මම හැමදේම ශෙයාර් කරගන්නෙ එයා එක්ක- සචිනි දිල්හාරා




හිරු ටීවී නාළිකාවේ විකාශය වූ අහස් මාළිගා ටෙලි නිර්මාණයේ කාගේත් කතාබහට ලක්වූ දඟකාර, කටකාර පාසල් යුවතිය සාරා ඇයයි. සමාජයට යහ පණිවුඩයක් එක් කළ ඉන්දික ධර්මතිලකගේ මැස්සා ටෙලි නිර්මාණය මෙන්ම කෘෂිකර්මාන්තය හා ගැමි ජීවිතය ඇසුරින් නිම වුණු සූර්ය වංශය ද ඇගේ රංගන හැකියාව තව තවත් ඔපමට්ටම් කළාය. වෙළෙඳ දැන්වීම් හරහා ළමා වියේදීම කලාවට පිවිස මේ වන විට රංගනයෙහි නමක් දිනා සිටින ඇය සචිනි දිල්හාරාය. අද අපේ කතාබහට එක්වන්නේ ඇයයි.


සචිනි මේ දවස්වල නිර්මාණවල දකින්න ලැබෙනව අඩුයි නේද?


මැස්සා, සූර්ය වංශය ටෙලි නිර්මාණ ගොඩක් ප්‍රතිචාර ලබමින් විකාශය වුණා. මේ දවස්වල අලුත් නිර්මාණ දෙකක රූගත කිරීම් කෙරෙනවා. එකක් මේ මාසෙ විකාශයට නියමිතයි.


ඒ වගේම අලංක ටී. කළුආරච්චිගේ අලුත්ම නිර්මාණයකට සම්බන්ධ වුණා. ඒක තෙළිඟු ආරට යන කතාවක්. ඇඳුම් පැලඳුම්, කතා විලාසය දෙමළ ආරට හුරුයි. ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. මෝහිනී සහ මහසෝනාගේ ආදර කතාව ‘ඇය ලිය විය’ ටෙලි නිර්මාණයේ මෝහිනීගෙ නංගි මෝදිනී වෙන්නත් අවස්ථාව ලැබුණා.


සචිනි දිල්හාරා කියන්නේ මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙන චරිතයක්. ඇත්තටම සචිනි කියන්න මොනවගේ චරිතයක් ද?


සචිනි කියන්නෙ හරිම සැහැල්ලුවෙන් ඉන්න කැමති, ගොඩක් දඟ, ඒ වගේම ගොඩක්ම සංවේදී, හිත හොඳ කෙනෙක් කිව්වනම් හරි.


සචිනි, විශ්ව ශක්තිය එක්ක කරනව කියන ගනුදෙනුව මොකක්ද?


මම විශ්ව ශක්තිය ෆලෝ කරන කෙනෙක්. හැමදේකම පොසිටිව් පැත්ත දකින කෙනෙක්. ඒ වගේම මට මේ ලැබිල තියෙන හැමදේටම මම ස්වභාව ධර්මයට ස්තුතිවන්ත වෙනවා. මට යම් දෙයක් ඕන වුණහම මං කරන්නෙ මට ඒ දේ ලැබිල කියල පොසිටිව් විදිහට හිතල ඒක විෂුවලයිස් කරනවා. ඇත්තම කිව්වොත් මං නිළියක් වෙන්න හීන මවපු කෙනෙක් නෙවෙයි. ඒත් මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ මට යම්කිසි මට්ටමකට එන්න ඕන වුණා. ඒක මම විෂුවලයිස් කළා. පොඩි කාලයක් ඇතුළත මට ඒ දේ ලැබිල තියෙනවා. ඒක ගොඩක් විශ්වාසයෙන් කළ යුතු දෙයක්.


එතකොට ඔබ හීන මැව්වෙ කවුරු වෙන්නද?


මං පොඩි කාලෙ ඉඳන්ම ගියේ ජාත්‍යන්තර පාසලකට. මට වෛද්‍යවරියක් වෙන්න ඕන වුණත් ඒ වටපිටාව වගේම ලොකු කාලයක් සහ ලොකු මුදලක් අවශ්‍ය වුණ නිසා මට මනෝ විද්‍යාව පැත්ත තෝරගන්න වුණා. මට අම්මටයි තාත්තටයි දෙන්නටම හිටියෙ මගේ අම්මා විතරයි. මං මනෝ විද්‍යාව පැත්තට යොමු වුණාට පස්සෙ තමයි විශ්ව ශක්තිය ගැන විශ්වාස කරන්න පටන් ගත්තෙ. ඒ වගේම මිනිසුන්ගෙ හැසිරීම් රටාව ගැන ඉගෙන ගන්න පටන් ගත්තට පස්සෙ මං පොසිටිව් පැත්ත දකින්න ගත්තා. දැන් මගේ උපාධිය සම්පූර්ණයි. ඉදිරියේදී මාස්ටර්ස් කරන්න විදෙස්ගත වීමේ බලාපොරොත්තුවක් තියෙනවා. දැනට මං භාරගෙන තියෙන වැඩ ටික ඉවර කරලා ඒ ගැනත් හිතනවා. මං කැමතියි කවුන්සිලින් පැත්තට. ඒත් එක්කම රංගනයත් කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.


