රසික මනස ඇතුළේ ගහපු රස්තියාදුවට මම හරි ආසයි-රොජර් සෙනවිරත්න

 


රසික මනස ඇතුළේ ගහපු රස්තියාදුවට මම හරි ආසයිදුන්න දුනු ගමුවේ සමඟින් වේදිකාවේ ඇරැඹි ගමන් මඟ, ඉන් ඔබ්බට පුංචි තිරයටද, සිනමාවටද රැගෙන ආ ඔහු මෙරට කලා ක්ෂේත්‍රය තුළ දශක හතරහමාරකට වැඩි කාලයක අත්දැකීම් ඇති විශිෂ්ටයෙකි. වේදිකාවට පස්වැන්නා වැනි විශිෂ්ට නිර්මාණ දායාද කළ ඔහු පුංචි තිරය තුළ අමරණීය ප්‍රේමයක ස්වර්ණමය සලකුණු තබමින් චාතුර්යාහි තේමිය බවට පත් විය. එමෙන්ම සිනමාව දිග්විජය කරමින් විජය රජු බවටද පත්වූ ඔහු අවසානයේ ඒ සියල්ල තාවකාලිකව නතර කොට සැබෑ ජීවිතය තුළ දේශපාලනඥයකුගේ භූමිකාවටද පණ පෙව්වේය. තව වසර සිය ගණනක් ගියත් අමතකව නොයන නිර්මාණ විශාල සංඛ්‍යාවක් හරහා මෙරට රසිකයාට සමීප වූ ඔහු අන් කවරකුවත් නොව ප්‍රවීණ රංගන ශිල්පී රොජර් සෙනවිරත්නය. කාලෙකට පස්සේ ඔබ ආයෙත් නිර්මාණවලින් පේන්න ඉන්නවා.


 කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?


කොරෝනා කාලෙන් පස්සේ හැමෝටම වගේ වැඩ අඩු වුණානේ, ඊට පසුව මම සම්බන්ධ වුණු තත්පරයක් දෙන්න ටෙලි නාට්‍යයි, අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයයි දෙකම මේ දිනවල ප්‍රේක්ෂකයාට රස විඳින්න පුළුවන්. මාධ්‍ය දෙකෙන්ම මගේ චිත්‍රපටයකුයි, ටෙලි නාට්‍යයකුයි දෙකක්ම ප්‍රේක්ෂයාට රස විඳින්න ලැබීම ගැන  මම ඉතාමත් සතුටට පත් වෙනවා. අපි ඉතිං ඉපදුණෙත් ඕකටමනේ, ඒක නිසා සතුටුයි.


තත්පරයක් දෙන්න ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද විකාශය වෙනවා, ඔබේ චරිතයට මොන වගේ ප්‍රතිචාරද හිමිවෙන්නේ?


බනිනවා, හොඳටම බනිනවා. ඒ බනින එකත් මට සතුටක්. එතකොට මට හිතෙනවා මගේ චරිතය මම මැනවින් ඉෂ්ට කරනවා කියලා ඒ චරිතය ඇතුළේ. දිගටමත් මම නැහැ ඒකේ. නමුත් ඉන්න ටික පිළිබඳවත් මම සෑහීමකට පත් වෙන්නේ නැහැ ඇත්තටම. දැන් කරා නම් ඒක මීට වඩා වෙනස් විධියකට කරන්න ඉඩ තිබුණා. ඒ වගේම අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය පිළිබඳවත් මම ඉතාමත් සෑහීමකට පත් වෙනවා. හේතුව අද තිබෙන සමාජ වාතාවරණයත් එක්ක  මන්ත්‍රිවරයෙක් හරි නොහොඹිනා වැඩක් කළාම ඔහුව නීතියේ රැහැනට අහුවෙනවා කියන දේ අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයෙන් ඉතාම ලස්සනට පෙන්වනවා. සමාජයේ දැන් තිබෙන වාතාවරණය එක්ක බලද්දි ඒ වගේ දේවල් ප්‍රේක්ෂකයාට දකින්නට සැලැස්වීම ඉතාම හොඳයි.


ඔබත් දේශපාලනයේ නියැළුණු පුද්ගලයෙක්, ඇත්තටම ලංකාව වගේ රටක කලාවට දේශපාලනයෙන් වියුක්තව පැවැතීමක් නැද්ද?


