නාලක හැඩ කරන ආදරණීය හැන්දෑවට ඔබත් එන්න -නාලක අංජන

 


දශක ගණනාවක් පුරාවට මෙරට සංගීත ක්‍ෂේත්‍රයට සුවිශාල මෙහෙයක් කළ ඔහු, අමරදේව සූරීන්, විශාරද ගුණදාස කපුගේ වැනි ප්‍රවීණයන්ගේ සිට කසුන් කල්හාර වැනි වර්තමාන ගීත ලෝකයේ වැජඹෙන තරු දක්වාම ඔවුන් සමඟින් එකට කටයුතු කළ අයෙකි. මෙරට සුභාවිත ගීත කලාව තුළ ස්වර්ණමය සලකුණු රාශියක් තබන්නට උර දුන් අයෙක් වන ඔහු  සංගීතඥයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, ගිටාර් වාදන ශිල්පියෙක් මෙන්ම ගායකයෙක් ලෙසද සංගීත කලාව තුළ සකලවිධ දක්ෂතා පෙන්වූ නිර්මාණකරුවකු වන්නේය. නමින්  නාලක අංජන කුමාර නම් වූ ප්‍රවීණ කලාකරුවා පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් අවධානය යොමු වන්නේ නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත “ආදරණීය හැන්දෑව” ගී ප්‍රසංගය හේතුවෙනුයි.


 මේ දවස්වල නියැළෙන කලා කටයුතු ගැන කියලම කතාව ආරම්භ කරමු?


රටේ තිබෙන තත්ත්වයත් එක්ක හරි ආකාරව කලා කටයුත්තක් කරන්න බැහැ. මට කියන්න වෙන්නේ ඇත්ත. මේ රටේ දැන් නියම කලාව කරන්න ඉඩක් නැහැ. රටේ තිබෙන වතාවරණය නිසා වගේම හා මාධ්‍යවලත් ඒවට  ඉඩක් නැහැ. ඒ වගේම අද නියම කලා කටයුතු කරන අයට අවකාශය අඩුයි.


නොබෝ දිනකින් ඔබ සංගීත අධ්‍යක්ෂණය කරන දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වෙනවා නේද?


මම සංගීත අධ්‍යක්ෂවරයෙක් හැටියට දැන් වසර ගණනාවක් පුරාවට කටයුතු කරනවා. සංගීත අධ්‍යක්ෂණය කියන දේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කරන අයත් ඉන්නවා. ඒ වගේම සංගීත අධ්‍යක්ෂණයේ ගැඹුර, එහි ඇතුළාන්තය නොදැන සංගීත අධ්‍යක්ෂණය කරන අයත් ඉන්නවා. ඒ අය අතරින් මම සංගීත අධ්‍යක්ෂණය කියන දේ මනා දැනීමකින් කරන කෙනෙක්. පසුගිය කාලයේ සංගීත ප්‍රසංග බොහෝමයක් තිබුණා. නමුත් දැන් තිබෙන ප්‍රසංග ප්‍රමාණයත් බොහොම අඩුයි වගේම ඒවා බෙදිලත් යනවා. ඒ අතරින් ලැබුණු ප්‍රසංගයක් තමයි “ආදරණීය හැන්දෑව” කියන්නේ. 


කවදද මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ?


මේ ප්‍රසංගය නෙළුම් පොකුණේදී එළැඹෙන පෙබරවාරි 17 වැනිදා තිබෙන්නේ. සංගීත අධ්‍යක්ෂණයෙන් මාත්, කථනයෙන් වසන්ත රෝහණත්, ගායනයෙන් සමිතා මුදුන්කොටුව, ආත්මා ලියනගේ, තීක්ෂණ අනුරාධ, රවීන් කනිශ්ක යන  ශිල්පීනුත් සහභාගි වෙනවා. අපි සියල්ල එකතු වෙලා මේ ප්‍රසංගය හරහා රසිකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබා දෙන්න සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඉතිං අපේ ආදරණීය රසිකයන්ට ආරාධනා කරනවා ඒ සුවිශේෂී අත්දැකීම විඳගන්න පෙබරවාරි 17 නෙළුම් පොකුණට එන්න කියලා.


නවකයන් බොහෝමයකට සංගීත ලෝකයට අඩිය තියන්න මඟ පාදා දුන් අයෙක් විධියට ඒ අත්දැකීම් ගැන දැනගන්න කැමැතියි.


