සංස්කෘතිය වෙනස් වෙනකොට හැමදේම වෙනස් වෙනවා – ආචාර්ය රෝහණ බැද්දගේ




කන්දේ ලන්දේ,

ගඟුලැල්ලේ පේනා තෙක් මානේ.

මන බැන්දේ වින්දේ

සුවපහසේ වාසේ ගම්මානේ

මේ ගීතය ඇසූ දුටු සැනින් ඔබ මතකයට නැගෙන්නේ, සසඳ සසඳ, කලියුග තාලෙට, මේ ගම්මානේ, ගොන් වස්සා වැනි සුන්දර මනබඳනා ගීත මෙන්ම පළිඟු මැණිකේ, රාළහාමි, විපරිණාමය, ගම්මානෙන් සිදාදියට වැනි බොහෝ වටිනා කෘති රචනා කළ ඔබ අප කවුරුත් බොහෝ සෙයින් ආදරය කරන හෙළ කලා ශිල්පයේ සලකුණක් වන දක්ෂ, නිර්මාණ ශිල්පියෙක් මෙන්ම ජනශ්‍රැති පර්යේෂකවරයෙක් වන රෝහණ බැද්දගේ ආචාර්යවරයායි. මෙවර “මීවිත” සුන්දර කතාබහක යෙදුණේ රෝහණ බැද්දගේ සමගිනුයි.


ආචාර්යතුමනි, කොහොමද මේ දවස්වල සැප සනීප එහෙම?


සැප සනීප කියන්නේ, අසනීපයකුත් එහෙම නැහැ. වැඩවලටත් යනවා. ඒ වගේම සනීපත් නැහැ. බෙහෙත් එහෙමත් බොනවා. ඉතින් පොඩි පොඩි අමාරු එහෙමත් තියෙනවා.


මේ පසුගිය දවසක විශේෂ කටයුත්තක් සිදුවුණානේ. “සුදර්ශී” සිංහල සංස්කෘතික පර්යේෂණ මධ්‍යස්ථානයේ රෝහණ බැද්දගේ පෙරහුරු කරළිය ඔබතුමාගේ නමින්ම නම් කරානේද? ඒ ගැන මොකද හිතෙන්නේ?


ඒකට මාත් බොහොම කැමැති වුණා. මොකද සුදර්ශිය අපට හුඟාක් අපේ ජීවිතවලට සම්බන්ධයි. මම සුදර්ශියේ ආරම්භක සාමාජිකයෙක්. හැට ගණන්වල රුපියල් දහයක සාමාජික මුදලක් තමයි තිබුණේ. එදා ඉඳලා මම සුදර්ශියේ කාලයක් වැඩ කළා. දයානන්ද ගුණවර්ධන මහත්මයත් එක්ක නාට්‍යයත් ගොඩක් කළා. ඉතින් ඒ වැඩ කරලා ඒ සම්බන්ධතාවය උඩ, මම කාලයක් එතැනට සේවයක් කරපු නිසා මාව තෝරගන්න ඇති කියලා මම හිතනවා. මමත් හරිම සතුටු වුණා මගේ නමින් ඒක විවෘත කරන එක ගැන.


ඔබ අතින් නිර්මාණය වූ බහුතරයක් නිර්මාණ ගම පදනම් කරගෙන නේද බිහිවන්නේ?


ඔව්. මගේ ගම හොරණ. හොරණ නගරයෙන් ගොඩක් පිටිසරට වෙන්න “උඩුව” කියන ගම හරිම සුන්දරයි. ගමේ හැම අංශයකින්ම දක්ෂ කලාකාරයෝ හිටියා. ඉතින් මට ඒ හැම කලාවකම ආශ්‍රය ලැබුණා. ඒ නිසා හැම කලාවක් පිළිබඳවම මට අවබෝධයක් ලැබුණා. මගේ නිර්මාණවලට ඒක මට ලොකු වාසනාවක් වුණා.


වර්තමාන කලා නිර්මාණවලට දායකත්වය ලබා දෙන කලා ශිල්පීන්, ශිල්පිණියන්ට විවරවෙලා තියෙන දොරටු පිළිබඳ ඔබගේ අදහස සහ ඒ අතරින් වැඩිපුරම කැමැති මොන නිර්මාණයටද?


අපේ කාලේ පාවිච්චි කරපු භාණ්ඩ සහ ශිල්ප ක්‍රම නෙවෙයි දැන් තියෙන්නේ. දැන් අලුතින් ඒවා වෙනස් වෙලා. අපි ගුවන්විදුලියේ එක මයික් එකටයි ඔක්කොම වාදන භාණ්ඩ එකතු කරලා වාදනය කරලා සිංදුවක් කිව්වේ. දැන් එහෙම නෙවෙයි, ඊට වඩා තාක්ෂණය දියුණුයි. ඉතිං ඒ කොයිකටද කැමැති කියලා හිතාගන්න බැහැ. හැම නිර්මාණයක්ම රස විඳිනවා. තවත් දෙයක් තමයි අද කාලේ අපට තාක්ෂණයට අනුගත වෙන්න සිද්ධවෙලා තියෙනවා. නූතන ලෝකයේ ඒක වරදක් නෙවෙයි. සංස්කෘතිය වෙනස් වීගෙන යනකොට හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ අතර අපේකම රැක ගන්නත් පුළුවන්.


