චිත්‍රපටයක් ඇතුළේ චිත්‍රපටයක් පෙන්නපු ලොකු අයියා- මහේන්ද්‍ර පෙරේරා




දක්‍ෂ චරිතාංග නළුවෙක් වෙන්න පිරිමියෙකුට ලස්සන රූපයක් ඕනෑ වෙන්නේ නැහැ. ඒකට ඕනෑ තරම් ලෝකයේ උදාහරණ තිබෙනවා. කතා කරන්න ගියහම තමන් ගැන මහ පම්පෝරි ගහන්න එතරම් අකමැති අපේ ලොකු අයියත් අපේ භාෂාවෙන් කියනවා නම් “පට්ට නළුවෙක්.” ඊට හොඳම උදාහරණය එයා දැන් බැඳලා හි ‘සිරි’ ගෙ චරිතය’ ලොකු අයියා නැත්නම් මහේන්ද්‍ර පෙරේරා සමග අද අපි කතාබහ කරන්න යන්නේ 1970 ලව් ස්ටෝරි චිත්‍රපටයේ අලුත්ම භූමිකාව ගැන.


මහේන්ද්‍ර පෙරේරා මේ දවස්වල චිත්‍රපටයක් ඇතුළේ චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරනවා. කොහොමද ප්‍රතිචාර?


චිත්‍රපටය තවම ප්‍රදර්ශනය ආරම්භ කළා විතරයි. මම දන්න කිහිප දෙනෙක්ම මට කතා කළා. ඔවුන් කිව්වේ මේ කතාව බලන්න ඕනෑ කියන කතාව තමයි.


චිත්‍රපටයක් ඇතුළේ තවත් චිත්‍රපටයක් හින්දා වැඩේ ලෙහෙසි නැහැ නේද?


චිත්‍රපටයක් ඇතුළේ චිත්‍රපටයක්. ඒ චිත්‍රපටය ඇතුළෙත් තවත් කතාවක් තිබෙනවා. එතකොට සම්පූර්ණ චිත්‍රපටය ඇතුළේ කතා තුනක් ගලාගෙන යනවා. ඉතිං ඒක ඇතුළේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා විදිහටයි මම රඟපාන්නේ. නමුත් අධ්‍යක්‍ෂවරයාටත් චිත්‍රපටය ඇතුළේ කතාවක් තිබෙනවා.


ඔබට අධ්‍යක්‍ෂණය කරන්න ලැබෙන්නේ සිංහල සිනමාවේ සිහින කුමාරයා වුණු හේමාල් වගේම ගම්‍යා විජයදාස වගේම අශාන් ඩයස්වයි. කොහොමද ඒ අත්දැකීම?


ඇත්තටම ඔය කියන තුන්දෙනාම වැඩක් කරන්න ගියහම විශාල ගරුත්වයක් වගේම කැපකිරීමක් ඇතුව වැඩ කරනවා. ඉතිං මේ තුන්දෙනාම මේ නිර්මාණය වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකළා.


1970 ලව් ස්ටෝරි පිටපත අතට හම්බවුණහම මොකද හිතුණේ?


මම අවුරුදු ගණනාවක් තිස්සේ නොයෙක් නොයෙක් අධ්‍යක්‍ෂවරු යටතේ වැඩකරලා තිබෙනවා. ඉතිං ඒ අත්දැකීම පළපුරුද්ද මට තියෙනවානේ. ඒක හින්දා මේ චරිතය ඒ තරම් ලොකු අභියෝගයක් වුණේ නැහැ.


ඔබේ චරිතය ගැන නළු නිළියන් මොනවද කිව්වේ?


හැමෝම වගේ චරිතය ගැන කතාබහ කරනවා. අධ්‍යක්‍ෂවරයා චිත්‍රපටයේ ඉස්සරහ කැමරාවක් ඉදිරියේ ඉන්න අධ්‍යක්‍ෂවරයෙක් විතරක් නෙමෙයි. ඒක ඊට එහායින් ඒ චරිතය විකාශය වෙනවා. විවිධ සිදුවීම්වලට පවා මුහුණ දෙනවා. මේකේ කොමඩි” රොමෑන්ස්” ත්‍රිලින්” කුතුහලය කියන සියල්ලම තිබෙනවා හොල්මන් වෙලා යන දේවල් පවා තිබෙනවා.


