ආදරය නැති තැන සුන්දරත්වය නැහැ- ශේෂාද්‍රි ප්‍රියසාද්



ඇය උපතින්ම කලාව උරුම කරගත් පවුලක දක්ෂ රංගන ශිල්පිනියකි. පියාගේ සිනමා ගමනයත් සමඟ ඇයගේ ගමන ද ස්ථාවර විය. පාසල් කාලය තුළ පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවන් අතර ඇය සියලු දෙනාගේ හිත දිනා ගත්තාය. පාසල් වේදිකාවට ඇය නැතුවම බැරි ශිෂ්‍යාවක් බවටද පත් වූ අතර පාසලෙන් නික්ම යන විට ඇය ක්ෂේත්‍රය තුළ හිත දිනා ගත්තාය. තරුණ වියේදීම නිර්මාණ ගණනාවකට දායකත්වය ලබාදීමට හැකිවීමද ඇගේ සුවිශේෂී දක්ෂතාවකි. වයස අවුරුදු 18 දී සිනමා කර්මාන්තයේ ප්‍රධාන චරිතයකට අවතීර්ණ වන්නට තරම් ඇගේ සහජ දක්ෂතාවය ඔප් නංවා තිබිණි. ඒ භද්‍ර යෞවනේ පසු තරුණියගේ නවතම සිනමා පට දෙකක් මේ වන විට තිරගත වේ. වීර්යා, සිහිනයකි ආදරේ මේ දෙක අතරින් කාගෙත් කතාබහට ලක්වන්නේ විර්යා සිනමා පටයේ එන තිළිණි ගැනය. සිනමා පටයේ තිළිණි වුණත් ඇය නම්න් ශේෂාද්‍රි ප්‍රියසාද්ය. මේ ඇය සමඟ කළ කතා බහයි.


මේ වන විට ආපු ගමන ගැන ආපස්සට හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?


මගේ ගමන මම හරිම හිමින් ආපු කෙනෙක්. මේ වනවිට ආපුගමන ගැන මම හරිම තෘප්තිමත් වෙන්න පුළුවන් වට පිටාවක් සැකසිලා තියෙන්නේ. මගේ ගමනට ආදරේ කරන පිරිස ඒ මුල් කාලයේ සිටම අද වන විටත් ඒ ආකාරයෙන්ම මා ළඟ ඉන්නවා. එහෙම ජීවිතේ ලැබෙන්නේ කිහිපදෙනෙකුට පමණයි.ඒක මට ලොකු සතුටක්. මේ වන විට මගේ නිර්මාණ කිහිපයක්ම ප්‍රේක්ෂකයන්ට රස විඳීන්නට ඉඩ සැලසිලා තියෙනවා.


 


ඔබ භද්‍ර යෞවනේ ආරම්භයත් සමඟ නිර්මාණය වෙච්ච සිනමා පටයක් මෙවන විට තිරගත වෙනවා⁣ නේද?


ඔබ හරි, මේ වනවිට සුනිල් අරුණ වීරසිරි මහත්තයා අධ්‍යක්‍ෂණය කර නිෂ්පාදනය කළ වීරයා සිනමා පටය තිරගත වෙනවා. මගේ වයස අවුරුදු 18 විතරදි තමා මේ සිනමා පටයට සම්බන්ධ වෙන්නේ. අනිත් සිනමාපටය තමා මගේ සිහිනයකි ආදරේ. මේ සිනමාපට දෙක නරඹන විට ලොකු කාල පරාසයක් ගියා කියලා දැනෙන්නේ නැහැ. වීර්යා සිනමා පටයේ තිර පිටපත් සමඟ ගලාගෙන යන කතාවක් ගොඩනැඟෙන්නේ. ආදරයට සියල්ලම වෙනස් කළ හැකි බව ප්‍රේක්ෂකයාට මගේ චරිතයෙන් පසක් කරනවා. මේ දිනවල තිරගතවන මේ සිනමා පට දෙකම ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගෙන තියෙන්නේ. ඒ නිසා මේ වන විට හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. වීර්යා සිනමාපටය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් උණා කිව්වොත් නිවැරැදියි. මොකද පාසල් කාලේ නිමාවත් සමඟ මම මේ සිනමා පටයට සම්බන්ධ වෙන්නේ. ජීවිතයේ හොඳම කාලෙ තරුණ කාලේ කියන්නේ ඒක නිසාවෙන් ඇති.


 


ඔබේ පාසල් පසුබිමත් සමඟ එදා භද්‍ර යෞවන තරුණියකට දැනුණු ආදරය කොහොමද දැනුණේ?