ඔබට ඉන්නෙ ගොඩක් ශක්තිමත් මවක්?


ඔව්. මට ඉන්නෙ අයියයි අම්මයි විතරයි. කවුරු දාල ගියත් ජීවත් වෙන්න ඕන විදිහ මට කියල දුන්නෙ අම්මා. අපි දෙන්න ගොඩක් සමීපයි. මගෙ හොඳම යාළුව වගේම මං හැමදේම ෂෙයාර් කරගන්නෙ එයත් එක්ක. රණ්ඩු වෙන්න ගියත් එහෙමයි. අම්ම තමයි මගේ හැමදේම.


සචිනි දිල්හාරා කියන රංගන ශිල්පිනිය ප්‍රේක්ෂකයන් හඳුනගන්නෙ අහස් මාළිගා හරහා නේද?


පොඩි කාලෙ මං වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් රංගන ශිල්පිනියක් විදිහට මුලින්ම ප්‍රේක්ෂකයන් මාව හඳුන ගන්නේ අහස් මාළිගා ටෙලි නිර්මාණයේ දඟකාර, කටකාර සාරා කියන චරිතයෙන්. ඊට පස්සෙ නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. දෙරණ නාළිකාවේ විකාශය වුණු ධරණී ටෙලි නිර්මාණයේ චුටි නෝනා (රෙහාෂා) කියන්නෙ නපුරු චරිතයක් වුණත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබුණු අවස්ථාවක්. ඒ වගේම දෙරණ නාළිකාවේ සති අන්තයේ විකාශය වුණු අපේ ජනකතා, රෝස සංධ්වනිය වගේම ඉදිරියේදී විකාශය වීමට නියමිත ඉඳුවරය ටෙලි නිර්මාණයත් එකිනෙකට වෙනස් අත්දැකීම් එකතු කළා.


ඔබ රංගනයට සීමා දාගෙන ද ඉන්නෙ?


මට සාධාරණයක් කරන්න පුළුවන් කියල හිතෙන ඒව විතරයි මං භාර ගන්නෙ. ලිංගිකත්වය ගැන කතා කරන නිර්මාණවල මෙතනින් එහාට බෑ කියල සීමාවක් දාගෙන ඉන්නෙ. ඒ වගේම කොමඩි ඒවත් මට හරියන්නෑ. ඒත් චැලේන්ජ්වලට මං හරි කැමතියි.


ආදරය ගැන ඔබට තියෙන අත්දැකීම් ගැන කතා කළොත්?


පාසල් කාලෙ පොඩි පොඩි සබඳකම් තිබුණත් දැනුම් තේරුම් ඇති කාලෙ තිබුණෙ එක සබඳකමයි. ඒ මේ ක්ෂේත්‍රයට එන්නත් කලින් ඉඳන්ම තිබුණ එකක්. ඒක හැමෝම දන්න දෙයක්. ලෝකයේ හැමදේම වෙනස් වෙනවා කියන දහමත් එක්ක මේ වෙද්දි හැමදේම වෙනස් වෙලා. මං ඒ වෙනස දරාගන්න ගොඩක් උත්සාහ කළා. මානසිකව බිංදුවටම වැටුණා. මගේ අම්ම මගේ ළඟම ඉඳන් මාව නැවත ගොඩනඟන්න ගොඩක් වෙහෙසුණා. ඕනෑම දෙයක් සිද්ධ වෙන්නෙ යම්කිසි හේතුවක් නිසා. මේ දේ වෙන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති කියල පොසිටිව් පැත්ත හිතල හිත හදාගන්න උත්සාහ කළා. ඕනෑම දේක ප්‍රශ්නෙ ඇතුළෙ ජීවත්වෙන තාක් කල් අපට පේන්නෙ ප්‍රශ්නෙ විතරමයි. ඒ රාමුවෙන් එළියට ඇවිත් බැලුවමයි තේරෙන්නෙ ඒක කොච්චර පොඩි දෙයක්ද තව කොච්චර දේවල් තියෙනවද කියලා. මං නිතරම හිතන්නෙ මං හරි වාසනාවන්තයි කියලා. අපි කරන දෙයින් වෙනත් අයකුට හානියක් වෙන්නෙ නැත්නම් ඒකට අපි කැමතියි නම් අපි ඒක කරන්න ඕන. ජීවිතේ හරිම කෙටියි. හැමදෙයින්ම අපි අත්දැකීම් ලබන්න ඕන. එහෙම නැති වුණොත් පස්සෙ කලෙකදි අයියෝ මට අරක කරන්න බැරිවුණා කිය කියා පසුතැවිලි වෙන්න වේවි. එහෙම වෙන්න මං කැමති නෑ.


නාමලී ගමගේ




Previous Post Next Post