ඇත්තට ම ඔබේ සැබෑ අධ්‍යක්‍ෂණ කාර්ය සිදුවන්නේ කවදා ද?


ඒක නම් තවම හිතාගන්න අමාරුයි. අද කාලේ තිබෙන වියදම් එක්ක ආයෝජකයෝ හොයා ගන්නවා කියන එකත් ලේසි නැහැ.


අනික අද තියෙන වියදම් එක්ක චිත්‍රපට කෙරුවාව ලේසි වැඩක් නෙමෙයි. මොන විදිහකින් හරි පිටපතක් හොයා ගෙන අධ්‍යක්‍ෂණය කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය බරපැන කියන එක අත්‍යවශ්‍යම කාරණයක්නේ. දැනට ඒ ගැන ලොකු උනන්දුවක් නැහැ. වැඩක් කරන්න ඕනෑ කියලා හිතේ ආසාවක් තිබෙනවා.


MP ස්ටුඩියෝ එකේ වැඩ කටයුතු කොහොම ද?


ඇත්තටම කිව්වොත් ඒකත් බොහොම අමාරුවෙන් තමයි කරගෙන යන්නේ. මොකද පන්තිවලට සහභාගි වෙන දරුවන්ට අපිට තිබෙන ආර්ථික අපහසුතා ටික දැඩිලෙස බලපාලානේ තියෙන්නේ. එදා පටන් ගන්න කොට තිබෙන එක නෙමෙයි අද තියෙන්නේ. අද හැම වියදමක්ම ඉහළ ගිහිල්ලයි තිබෙන්නේ. කොහොම හරි උත්සාහ කරනවා යම් කිසි මට්ටමක පවත්වාගෙන යන්න. මේ යන විදිහට මොනවා වෙයිද දන්නේ නැහැ. කරගෙන යන්න පුළුවන් වුණොත් දිගට ම කරගෙන යනවා බැරිවුණොත් නවත්වනවා.


ඔබ මෙතෙක් ආපු ගමන ගැන ආපසු හැරී බැලුවොත් තෘප්තිමත් ද?


ඔව්. ඉතිං මේ පැවතුණ සහ පවතින දේවල් සහ ක්‍රමවේදයක් ගත්තහම මම ඉතිං තෘප්තියෙන් ජීවත් වෙනවා. වැඩිය ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඉතා හොඳ තත්ත්වයෙන් පවතින්න උත්සාහ කරමින් ඉන්නවා.


ඔබ මේ දිනවල ජයන්ත චන්ද්‍රසිරිගේ දැවැන්ත සිනමා නිර්මාණයකටත් දායක වෙලා ඉන්නවා කියලත් ආරංචියි?


ජයන්ත චන්ද්‍රසිරිගේ ‘දේවි කුසුමාසන” කියන සිනමා නිර්මාණයට තමයි මේ දිනවල රංගනයෙන් දායක වෙලා ඉන්නේ. ඒක සුවිශේෂී චරිතයක්. එකම චරිතය චරිත දෙකක් විදිහට චිත්‍රපටය ඇතුළේ විකාශය වෙනවා. ජයන්ත චන්ද්‍රසිරි වෙනම තැනක ඉඳලා වෙනම විදිහකට චිත්‍රපටය කරගෙන යනවා.


වර්තමානයේ සිනමාවේ ලොකු පිබිදීමක් දකින්න ලැබෙනවා. රංගන ශිල්පියෙක් විදිහට මේ තත්ත්වය ඔබ කොහොම ද දකින්නේ?


ඇත්තට ම පසුගිය කාලයේ මගේ චිත්‍රපට කිහිපයක්ම තිරගත වුණා. කතුරු මිතුරු ඉතා සාර්ථක ලෙස දවස් 150ක් විතර ප්‍රදර්ශනය වුණා. නිෂ්පාදකවරයා හිතලා බලෙන්ම නැවැත්තුවා පසුගිය 08 වැනිදා. ඊට පස්සේ 1970 ලව් ස්ටෝරි” සිහිනයකි ආදරේ කියන චිත්‍රපටවලට දුවන්න ඉඩදෙන්න ඕනෑ කියලයි අනෙක් අයටත් ඉඩදීල යන්න එපායැ.