ආදරය මට විවිධාකාරයෙන් දැනුණ අවස්ථා තියෙනවා. ඒ අවස්ථාව තරුණ වියේදී පිරිමි ළමයකුගෙන් ලැබෙන ආදරයටත් වඩා එහා ගිය ආදරයක් මට ගොඩක්ම ආදරේ ලැබුණේ මගේ පවුලේ අයගෙන්. පාසල් වියේදී මිතුරියන්ගෙන් මෙන්ම නෑදෑ හිතවතුන්ගෙන් ලැබෙන ආදරය නොකඩවාම ලැබුණා. ඊට පස්සේ තමයි ටිකෙන් ටික පිරිමි ළමයෙකුට ආදරය කරන්නේ කොහොමද කියල දැනුණේ. ඒක හරිම සුන්දර කාලයක් හා හැඟීමක් කිව්වොත් නිවැරැදියි. අපේ ජීවිතවලට ආදරය නැත්නම් සුන්දරත්වයක් නෑ කියලා මට කියන්න පුළුවන්.ආයෙත් ආපස්සට හැරිලා බැලුවොත් හරිම සුන්දර අත්දැකීම් සම්භාරයක් කියලා කියන්න පුළුවන්. ඒ යෞවන කාලේ ආදරය මම උපරිමයෙන්ම ලැබුවා. ඒ කාලේ ආයෙ එන්නෑ! ඒත් ආයෙ එනවනම් හරිම සතුටුයි.


 


අද මවක් වෙලා ඒ සිනමාපටය ඔබේ දරුවත් සමඟ බලනකොට මොකද හිතුණේ?


මම වීර්යා සිනමාපටයට සම්බන්ධ වන විට විවාහ වෙලා සිටියේ නැහැ.අද සිනමාපටය තිරගත වන විට චූටි දුවකුත් මට ඉන්නවා. ඒ කාලයත් සමඟ සංසන්දනය කරන විට කාලයක් ගිහින්ද කියලත් හිතුණ.අනිත් පැත්තෙන් මම වයසට ගිහිල්ලද කියලා දැනුණා. ඒත් සිනමා පටය නරඹද්දී විශාල වෙනසක් ජීවිතයට වෙලා නැහැ කියලා කියන්න පුළුවන්. සිනමා පටය නැරඹපු සියලු දෙනාගෙන්ම ලැබුණු ප්‍රතිචාරය තමා වර්තමානයට ගැළපෙන තිර පිටපතක් ලස්සන ගලා ගෙන යන කතාවක් සිනමාපටයේ තිබුණා කියන එකයි. ඒත් බබත් එක්ක සිනමාපටය නරඹන විට හිතෙනවා ටික කාලයක් ගත වෙලා නේද කියලා.


විර්යා සිනමා පටය වගේ ප්‍රශ්නෙකට ඔබට මුහුණ දෙන්න උණානම් ඔබ මොන වගේ තීරණයක්ද ගන්නේ?


සිනමා පටයේ රංගනයේ යෙදෙන තිළිණට වගේ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වුණා නම් සමහරවිට ඒ වයසේදි එහෙම වෙන්න තිබුණා.නමුත් දැන් සමාජය ගැන තියෙන දැනුම අත්දැකීම සමඟ තිළිණි වගේ මුරණ්ඩු නොවී හිතලා බලලා ඉවසලා තීරණ ගනියි. ඒ සියලු දේවල් සමාජ පසුබිමත් සමග පවුල් අතර සිදුවන සාමාන්‍ය ප්‍රශ්නයක් බවට පත්වෙලා ඉවරයි. රංගන ශිල්පිනියක් හැටියට එවැනි චරිතයක් යෞවනියක සිටියේදිම මට ලැබුණ එක ගැන මම සතුටු වෙනවා. අදටත් තිළිණි වගේ චරිත සමාජයේ ජීවත් වෙනවා කියන එකට හොඳ ආදර්ශයක් වීර්යා සිනමා පටයේ තිළිණි.


 


දැනට කරපු නිර්මාණත් එක්ක වීර්යා ගැන මොකද හිතෙන්නේ?