පුළුවන්. නමුත් අපි දේශපාලන සත්ත්වයෝ. මම හැත්තෑ අටේ ඉඳන්ම දේශපාලනය කරන කෙනෙක් මේ රටේ. ඒ දැනීමත් එක්කම තමයි මම පළාත් සභාවට යොමු වුණේ. මිනිස්සුන්ටම ඇරිලා, ඔවුන්ට බොහෝ සෙයින් වැඩ කළා. මිනිස්සු ඒ නිසාම මට ආදරය කළා. ඔවුන්ගේ ආදරයට මම හානියක් කළේ නැහැ. මම කරපු දේශපාලනය පිළිබඳව මම සතුටුයි.


කාලෙකට පසුව ඔබව දැකීමත් රසිකයන්ට ප්‍රහර්ෂයක්, දශක ගණනාවක් පුරාවට ජනප්‍රියත්වය එකම ආකාරයෙන් රඳවා ගන්නේ කෙසේද?


මට ලැබෙන හැම නාට්‍යයකටම, චිත්‍රපටයකටම මම ඉතාමත් හොඳ සාධාරණයක් කරලා තිබෙනවා අවුරුදු හතළිස් පහක් තිස්සේ. ඒක අපේ ආදරණීය රසික රසිකාවියන්ට ගොඩක් දැනිලා තිබුණා. කාලයක් කොරෝනා හා දේශපාලනය නිසා පස්සට ගියාට රංගනය සම්බන්ධයෙන් මගේ අධ්‍යයනය මම නතර කළේ නැහැ. මා කොහොමත් හොඳට පොත පත පරිශීලනය කරන කෙනෙක්. මම මගේ රංගනය සම්බන්ධයෙන් රසිකයන්ට කොයිම මොහොතකවත් අසාධාරණයක් කරන්නේ නැහැ. ඒක මැනවින් ඉෂ්ට කරන්න, රංගනය උපරිමයට ගේන්න තමයි මගේ වෑයම.


ලංකාවේ කලාවේ යුගයක් තිබුණා රොජර් සෙනවිරත්න නමට ලියවුණු, ඒ කාලය ගැන මතක් කළොත්?


ඒ කාලේ හිටපු කොල්ලෝ කෙල්ලෝ, මට විශාල ආදරයක් ලබා දුන්නා. ටෙලිෆෝන් නැති කාලේ මගේ ගෙදරට ලියුම් ඇවිත් තිබෙනවා වැල නොකැඩී. අදටත් ෆේස් බුක්, යූ ටියුබ් වගේ ඒ වගේ කමෙන්ට් කියවද්දි හරිම සතුටුයි. මම මගේ රංගනයට කවදාවත් හානියක් කරලා නැහැ. ඒක නිසා මාව මිනිසුන්ගේ හිත ගත්තා. ඒක ඇත්තටම මිනිසුන්ගේ මනස ඇතුළේ කරපු සියුම් රස්තියාදුවක්. ඒ රස්තියාදුවට මම ආසයි.


ඔබේ රංගන  ප්‍රතිභාව හරහා මෙරට කලාව තුළ නොමැකෙන සටහන් විශාල ප්‍රමාණයක් තැබීමට ඔබ සමත් වෙනවා?


මම පෙන්නපු ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටයට වඩා ඉදිරියේදී කරන්න තිබෙන නිර්මාණය ගැන අවධානය යොමු කරන ප්‍රමාණය වැඩියි. මම පිටපත කියවනවාමයි. ඒ පිටපතට සාධාරණයක් කරන්න අවශ්‍ය මනස මම හදාගන්නවාමයි. ලැබෙන හැම පිටපතකටම සියයට හැටක දායකත්වයක් ලබා දෙන්න  තමයි මගේ වෑයම. විශේෂයෙන්ම මම රඟාපාපු ආදර කතා ඒ හැම එකක්ම ඉතාමත් ආදරණීය විධියට, වෙනස් ආකාරයට මම නිරූපණය කරලා තිබෙනවා.


ඔබේ සමකාලීනයන් බොහෝමයක් මේ වෙද්දි රංගන පාසල් අරම්භ කරලා. ඔබට ඒ ගැන අදහසක් නැද්ද?