ඒක කතුරු මිතුරු නිෂ්පාදක බාසුරුගේ අවංක අදහසක්. මම ඉතිං සුබවාදීව හිතනවා. පසුගිය කාලයේ මොන ප්‍රශ්න තිබුණත් චිත්‍රපටවලට විශාල පිරිසක් එකතු වුණා. මොකද චිත්‍රපටයක් ශාලාවලට ඇවිල්ලනේ බලන්න ඕනෑ. ඕක රූපවාහිනියේ පෙන්වනකම් ඉඳලා නරඹලා වැඩක් නැහැ. ප්‍රේක්‍ෂක සහභාගීත්වය පසුගිය කාලයේ සෑහෙන ප්‍රමාණයකින් වැඩිවෙලා තිබෙනවා. ඒක හොඳ ලක්‍ෂණයක්. ඕක වර්ධනය කරගන්න ඕනෑ. රැකගන්න ඕනෑ කියන එකයි අපි කල්පනා කරන්න ඕනෑ.


එයා දැන් බැඳලා සිරි ඔබේ ජීවිතයට මොනවගේ බලපෑමක්ද ඇතිකළේ?


සිරි අයියා කියන්නේ ඒක ඉතාමත් හොඳින්ම දැනුණා. මොකද ප්‍රසන්න ජයකොඩි එක්ක වැඩකරන කොට ඒක හාරගෙන අවුස්සගෙන ඒ චරිතය හොයාගෙන හොයාගෙන ගිය ගොඩක් දේවල් තිබෙනවා. මගේ ජීවිතයෙන් ඉතාම උපරිම තත්ත්වයකින් රස විඳලා හිතාගන්න බැරි කැපවීමක් අපි කළා. ප්‍රසන්න ජයකොඩිගේ අධ්‍යක්‍ෂණයට හසුවීම තමයි එතැන තියෙන ප්‍රධානම දේ. ප්‍රසන්නගේ පිටපතත් ප්‍රබලයි. ඉතාම හොඳින් රස විඳිමින් ඒකේ තියෙන අහුමුලු හොයාගෙන ගිහිල්ලා නාඩි වට්ටගන්න පුළුවන් වුණා කියලා හැඟීමක් හිතේ තිබෙනවා.


“සිරි” ගැන ඔබේ බිරිඳ මොනවද කිව්වේ?


මගේ නෝනා මොකුත් කිව්වේ නැහැ. එයා කැමැතියි මගේ රඟපෑමට. ඒ ටෙලිනාට්‍යයටත් විශාල කැමැත්තක් තිබෙනවා. ප්‍රේක්‍ෂකයාගෙන් පවා ඒ ප්‍රශංසාව ලැබුණා.


ප්‍රසන්න විතානගේ ‘පැරඩයිස්” චිත්‍රපටය ගැනත් යමක් පැවසුවොත්?


ඒක මලයාලම් චිත්‍රපටයක්. ඒකත් උපරිම ලෙස රස විඳපු චරිතයක්. ප්‍රසන්නත් එක්ක වැඩ කරන එක කොහොමටත් සුන්දරයි. ජාත්‍යන්තරයේ පවා මේ චිත්‍රපටය ඇගයීමට ලක්වුණා. ප්‍රසන්න මේ චිත්‍රපටය නිර්මාණය කළේ වෙනස්ම විදිහකට. ඒක හිතාගන්න බැරි කතාවක්. ඒ පිටපත් රචනයත් ඉතා විශිෂ්ටයි. මට හිතන්නේ රඟපෑමේ විභාගයක් කළා වගේ එකකුත් දැනෙනවා.


අලුත් ටෙලිනාට්‍ය එහෙම භාරගත්තේ නැතිද?


ටෙලිනාට්‍යය නම් ඉතාම අඩුවෙන් තමයි භාරගත්තේ. පසුගිය කාලයේ වැඩිපුරම සහභාගිවුණේ චිත්‍රපටවලට තමයි.


මෙගා කළොත් දිගා වෙන්න තමයි වෙන්නේ කියන පැරණි අදහසේ තවමත් ඉන්නවා ද?


