍යන්ත මාමාටත්, සුමිත් රත්නායක මාමාටත්, සුදත්ත තිලකසිරි මාමාටත්, වාසල බණ්ඩාර මාමාටත් රංගන කාර්යයේදී මට අඩුපාඩු කියලා දුන්නට වගේම මට හරි දේ කියලා දුන්නට බොහොම ස්තුතියි. ඒවගේම පුංචිම හරි දෙයකින් මට උදව්වක් කරපු සියලුම දෙනාටත් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post