පවුලේ විස්තර ගැනත් කතා කරමු


මම විවාහ වුණේ පද්මතිලකා එක්ක. එයත් සංගීත ගුරුවරියක්. එතකොට අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතා තාරක බැද්දගේ. ඊට වැඩිමල් දුව තුෂාරා බැද්දගේ. දුව ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂවරියක් හැටියට සේවය කරලා දැන් විශ්‍රාම අරගෙන ඉන්නේ. පුතා නම් තවමත් වැඩ කරනවා, එයාගේ පෞද්ගලික ආයතනයක් තියෙනවා “රැව්” කියලා.


ආදරණීය බිරිඳගෙන් ලැබෙන සහයෝගය ගැනත් කතා කළොත්?


ඇත්තටම ඇයගෙන් මට ලැබෙන සහයෝගය හොඳටම ප්‍රමාණවත්. මගේ ගැන හැම දෙයක්ම හොයලා බලනවා. මගේ පරිස්සම ගැන හිතනවා. මම අසනීප වෙලා ඉන්න නිසා කොහේ හරි ගිහින් එන්න පරක්කු වුණත් කෝල් එකක් දීලා අහනවා, කොයි හරියේද ඉන්නේ කියලා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා ඇයගේ අරපරිස්සම. ගෙදර ගෘහණියක් වුණාම අරපරිස්සම හොඳට තියෙන්න ඕනෑ. අපි දෙන්නම ණය නැහැ කාටවත්. එහෙම ණය නොවී තියෙන දේ පරිස්සම් කරගන්නවා. හොඳ සැලැස්මක් ඇතිව තමයි ඇය නිතරම වැඩ කළේ. ඉතින් ඇයගේ තියෙන ඒ කළමනාකාරීත්වයට මම හරිම කැමැතියි.


විවේක පාඩුවේ ඉන්නකොට ඔබතුමා මොනවද වැඩිපුර කරන්නේ?


පුළුවන් තරම් පොත්පත් කියවනවා. ධර්මය කියවනවා. එතකොට පොත්පත් ලියනවා. දැන් එහෙම ලියපු පොත්පත් දහයක් විතර තියෙනවා. අලුතෙන්ම කරලා තියෙනවා, ධම්මපදයේ හැම කතාවකටම මුල් වෙච්ච කතා ශරීරයක් තියෙනවානේ, ඒ කතා ශරීරයම මම කවියට නගලා තියෙනවා. එතන කවි පන්දහස් හත්සිය ගාණක් පමණ තියෙනවා.


අද මේ ඉන්න රෝහණ බැද්දගේ කියන නිර්මාණ ශිල්පියා බිහිවෙන්න මුල් වුණ පුරෝගාමියෙක් ඉන්නවද?


මෙහෙමයි, ආරම්භයේදී මට සම්පූර්ණයෙන්ම බලපෑවේ ගැමියෝ. මගේ ගමේ හිටපු වැඩිහිටියෝ. එහෙම එක්කෙනෙක් කියල නැහැ. ගමේ හිටපු හැමෝම වගේ මුල් වුණා. අපේ ගමේ තිබුණා පිං දෙන කවි හතළිස් අටක්. ඒ ටික දැන් මා ගාව තියෙනවා, ඔක්කොම එකතු කරලා. ඉතින් ඒ කවි 48 රටේ වෙන කොහේවත් භාවිතා වෙන්නේ නැහැ. ඒක ගමටම සීමා වෙලා තියෙන්නේ. කවුරු හරි ගමේ කට්ටියගෙන්ම තමා නිර්මාණය වෙලා තියෙන්නේත්. එහෙම ලියපු කතුවරයෙකුත් නැහැ. ඉතින් ඔය විදිහට ගමෙන් ආපු ඒවා මට බලපාලා තියෙනවා. එහෙම නිතැතින්ම මාව යොමුවුණා කලාවට. එහෙම නැතුව මට පුරෝගාමි වුණු එක්කෙනෙක් කියලා නැහැ. ගැමි සමාජය තමයි මට මේ තැනට එන්න බලපාලා තියෙන්නේ.


හැඟීම්, දැනීම් බොහොමයක් දනවන බොහෝ වටිනා නිර්මාණ රැසක් ඔබතුමා අතින් නිර්මාණය වෙලා තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු


මගේ සිංදු සේරම ටික ලියලා තියෙන්නේ මම. ඒක කවුරුවත් ලිව්වට මට හරියන්නේ නැහැ. මට ඕනෑ විදිහටම ලියලා ගන්නවා. මට ඕන විදියටම සංගීතය යොදා ගන්නවා. මට ඕනෑ විදියටම ගායනා කරනවා.


ඔබට විශේෂ බලාපොරොත්තු එහෙමත් ඇති?


මට බලාපොරොත්තුවක් තියෙනවා කෞතුකාගාරයක් කරන්න. මගේ පොත්පත් රාශියක්, සම්මාන රාශියක් තියෙනවා. තව ගොවිතැන් කටයුතුවලට භාවිතා කරපු උදලු, නගුලු සේරමත් තියෙනවා. ඕනා ඔක්කොම දාලා කෞතුකාගාරයක් කරන්න පුළුවන් නම් මම කැමැතියි. මට තියෙන දෙයක් තමයි මට ඒක කරන්න විදිහක් නැහැ. මොකද මට සල්ලි නෑනේ. කවුරුහරි මැදිහත්වෙලා ආණ්ඩුවෙන් හරි කරනවා නම් මම ඒකට හරි කැමතියි. ඒකත් මේ වෙලාවේ දෙන්න පුළුවන් හොඳ පණිවුඩයක්.


පාරමී කෞෂිකා




Previous Post Next Post