ඇක්ෂන්-කට් කිව්වට යාළුකම තිරය පිටිපස්සෙදිත් තියෙනවා -හසුන් සමීර

 





ඔහු ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කළ නිර්මාණකරුවෙකි. වෙනස් වෙනස් ශානරයන් ඔස්සේ ගමන් කරමින් ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් ලබා දෙන මෙම අධ්‍යක්ෂවරයා මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතුරින් ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යයක හිමිකරුවාද වෙනවා. අද  එක්වන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂ හසුන් සමීර.


මේ දවස්වල වැඩ කටයුතු ගැන කතා කරනවා නම්?


මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ රාත්‍රි 7.25ට ජානු විකාශය වෙනවා. ඒ වගේම තවත් අලුත් ටෙලි නාට්‍යයක් විකාශය වීමට නියමිතව තිබෙනවා. මේ දිනවල ඔය වැඩකටයුතු සමඟ කාලය ගෙවී යනවා.


ඔබේ නවතම නිර්මාණය උන්මාදිනී ගැන කතා කරමු?


උන්මාදනී ඉක්මනින්ම ඉවරවෙයි. කොටස් හැටක් වගේ ප්‍රමාණයක් තමයි උන්මාදිනී ටෙලි නාට්‍යයේ තිබෙන්නේ. මම වෙනස් වෙනස් ශානරයන්වල වැඩ කරන්න උත්සාහ ගන්නවා. ඒ වගේම වෙනස් තේමාවන් ඔස්සේ ගමන් කරමින් ප්‍රේක්ෂකයා වෙත නවමු අත්දැකීමක් ලබා දෙන්න නිතරම උත්සාහ කරනවා. උන්මාදිනී කියන්නේ මම එහෙම වෙනස් නිර්මාණයක් කරන්න දරපු උත්සාහයක්.


ජානු ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලි නාට්‍ය බවට පත් වෙලා. මේ පිළිබඳ ඔබේ අදහස?


ඇත්තටම ඒ පිළිබඳව තිබෙන්නේ සතුටට වඩා වේදනාවක්. මගේ මාධ්‍යය සිනමාව. මගේ ආශාව වෙන්නෙ සිනමාකරුවෙක් වීම. ඒ වනතුරු මම කරන්නෙ පුහුණු වීම් කරන එක. මෙගා නාට්‍යකින් පවා මම කරන්නේ ඒ පුහුණුව ලබා ගැනීම. අපි එක කණ්ඩායමක් විධියට එකාවන්ව වැඩ කළා එහි සාර්ථක ප්‍රතිඵල තමයි මේ අපි ලබා ගත්තේ.


ඔබේ බොහෝ නිර්මාණවලට ප්‍රේමය විෂය පථය වෙනවා. ප්‍රේමය ගැන මොකද හිතෙන්නේ?


ආදරය කියන්නේ මිනිස්සු ආශා කරන දෙයක්. ප්‍රේමාන්විත දේවල්වලට මිනිස්සු හරිම ආශක්තයි. මේ දවස්වල මිනිස්සු හරිම අසරණයි. මිනිස්සු අඬනවා වගේම හිනා වෙනවා වගේම වේදනාව ලබනවා. මම මනුෂ්‍යත්වය  මුල් කරගනිමින් තමයි වැඩ කරන්නේ. මම ආදරය තේමා කරගනිමින් නිර්මාණයේ යෙදෙන්න කැමැති ඒ නිසා.


ඔබ අධ්‍යක්ෂවරයෙක්ට එහා ගිය නිර්මාණකරණයෙන් අනතුරුවත් තම හිත මිතුරන් සමඟ සුහදත්වයෙන් කටයුතු කරන පුද්ගලයෙක්. ඒ ගැනත් කතා කරමු?


