මම පොරක් නෙවෙයි සාමාන්‍ය මනුස්සයෙක් -අමල් ප්‍රසාද්

 


මේ දිනවල විකාශය වන සීසර්ලා ටෙලි නාට්‍යයේ හාස්‍ය උපදවන චරිතයක් වන කාලිගේ චරිතයට රංගනයෙන් දායක වන මේ තරුණ නළුවා බොහෝ දෙනා හ¾දුනා ගන්නේ විනී නිෂ්පාදන තුළින්. ඔහු නමින් අමල් ප්‍රසාද්. මෙවර  අමල් අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


මේ දිනවල මොකද වෙන්නේ?


විශේෂයෙන්ම මේ දිනවල විනී ප්‍රඩක්ෂන් එකේ වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම සීසර්ලා ටෙලි නාට්‍යයේ රංගන කටයුතු කරගෙන යන අතරතුරම මගේ සංගීත කටයුතු පිළිබඳවත් අවධානය යොමු කරනවා.


මොනවද අලුත් වැඩකටයුතු?


මගේ අලුත් ගීතයක් මාර්තු – අප්‍රේල් වගේ වෙනකොට එළි දක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ මගේ හතරවන ගීතය. හැකි ඉක්මනින් මේ ගීතයත් මගේ ආදරණීය රසිකයන් වෙත ගෙන එන්න උත්සාහ කරනවා.


සීසර්ලා කියන්නේ ඔබේ පළමු ටෙලි නාට්‍යද?


ඇත්තටම නැහැ. මගේ පළමු ටෙලි නාට්‍ය තමයි සිරස නාළිකාවේ විකාශය වුණු හිත ළඟ හිනැහුණා නාට්‍යය. පසුව සූරියවංශ ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වුණා.


දැන් විනී නිෂ්පාදනවලට සහභාගි වෙන්නේ නැද්ද?


මම දැන් විනී ප්‍රඩක්ෂන් එක්ක එකතු වෙලා වැඩකටයුතු කරගෙන යනවා. මට මාස කිහිපයක් විනී ප්‍රඩක්ෂන් එකේ වැඩ කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මම සංගීතයට කැමැති නිසා ඒ වැඩ කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල වුණා. ඒ වගේම මගේ පෞද්ගලික වැඩ කටයුතු කිහිපයකුත් තිබුණා. නමුත් මම දැන් විනී ප්‍රඩක්ෂන් එකේ මගේ ආදරණීය සහෘදයොත් එක්ක වැඩ කටයුතු කරගෙන යනවා.


ඔබ රංගන ශිල්පියෙක් වෙන්න සිහින දැකපු කෙනෙක්ද?


ඇත්තම කිව්වොත් මම ගොඩක් කැමැති වුණේ සංගීත ක්ෂේත්‍රයට. නමුත් මගේ පාසල් කාලයේදී රංගන වැඩකටයුතු කළා. ඇත්තටම ආසාවක් තිබුණා කවද හරි දවසක රඟපාන්න ඕනේ කියලා. නමුත් හැමෝම දැනගන්න චරිතයක් විය යුතුයි කියන එක ඔළුවේ තිබුණේ නැහැ. ඒ ක්‍ෂේත්‍රයට පොඩි ආසාවක් තිබුණා. නැතිවාම නෙවෙයි. නමුත් රංගන ක්‍ෂේත්‍රයෙන් මේ වගේ තැනකට එන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් සිහිනයක් තිබුණා. මම හිතනවා යම් කැපකිරීම් එක්ක ඒ හීනය සැබෑ කරගන්න ලැබුණා කියලා.


අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?


දැනට මට ප්‍රධාන නාළිකා දෙකකින් ලස්සන නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. නමුත් මම තවම තීරණය කරගෙන නැහැ ඒ ගැන. මම ආස කරන මට ගැළපෙන චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන් සහභාගි වෙනවා. හොඳ නිෂ්පාදනයකින් ආරාධනාවක් ලැබුණොත් මගේ උපරිමයෙන් ලැබෙන චරිතය කරනවා.


සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?


සිනමාවට සම්බන්ධ වෙන්න කැමැත්තක් තිබෙනවා. මේ වන විට ආරාධනාවකුත් ලැබිලා තිබෙනවා. නමුත් මම පෞද්ගලිකව කැමැතියි තව කෙනක් මගේ රංගනයෙන් හොඳ දෙයක් අරගෙන ඒ කෙනාගේ නිර්මාණය ලස්සන කරගන්නවාට. කරන චරිතය මටත් හොඳට දැනෙනවානම්, ඒ නිර්මාණය මට හොඳයි කියලා හිතෙනවා නම් ඒ වගේ නිර්මාණයක් භාර අරගෙන දෙයක් කරන්න කැමැතියි. හොඳ සිනමා නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් මම අනිවාර්යයෙන් භාර ගන්නවා.