සමාජයේ විවිධ පවුල්වල විවිධ අයුරින් සිදුවන කතා තේමාවක්. මේ සිනමාපටයට වස්තු විෂය වෙලා තියෙනවා. ප්‍රේක්ෂකයන්ට හොඳ විනෝදාස්වාදය ගෙන එන සිනමා පටයක් බවට වීර්යා සිනමා පටය අදවන විට සාර්ථකව තිරගත වෙනවා. එක රැල්ලට වගේ සිනමාපට නිර්මාණය වුණාට. එකින් එකට සංසන්දනය කරන්නත් බැහැ සිනමා නිර්මාණයන්. අද පවතින වාතාවරණය අනුව වර්ගීකරණය කරන්නත් සිනමාපට අමාරුයි. අධ්‍යක්ෂකවරයාගෙන් අධ්‍යක්ෂකවරයාට මෙන්ම තිර රචකයාගෙන් තිර රචකයාට කතා තේමාවන් වෙනස් වෙනවා. රූප රාමුවෙන් රූප රාමුවට වෙනස් කෝණයන් පෙන්වන්නේ.ඒත් වීර්යා සිනමාපටයේ තිළිණිගේ චරිතය කරපු මම අනිත් කරපු සිනමාපට අතරින් හොඳ චරිතයක් හා හොඳ සිනමාපටයක් වෙනවා කියලා කියන්න පුළුවන්.


 


මේ වන විට මුදාහැරපු සිනමාපට අතර හොඳ තරගකාරීත්වයක් තියෙනවා ක්ෂේත්‍රයේ නියැළෙන ශිල්පිනියක් හැටියට ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?


මේ කාල වකවානුවේ විවිධ සිනමා පට තිරගත වෙනවා.ඒක අපේ කර්මාන්තයට හොඳ ප්‍රවණතාවයක් කියලා කියන්න පුළුවන්. විවිධ තේමාවන් යටතේ සිනමාපට තිරගත වන විටතමා ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවට ඇදී එන්නෙත් හොඳ රසස්වාදයක් තියෙන්නෙත්. උදාහරණයක් හැටියට කිව්වොත් අපි පළවෙනි සතියේ කොමඩි සිනමාපටයක් බලලා ඊළඟ සතියේ කොමඩි සිනමාපටයක් බලන්න කැමති නැහැ. මමත් සතියෙන් සතිය සිනමාපට බලනවා නම් ඒ සතියේ විවිධ වෙනස්කම් යටතේ තියෙන සිනමාපටයක් නරඹන්න තමයි කැමති. මේ කාලය තුළ එකින් එකට වෙනස් සිනමාපට තිරගත වෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක් අපේ සිනමා කර්මාන්තය ඉදිරියට ගෙන යන්නට නම්. මේ තුළින් තරුණ අධ්‍යක්ෂකවරු හා නවක රංගන ශිල්පීන් නිෂ්පාදකවරුන් එළියට එන ප්‍රවණතාවය වැඩියි. ඒ නිසා ඒ සියලු දෙනාටම තිබෙන අවස්ථාවන්ද උදාවෙනවා. නියමිත කාල සීමාව තුළදී සිනමා පටය තිරගත වූණා නම් ක්ෂේත්‍රයේ සිටින අධ්‍යක්ෂකවරු හා නිෂ්පාදකවරු ඔවුන්ගේ නිර්මාණ සඳහා මාව තෝරාගන්න සමහර විට තිබුණා. එයින් උණේ අධ්‍යක්ෂකවරයාටත් නිෂ්පාදකවරයාටත් මෙන්ම රංගන ශිල්පීන්ටත් ලොකු අසාධාරණයක් වීමයි.ඕනෑම නිර්මාණයන් නිසි කාල සීමාව තුළදී තිරගත කළ යුතු කියලයි මට නම් හැඟෙන්නේ.තිරයට මුදා හරින සිනමාපට අතර තරඟකාරීත්වයක් තිබුණොත් තමයි.ප්‍රේක්ෂකයාට තෝරාගැනීමට හැකි වෙන්නේ.ඒ නිසා තරගකාරීත්වය තුළට නිර්මාණ බිහි කළ යුතුයි.


 


වයස 18ක පසු වු තරුණියක් ලෙස දර්ශන තලයේදී මුහුණ දෙන්නට වුණු ගැටලු මොනවාද?