ජීවිතයේ පළමු වතාවට මෙගා එකක රඟපෑවා. පස්සේ මම ඒකෙන් කෝකටත් ඉවුත් වුණා. එච්චර දුරක් මට ඇදගෙන යන්න පුංචි අපහසුතාවයක් ආවා. ඉතිං ඒ අපහසුවත් එක්ක බොහොම සුහදව කතාබහ කරලා මෙගා වැඩෙන් අයින් වුණා. ජීවිතේ පළමු වතාවට තමයි මෙගා ටෙලි නාට්‍යයක රඟපෑවේ. ඇත්තට ම තවමත් ඒකට මම කැමැති නැහැ.


ටෙලි නාට්‍ය කලාව ගැන මොකද හිතන්නේ?


පසුගිය දවස්වල ඉතාමත් හොඳ ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය වුණා. ඒවට හොඳ ප්‍රේක්‍ෂක පිරිසකුත් එකතු වුණා. ඒ අතරේ ඔන්න ඔහේ කරගෙන යන ටෙලිනාට්‍ය කිහිපයකුත් තිබෙනවා. මේක ඇතුළේ විනාශකාරී වැඩකරන මෙලෝ රහක් නැති ටෙලිනාට්‍ය කිහිපයකුත් තිබෙනවා. ඒ අතරතුර කිහිපදෙනෙක් උත්සාහ කරනවා මේක ඇතුළේ ප්‍රේක්‍ෂකයාට දැනෙන යමක් කරන්න ඕනෑ කියලත් අවංකවම වැඩකරන අධ්‍යක්‍ෂවරු කිහිපදෙනෙක් ඉන්නවා. කොහොමටත් මේ හැමදෙයක්ම හරියන්න රටේ ආර්ථිකයක් හරියන්න ඕනෑ.


ටෙලිනාට්‍යයක කොටසකට යන වියදම ඉතා විශාලයි. ඉතා සොච්චමක් වියදම් කරලා කරන ඒවත් තියෙනවා. විශාල මුදලක් වැයකරලා ටෙලි නාට්‍ය හැදුවත් ඊට පස්සේ ඒක විකුණගන්න ගියහම ඇතිවෙන ප්‍රශ්න රැසක් තිබෙනවා.


MP ස්ටුඩියෝ එකෙන් ආපු ගෝලයෝ අද ලංකාවේ ජනප්‍රිය චරිත බවට පත්වෙලා?


ඇත්තටම මට ඒ ගැන හිතේ සතුටක් තිබෙනවා. මෙවර සුමති ටෙලිනාට්‍ය සම්මාන උළෙලේ හොඳම නළුවා හැටියට මාත් එක්ක නිර්දේශ වෙලා ඉන්නවා. රඟපෑම සොයා ගිය දසුන් පතිරණ ගුරු ගෝල වගේම තමයි. තුන්වැනි වතාවට තමයි එහෙම නිර්දේශ වෙලා තියෙන්නේ. මම ඉතිං පුළුවන් තරම් උත්සාහයක් ගන්නවා මේ විෂය පිළිවෙළක් ඇතිව උගන්වලා ගරුත්වයක් ඇතිව කරන්න තමයි කියා දෙන්නේ. ඒක තමයි උත්සාහය. පුළුවන් තරම් උත්සාහ කරනවා ඒක ලෙහෙසි කාරණාවක් නෙමෙයි.


දැන් ඉස්සරට වඩා ශරීර සෞඛ්‍ය ගැනත් හිතනවා කියන්නේ?


ඇත්තට ම එහෙම වෙන්න වුණා. විශාල ශෛල්‍යකර්මයකට යන්න සිද්ධ වුණා. ඒකෙන් ඇත්තටම පාඩමක් ඉගෙන ගත්තා. එහෙමයි කියලා සියල්ල අතහැරලා දාලත් නැහැ. ජීවිතය වියදම් කරමින් යනවා. ඒක රස විඳින්නත් එපායැ. මොකද අවුරුදු පන්සියයක් ජීවත් වෙන්න බැහැනේ. කවදාහරි මේවා අත්හරිනවා කියලා දැනගෙන ජීවත් වෙනකොට පසුගිය කාලයේ ලද අත්දැකීම් අනුව ෂේප් එකේ යනවා. ජීවිතය රස විඳිමින් යනවා.


දිනේෂ් විිතාන




Previous Post Next Post