කෙටි කාලයකින් ඉතාමත් ජනප්‍රිය චරිතයක් වෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ?


ඇත්තටම ගොඩක් සතුටුයි. මම පොරක් නෙමෙයි. සාමාන්‍ය මනුස්සයෙක්. මම එදා හිටපු විදිහයි අද ඉන්න විදිහයි දැක්කම නිහතමානී සතුටක් වගේම ආඩම්බරයක් තිබෙනවා.  මොකද එදා අපි ගොඩක් දුක් විඳලා ලොකු කට්ටක් කාලා, නාට්‍ය හා රංග කලාවවත් නොතිබුණු පාසලක ඉගෙනගෙන දුෂ්කර ගම්මානයක ඉඳලා අද මේ වගේ තැනකට එන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. අද මහ මඟට බැස්සත් මිනිස්සු අපිව හ¾දුනනවා, කතා කරනවා. ඉතින් මම ඒකට ගොඩක් කැමැතියි. ඒ වගේම මේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් ආදරෙයි.


ඔබේ රංගන දිවියට පාර කැපෙන්නෙම විනී නිෂ්පාදන හරහා. ඒ ගැනත් මතක් කළොත්?


මම සාමාන්‍ය මනුස්සයෙක්. නමුත් අද වන විට බොහෝ පිරිසක් මාව හ¾දුනනවා. ඉතින් ඒ හැමදේකම ආරම්භය වෙන්නේ විනී ප්‍රඩක්ෂන්. ඒක මම ඉතා ආඩම්බරයෙන් පවසන දෙයක්. රංගන ශිල්පියකු ලෙස මම කොතැන හරි දැක්කනම් මට නිර්මාණවලට ආරාධනා ලැබුණා නම් ඒ හැම දෙයක්ම ලැබුණේ විනී ප්‍රඩක්ෂන් එකෙන් මම ගොඩනඟා ගත්තු ගමනත් එක්ක. ඉතින් විනී ප්‍රඩක්ෂන් එකේ මගේ ආදරණීය සහෘදයන්ද ඉතා ආදරයෙන් මතක් කරනවා. විනී ප්‍රඩක්ෂන් එක්ක ඉදිරියේදී වෙනස්ම වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හැම දෙයක්ම  සාර්ථක කරගන්න ලැබුණේ විනී ප්‍රඩක්ෂන් හරහා කියන එක මම ආදරයෙන් මතක් කරනවා.


නවක රංගන ශිල්පියකු ලෙස කලාවට සම්බන්ධ වීමේදී මුහුණදුන් අභියෝග මොනවාද?


රංගන ශිල්පියකු ලෙස කලාවට සම්බන්ධ වුණාට පස්සේ සමහර වෙලාවට ඇත්තටම අපි අසරණ වෙන අවස්ථා තිබෙනවා. අපි නොදන්න දේවල් තිබෙනවා. සමහර වෙලාවට අත්වැරදීම් වගේ දේවල් අපි අතින් වෙනවා. රංගන ශිල්පියකු ලෙස මුහුණ දුන්න අභියෝග එකක් දෙකක් කියලා කියන්න බැහැ. ඇත්තටම අභියෝග ගොඩක් තිබෙනවා. බොහොම නිහතමානී ආදරණීය කලාකරුවන් තමයි අපිත් එක්ක ඉන්නේ. ඉතින් ඒ අය අපි නොදන්න දේවල් කියලා දෙනවා. ඉතින් ඒ දේවල් එක්ක මේ ගමන යද්දි බොහොම ආසයි. මම නම් හිතන්නේ අභියෝග කියන දේවල්වලට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න ඕනේ. අපිත් එක්ක ඉන්න කලාකරුවන් එක්ක එකමුතුව සහයෝගයෙන් වැඩ කරනවා නම් ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන්.


රංගන කටයුතු අතරතුර මුහුණදුන් අමතක නොවන  සිදුවීම් නැද්ද?


ඇත්තටම අමතක නොවන සිදුවීම් එකක් කියලා කියන්න බැහැ. අමතක නොවෙන සිදුවීම් ගොඩක් තිබෙනවා. කලා ජීවිතයට ආවට පස්සේ ලස්සන සුමිහිරි තැන් බොහොමයක්  තිබෙනවා.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


අනාගත බලාපොරොත්තුව තමයි හොඳ රංගන ශිල්පියෙක් වෙන එක. සෑම දෙයක්ම ඉගෙනගෙන ආදරණීය ප්‍රේක්ෂකයන්ට හොඳ දෙයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. විනී නිර්මාණ වගේම ටෙලි නාට්‍ය නිර්මාණ තුළිනුත් ප්‍රේක්ෂකයන්ට හොඳ දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංගීත ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්නත් බලාපොරොත්තු වෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post