ඇත්තටම ඔය වගේ ප්‍රශ්නයක් මගෙන් අහපු එකටත් සතුටුයි. මගේ මිතුරෙක් වන හර්ෂණ බෙත්මගේ කියන රංගන ශිල්පියා වරෙක මෙහෙම පෝස්ටුවක් මුහුණු පොතේ උඩුගත කරලා තිබුණා. අධ්‍යක්ෂවරයා යනු තම නිර්මාණ කාලය තුළ පමණක් ගනුදෙනු කරන්නා නොව හදවතින්ම හැම මොහොතෙහිම නිර්මාණයේ ජීවත් වන අය සමඟ ජීවත්වන්නාය කියලා. මම වැඩ කරන්නෙ මගේ යාළුවො එක්ක. වැඩේ නිමා වුණයි කියලා අපේ සබඳතා නැති වෙන්නෙ නැහැ. අපි හැම වෙලේම හමුවෙනවා. විස්තර කතා කරනවා. චරිත ගැන කතා කරනවා. මම ඉන්නෙ ඇක්ෂන් කට් කියන්න නෙවෙයි. මගේ යාළුකම් තිරය පිටුපසදිත් තිබෙනවා. මේ නිසාම මට හරිම කාස්ට් එක හදා ගන්නත් පුළුවන්.


මෙගා ටෙලි නාට්‍ය නිසා හසුන් සමීරට කලාත්මක නිර්මාණය මඟහැරුණාද?


ඇත්තටම නාළිකාවල කලාත්මක වැඩවලට වඩා ඉල්ලුමක් තිබෙන්නෙ වාණිජමය වටිනාකමකින් යුතු නිර්මාණවලට. යම් දෙයක් අලෙවි කර ගත හැකි නිර්මාණයක් තමයි ඔවුන්ට වුවමනා වෙන්නේ. ඒක හරි. අපි අපේ ඒ දේවල් කරන්න ඕන සිනමාව හරහා. මේක ටෙලි නාට්‍ය. මේවට කියන්නේ සෝප් ඔපෙරා කියලා. හසුන් සමීරගෙ අදහස් සිනමාව හරහා ව්‍යාප්ත වේවි. ලංකාව වගේ රටක ටෙලිවිෂනය හරහා ඒ දෙය කරන්න බැරි වේවි.


හසුන් සමීරගෙ ජීවිතය වෙනස් කළ පොත ගැන කතා කරමු?


මම ගොඩක්ම කැමැති චින්ගීස් ආයිත්මාතෆ්ගෙ පොත්වලට. ගුරු ගීතය, ජමීලා වගේ පොත්වලට මම හරිම ආසයි. ලංකාව ගත්තොත් මම කරුණාසේන ජයලත්ගෙ පොත්වලට ඉතා කැමැතියි.


හසුන් සමීරව නිර්මාණකරණය වෙත යොමු කරන්න බලපෑම් කළ නිර්මාණ හෝ පුද්ගලයන් ගැන කතා කරනවා නම්?


මට එහෙම බලපෑම් කළ දෙයක් නැහැ. මම සිනමාකරුවෙක් වෙන්න ආපු ගමනෙ අතර මැදක් තමයි මේ. මේක අහඹු සිදුවීමක්. මට මෙයාව ෆලෝ කරන්නවත් මෙයා වගේ වෙන්න ඕන කියලවත් හීනයක් නැහැ. මට ඕන හසුන් සමීරම වෙන්න.


ලංකාවේ නව නිර්මාණ බොහොමයක් සෝෂල් මීඩියා ඉල්ලුමට සැපයුම සපයන වෙළෙඳ භාණ්ඩද?


ඒක එක අතකින් හරි. අපි හිතමුකො මොකක් හරි දෙයක් වාර්තාමය වැඩසටහනකින් ඉදිරිපත් කරන්න ගියා කියලා ඒක හරි යන්නේ නැහැ. හැබැයි ටෙලිඩ්‍රාමා එකකින් ඒ දෙය ඉදිරිපත් කළොත් බොහෝ අය වැලඳ ගන්නවා. අපිට කරන්න තිබෙන්නේ වෙළෙඳ ප්‍රවාහය තුළ ගුණාත්මකව වැඩ කරන එක. ඇත්තටම මේක කරන්න අපහසු දෙයක්.


හසුන් සමීර සිනමාවට එන්නෙ කවදාද?


බොහෝම ඉක්මනින්. මේ දිනවල මම ඒ සඳහා වැඩ කටයුතු කරගෙන යනවා. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නෙ කියලා.


ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරමු?


අලුත් වැඩක් එනවා. ඒ නිර්මාණය එනතුරු රැඳිලා ඉන්න කියනවා. එය ඉක්මනින්ම විකාශය වේවි. මේක මම ඉතා මහන්සියෙන් කරන වැඩක්. බලමු මොකක් වෙයිද කියලා.


ගිහාන් සචින්ත



Previous Post Next Post