මට ඒ ප්‍රශ්නයේදී කසුන් කල්හාරගේ ඇරඹුම ක¾දුළක් වෙලා, සැබෑ නොවෙනා සිහින හරි මිහිරියි වගේ ගීතවලට නිර්මාණ කළ තනු සිහිපත් වෙනවා. ඊට අමතරව දැනට නම් දරාගෙන නැති වුණත් අතිදක්ෂ තරුණ ශිල්පීන්, ශිල්පිනියන්ට නිර්මාණය රාශියක් කරලා දීලා තිබෙනවා. නමුත් ඒවට මාධ්‍ය හරහා පබ්ලිසිටියක් ලැබෙන්නේ නැහැ. ඇතැම් පුද්ගලයන් කියනවනේ රටේ හොඳ නිර්මාණ බිහි වෙන්නේ නැහැ කියලා. ඒ කතාවට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. හොඳ නිර්මාණ බිහි වෙන්නේ නැතිව නෙවෙයි. හොඳ නිර්මාණ බිහි වෙනවා. නමුත් ඒවට මාධ්‍ය තුළින් ප්‍රචාරයට අවස්ථාව නැහැ.


අමරදේව සූරීන්, කපුගේ වැනි ප්‍රවීණයන්ගේ සිට නවක ගායක ගායිකාවන් දක්වාම ඇසුරු කළ අයෙක් විධියට ඒ අත්දැකීම මොන වගේද?


අමරදේව මාස්ටර් මාව මුළු ලෝකය පුරාම සංගීත අධ්‍යක්ෂවරයා, ගිටාර් වාදන ශිල්පියා, සමූහ ගායන ශිල්පියා විධියට එක්කන් ගියා. ඒ වගේම ගුණදාස කපුගේ මහත්මයාගේ ‘කම්පන’ ප්‍රසංග 1000ක් මම සංගීත අධ්‍යක්ෂණය කළා ගිටාර් වාදනය කරමින්. ඒ වගේ දැවැන්ත ශිල්පීන් සමඟ තමයි මම වැඩ කළේ. මේ කලා ක්‍ෂේත්‍රය ඇතුළේ මම දැක්ක හොඳම ගුණාංග තිබෙන දෙන්නෙක් තමයි ඔවුන් දෙදෙනා.


පසුගිය කාලයේ ඔබ ගුවන්විදුලි සංස්ථාවේ වගකීම් සහගත තනතුරක කටයුතු කළා නේද?


ගුවන්විදුලි සංස්ථාවේ සංගීත අංශයේ පාලකවරයා හැටියට මම කටයුතු කළා. නමුත් මෑතකදී මම එහි සේවයෙන් ඉවත් වුණා. ගුවන්විදුලි සංස්ථාවට මම ගෞරවාන්විතව නමස්කාර කරනවා. නමුත් මම සෘජුව කටයුතු කරද්දි, එහි පාලන අධිකාරිය හා ඉහළ නිලධාරීන් මට එහෙම කටයුතු කරන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. එම නිසා මම එහි සේවයෙන් ඉවත් වුණා. ඇත්තටම එහි ඉහළ පාලන අධිකාරියේ තිබෙන දුර්වලතාවක් නිසා මගේ සේවය නිසි පරිදි ලබාගන්න ඔවුන්ට හැකි වුණේ නැහැ.


මේ වෙද්දි ගීත කොපමණ සංඛ්‍යාවක් පමණ සංගීත නිර්මාණය කරලා තිබෙනවාද?


විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරලා තිබෙනවා. නමුත් ඒ කිසි එකක වගේ කීයක් නිර්මාණය කරලා තිබෙනවද තොරතුරු ගණන් බලලා නැහැ මම.


එදාමෙදා තුර ඔබ අතින් නිර්මාණය වුණු සංගීත ඛණ්ඩ අතරින් ඔබේ හිත ගත්තම සංගීත ඛණ්ඩය මොකක්ද?


ඒක ඉදිරියේදී බිහි වෙයි. නමුත් තවම එහෙම එකක් බිහි වෙලා නැහැ.


ඉදිරියේදී එන්න තිබෙන වැඩ කටයුතු මොන වගේද?


දැන් මම නිදහසේ ගෙදරට වෙලා කටයුතු කරනවා. තනු නිර්මාණ, ප්‍රසංග වගේ කටයුතුවලට ආරාධනා කළාම ඒවට සම්බන්ධ වෙනවා. මගේ සේවය ලබාගන්න එන නිර්මාණකරුවන්ට යහපත් නිර්මාණයක් කිරීම සහ ඔවුන්ව තළා පෙළා දාන්නේ නොමැතිව ලැබෙන සුළු අය කිරීමකින් ඒ නිර්මාණ කරලා දීලා, ඔවුන්ට යහපතක් වෙන ආකාරයෙන් ඒ නිර්මාණ දෙමින් කාලය ගත කරන එක තමයි මම කරන්නේ. එහෙම ආරාධනා ලැබුණු ප්‍රසංගයක් තමයි එළැඹෙන 17 වැනිදා “ආදරණීය හැන්දාව” නමින් නෙළුම් පොකුණේ පැවැත්වෙන්නේ.




Previous Post Next Post