මේ සිනමාපටයට දායක වන විට මම සිනමා නිර්මාණ තුනකට දායක වෙලයි තිබුණේ.ඒත් මේ සිනමාපටය මගේ හැරවුම් ලක්ෂ්‍යයක් උණා කියලා කියන්න පුළුවන්ය මේ කිසිදු නිර්මාණයක් තුළදී මට ගැටලුකාරී තත්ත්වයක් මතු වුණේ නැහැ. මම සිනමාපට කීපයකටම දායක වෙලා එහි අත්දැකීම් ලබාගෙන තිබුණ නිසා ක්ෂේත්‍රය තුළ පැන නගින ගැටලූ අවබෝධ කරගෙනයි තිබුණේ. ඕනෑම නිර්මාණයකට දායක වන විට සාමූහික කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන්නේ. ඒ නිසා කිසිවකුට ගැටලුකාරී ප්‍රශ්න මතුවන්නේ කලාතුරකින්. ඒත් ඒ මතුවන ප්‍රශ්න බරපතළ ප්‍රශ්න නෙමෙයි. සියලු දෙනාගේ සාමූහික එකතුවෙන් කරන නිර්මාණය ලෙසයි අවසානයේ සනිටුහන් වෙන්නේ. ඒක තමයි නිර්මාණයක බැඳීම කියලා මම දකින්නේ. ගැටලුවලට වැඩීය බැඳීමයි නිර්මාණයක තියෙන්නේ.


මේ ආපු ගමනේදී ඔබ ඇගයීමකට ලක්වෙලා තියෙනවද? ඒ මොන සම්මාන උළෙලවල් වලදීද?


මේ කරපු නිර්මාණ අතරින් තවම මම සම්මානයට පාත්‍ර වුණා කියලා මම දකින්නේ නැහැ. ඒත් නිර්මාණවලට දායක වෙන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි. මාව තෝරා ගන්නා අධ්‍යක්ෂකවරයාට හා නිෂ්පාදකවරයාට නිර්මාණය වෙනුවෙන් සාධාරණයක් කිරීමයි මගේ ඒකායන අරමුණ වෙන්නේ. සිග්නිස් සම්මාන උළෙලකදී සූම් සිනමා පටය වෙනුවෙන් කුසලතා සම්මානයක් මට ලැබිලා තියෙනවා. සරසවිය සම්මාන උළෙලකදී මට කුසලතා සම්මානයක් හිමිවෙලා තියෙනවා. ඒ සම්මාන උළෙලට මට සහභාගී වෙන්න ලැබුණේ නැහැ. හොඳ චරිතයක් කිරීම තුළින් ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ප්‍රතිචාරය හොඳම සම්මානය ජීවිතේ කියලා මම සලකන්නේ. රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට ලැබෙන හොඳම සම්මානය ප්‍රේක්ෂක සම්මානය විය යුතුයි. ඔවුන්වයි අපිව ඔසවා තබන්නේ. ඒ නිසා ඔවුන්ගෙන් ලැබෙන සම්මානය මම හැමදාම අගය කරනවා.


 


ඔබ තෝරා බේරාගෙන නිර්මාණ භාර ගන්නවා කියන්නේ මොකක්ද ?


ඇත්තටම මගේ ජීවිතේ ලයිෆ් ටයිම් එක වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා මගේ කාර්යබහුලතාවය තුළ කාලය කළමනාකරණය කරගෙන තමයි නිර්මාණ වලට දායක වෙන්නේ. තිර පිටපතක් කියවලා මට කරන්න පුළුවන් චරිතයක් තිබුණොත් බාරගෙන දායක වෙනවා. ඒ නිර්මාණයට උපරිම සාධාරණය කිරීමේ අරමුණින්. මට කිරීමට නොහැකි කිසිදු නිර්මාණයකට මම දායක වෙන්නේ නැහැ.


 


ඔබ හරිම සැහැල්ලුවෙන් ජීවිතය ගෙවා දමන්නේ මොකක්ද එකේ රහස?


ඇත්තටම මගේ ජීවිතේ මම සැහැල්ලුවෙන් තමා ගත කරන්නේ. සැහැල්ලුවෙන් ජීවත් වෙන අයට රහස් නෑ. මගේ සිත ශක්තිමත් කරගෙන එන ප්‍රශ්නවලට අභියෝගවලට ගැටලුවලට මුහුණ දීලා ඒ තුළින් එළියට ඇවිල්ලා මගේ ගමන මම යනවා. මගේ ජීවිතයේ සිදුවුණු සියලු දේවල් හොඳට උණා කියලයි මම දකින්නේ. ඒ මගේ ජීවිතයේ අත්දැකිම් තුළින් ඉගෙන ගත් දේවලුයි. අපි කොච්චර සතුටින් සිටියත් එක මොහොතකින් දුකක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඒ සියලු දේවල්වලට මුහුණ දෙන්න බලාගෙන තමා ජීවත් වෙන්න ඕනි. මගේ ජීවිතයේ අත්දැකීම් තියෙන නිසා සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා බබාගේ ජීවිතයත් සමඟ හොඳට හිතල මතල තීරණය ගත යුතුයි. ඒ ගන්න තීරණ තුළින් හොඳට ජීවිතේ ගත කරන්න පුළුවන් එහෙම උණොත්.