ඇත්තටම අද වෙද්දි රංගනය උගන්වන තැන් ගොඩක් තිබෙනවානේ. මම වේදිකා නාට්‍යයක් කරන්න පටන් ගත්තොත් වර්ක් ෂොප් එකක් කරනවා. එක්දහස් නවසීය අනූ දෙක වර්ෂයේ මම පස්වැන්නා නාට්‍ය කළේ මාස හයක වර්ක් ෂොප් එකක් කරලා. ඒ වර්ක් ෂොප් එක නිසාම ඒ නාට්‍ය ඉතාමත් සාර්ථක නාට්‍යයක් බවට පත් වුණා. ඇත්තම කියනවා නම් අදටත් පරිවර්තන නාට්‍යයක් හැටියට තරුණ සේවා සභාවේ තිබෙන්නේ එක්දස් නවසිය අනූ දෙක වසරේ මගේ නාට්‍ය තියපු රෙකෝඩ් එක. ඒ නාට්‍ය පරිවර්තනය කළෙත් මම, අධ්‍යක්ෂණය කළෙත්, ප්‍රධාන භූමිකාව නිරූපණය කළෙත් මම.


ආයෙමත් පස් වැන්නා වේදිකාගත කිරීමේ අදහසක් නැද්ද?


ඒ කාලේ වේදිකා නාට්‍යයක් කරද්දි අපේ අවධානය සියයට පන්සියයක් ලබා දුන්නා. අපි කවදාවත් සල්ලි පසුපස ගියේ නැහැ. නිරූපණය ගැන ආදරයකින් ඒ වැඩේ කළා මිසක් සල්ලි උපයන්න හිතාගෙන නෙවෙයි ඒ කාලේ නාට්‍ය නිර්මාණය කළේ. ආර්ථික වශයෙන් පාඩු වුණත් ඒ ගැන හිතුවේ නැහැ අපි. නමුත් අද නාට්‍යයක් කරනවා නම්, ආර්ථිකය ගැන හිතන්නම වෙනවා. මොකද දැන් තිබෙන සමාජ ආර්ථික වටපිටාව එක්ක අපිට ගැටගැහෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙන්නේ. නමුත් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපිට නාට්‍යයක් කරන්න අවකාශයක් ලැබුණොත් මම වේදිකා නාට්‍යයක් කරනවා වර්ක් ෂොප් එකක් එක්කම. මට ගොඩක් අයගෙන් ඉල්ලීම් ලැබෙනවා මේ වෙද්දි පස්වැන්නා වේදිකා ගත කරන්න කියලා. ඒක මගෙත් ඔළුවට වැටිලා තිබෙනවා. ඒ සඳහා මුදල් වියදම් කිරීමට කෙනෙක් ලැබුණොත් මම වර්ක් ෂොප් එක පටන් ගෙන ඒක ඇතුළේ නාට්‍ය නිෂ්පාදනය කිරීම ආරම්භ කරනවා.


ඔබ හොඳ පාඨකයෙක්, පොත් එක්ක තිබෙන අසීමාන්තික බැඳීම ගැනත් පොඩ්ඩක් කතා කරමු?


මම පස්වැනි වසරේදී කියවීම ආරම්භ කළේ ඩීමන් ආනන්දගේ පොත්වලින්. එදා සිට අද දක්වා අති විශාල පොත්පත් ප්‍රමාණයක් පරිශීලනය කරලා තිබෙනවා. ඒකම තමයි අපේ හයිය. ඒ දැනුම ඉතාමත් විශාලයි. ඒකම තමයි අපි වේදිකා නාට්‍යයකට, චිත්‍රපටයකට ආරාධනා කරාම චරිතය ගොඩනඟා ගන්න උපයෝගි කරගන්නේ. හැබැයි ඉතින් කියවීම සඳහා රුචියක් තිබෙන්නත් අවශ්‍යයි. විශේෂයෙන් රංගන ශිල්පියෙක්ට, පොතපත පරිශීලනය හරහා, හොඳ නිර්මාණ රස විඳීම හරහා තමන්ගේ රංගනයට ලබාගත හැකි ප්‍රයෝජන බොහෝමයි.


ඔබේ ඉදිරි කටයුතු ගැනත් මතක් කරමු?


පසුගිය දිනවල උදයකාන්ත වර්ණසූරියගේ චිත්‍රපටයක වැඩ කළා, ඒකේ රූගත කිරීම් දින කිහිපයකට පෙර අවසන් වුණා. ඊට අමතරව සුගත් සමරකෝන් මහත්මයාගේ යක්ෂාවේශය චිත්‍රපටය තිරගත වෙන්න තිබෙනවා. ඒ වගේම සුගත් සමරකෝන් මහත්මයාගේම තෛ්‍රලෝක පත්‍රම් කියලා චිත්‍රපටයක වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මමත් තිර පිටපතක් රචනා කරලා තියෙනවා. මේ දිනවල ඒ වෙනුවෙන් නිෂ්පාදකවරයෙක් සොයා ගැනීම තමයි වෑයම.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post