 


දැනට කරල තියෙන නිර්මාණ මොනවාද? ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?


සෑහෙන නිර්මාණ සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවා. ඒත් ඉදිරියේදී චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. එක සිනමා පටයක් මගේ තාත්තා අධ්‍යක්ෂණය කළ රහයි ජීවිතේ, අනිත් සිනමාපටය තමයි බුද්ධි වික්‍රමාරච්චි අධ්‍යක්ෂණය කළ තරු අතර කියන සිනමා පට දෙක ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී බලාගන්න පුළුවන්.තව නිර්මාණ කිහිපයකටම කතා කරලා තියෙනවා. ඒත් මගේ කාර්යබහුලතාවය තුළ තෝරා බේරාගෙන කාලය මැනේජ් කරගෙන කරන්න බලාපොරොත්තු වෙනවා.


 


මේ වන විට සිනමා පටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


වීර්යා සිනමා පටයට මේ වන විට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය ජාලා වලින් තමා හොඳම ප්‍රතිචාර මේ වන විට ලැබෙමින් පවතින්නේ. ඒ ලැබෙන ප්‍රතිචාර මට ගොඩක් වටිනවා මේ කාලය තුළ. සිහිනයකි ආදරය සිනමා පටයටත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මම ඒ ලැබෙන ප්‍රතිචාර සමඟ සතුටින් කාලය ගත කරනවා.


ඉස්සරහට නිර්මාණකරණයත් සමඟම දිගටම නිරත වෙනවාද?


හොඳ අධ්‍යක්ෂකවරයකු හා නිෂ්පාදකවරයෙකු යටතේ හොඳ නිර්මාණයක් ලැබුණොත් වැඩකටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.


 


පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද ඔබේ නිර්මාණකරණයට?


මගේ ජීවිතයේ පවුලෙන් තමා මට ලැබෙන හොඳම සහයෝගය ලැබෙන්නේ. මගේ ජීවිතේ මගේ චූටි දුව බලා ගැනීම තමා මට තියෙන ලොකුම ප්‍රශ්නය බවට මතුවෙලා තියෙන්නේ. නිර්මාණවලට දායක වෙන්න නම් මනස නිරවුල් වෙන්න ඕන. අපේ අම්මා සහ සැමියාගේ මව දක්වන දායකත්වය බබා බලා ගැනීම වෙනුවෙන් මේ අවස්ථාවේ මම අගය කළ යුතුයි. ඔවුන් දෙදෙනා ලබා දෙන සහයෝගය නිසා නිර්මාණයකට ගොස් සැහැල්ලුවෙන් වැඩේ කරලා නැවත එන්න පුළුවන්. මගේ නිර්මාණකරණයේ පටන් ගන්නා තැන සිට අවසානය දක්වා යෝධ ශක්තියක් ලෙස සිටින්නේ මගේ පවුලේ අයයි.


 


ඔබේ පරම්පරාවේ ශිල්පීන් ප්‍රවීණයන් සමඟ නිතර ගැටුම් ඇති කරගන්නවා නේද ඒ ගැන මොකද කියන්න තියෙන්නේ අවසාන වශයෙන්?


අපේ කාලයේ අය ප්‍රවීණයන් සමඟ ගැටුම් ඇති කරගන්නවා කියලා මෑත කාලයේදී අහලා නැහැ. සමහර විට මම නොදැනුම්වත්ව ගැටලු මතු කර ගන්නවා ඇති. ඒත් ප්‍රවීණයන් සමඟ අපට ප්‍රශ්න ඇතිකර ගන්නට අවශ්‍යතාවයක් මතුවන්නේ නැහැ. අපේ පරම්පරාව සහ ප්‍රවීණයන් කියන පරම්පරාව යුග දෙකක නියෝජනයක්. යුග දෙකක අදහස් උදහස් වෙනස්වීම නිසා සමහර විට ගැටලුකාරී තත්ත්වයන් තුළින් කටයුතු කිරිමට සිදු වෙනවා ඇති. එනිසා අපි හැමවිටම ප්‍රවීණයන්ගෙන් දැනුම ලබාගෙන ඔවුන්ට ගරු කරලා ක්ෂේත්‍රය තුළ ඉදිරි ගමනක් යා යුතුයි.




Previous Post Next Post