ඩබින් කරපු නිසාම රඟපාන්න ආස හිතුණා - සෙනුරි නිම්සරා

 



කුඩා කල පටන්ම රංගනයට මෙන්ම හඬකැවීමට දක්ෂ මේ පුංචි දුව නමින් සෙනුරි නිම්සරා. මේ දිනවල විකාශය වන අම්මා වගේ නාට්‍යයේ වගේම හඬකැවීම් රැසකටම දායකවන මේ හැඩකාර දඟකාර පුංචි සිඟිත්තය මෙවර හදගැස්ම සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්. ඉතින් දුවේ කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්?


මගේ නම සෙනුරි නිම්සරා. මගේ වයස අවුරුදු එකොළහයි. මම පාසල් යන්නේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයට. මගේ ගම කොට්ටාව. මගේ පවුලේ අම්මාත්, තාත්තාත්, නංගීත්, මමත් ජීවත් වෙනවා.


සෙනුරි කොහොමද රංගනයට එන්නේ?


මම මුලින්ම ගුවන්විදුලි නාළිකාවක අධ්‍යාපන වැඩසටහනකට එකතු වුණා. ඒ මට වයස අවු. 04දී. මගේ අම්මා තමයි මාව හඬ පරීක්ෂණයට යොමු කළේ. මම දැන් අවුරුදු 07ක් මුළුල්ලේ ළමා නිවේදිකාවක් ලෙස මේ අධ්‍යාපන වැඩසටහනට සහභාගී වෙනවා. මම මේ වන විට හඬකැවීම් ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. මගේ මුල්ම හඬකැවීම් ටෙලි නාට්‍ය තමයි ජාතික රූපවාහිනියෙන් විකාශනය වුණ “සසර කින්නරාවී” නාට්‍යය.


ඒ වගේම රුවැත්තී සිතැත්තී, සිත් අහසේ ආදරෙන්, තුහිරාවී වැනි ටෙලිනාට්‍ය වගේම කාටුන් බොහොමයකටත් හඬ මුසු කරන්න ලැබුණා. ඒ නිසාම මට රඟපාන්න ගොඩක් ආස හිතුණා. තිර පරීක්ෂණ ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයකට සහභාගි වෙලා තිබෙනවා. මම මේ වන විට නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්නවා. මගේ ගුරුවරිය තමයි තනුජාවී විජේවික්‍රම කියන්නේ. මම ඇයගෙන් අවුරුදු 06ක් මුළුල්ලේ රංගකලාව හදාරනවා. ඇය මගේ දෙවැනි අම්මා කිව්වොත් නිවැරැදියි. “අම්මා වගේ” ටෙලි නාට්‍යයට මාව යොමු කරන්නේත් මගේ ගුරුතුමිය.


දුව මුලින්ම රංගනයෙන් දායක වුණ ටෙලිනාට්‍ය මොකක්ද?


සුමිත් රත්නායක සර්ගේ “මහපොළොව” ටෙලි නාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ.


දුවගේ රඟපෑමට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මේ වනවිට මාව බොහෝ පිරිසක් දන්නවා. පාරෙදී හමුවන ටෙලි නාට්‍ය බලන අයගෙන් බොහෝ පිරිසක් මාව අ¾දුනන අය ඉන්නවා. මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම සුද්දිට ආදරය කරන අය ගොඩක් ඉන්නවා කියලා දැනෙනවා.


සෙනුරිට රඟපාන්න පාසලේ ගුරුවරුන්ගෙන් වගේම මිතුරු මිතුරියන්ගෙන් උදවු ලැබෙනවාද?


ඇත්තටම මගේ රංගන කටයුතුවලට පාසලෙන් ගොඩක් උදවු උපකාර ලැබෙනවා. පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයම මට හරිම ආදරෙයි. මගේ පාසලේ වැඩිහිටි පන්තිවල අයියලා, අක්කලා වගේම මගේ යාළුවොත් මට හරිම ආදරෙයි. මගේ යහළුවන්ගෙන් මට අතපසුවන පාඩම් ඉගෙන ගන්න ලොකු සහයෝගයක් ලැබෙනවා. පාසලේ ගුරුවරු අතපසු වන පාඩම් මට නැවතත් කියලා දෙනවා.


රංගනයට අමතරව සෙනුරි වඩාත් කැමැති මොනවාටද?


මම රංගනයට අමතරව ගොඩක් හඬකැවීම් කටයුතු කරන කෙනෙක්. දැනට මම නාළිකා කිහිපයකම හඬකැවීම් කටයුතු කරනවා. චිත්‍රපට, කාටුන්, විදේශ රටවල නාට්‍ය වැඩසටහන් විශාල ප්‍රමාණයක හඬකැවීම් කරලා තිබෙනවා. ඒ නිසා මම රංගනයට පසුව ඩබින් කරන්න ගොඩක් කැමැතියි. ඒ වගේම අධ්‍යාපන කටයුතුවලට මූලික තැනක් දෙනවා.


දුවගේ රංගන කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?


ඇත්තටම මගේ රංගන කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය පිළිබඳව නම් කියලා නිම කරන්න බැහැ. මගේ අම්මත්, තාත්තාත් තමයි මාව මේ තරම් දුරක් ගෙනාවේ. ඒ දෙන්නා තමයි මට තිබෙන ලොකුම ශක්තිය. ආච්චීත් සීයාත් මට රඟපාන්න වගේම ඩබින් කරන්න ගොඩක් උදවු කරනවා. ඒ හැමෝටම මම ගොඩක් ආදරෙයි. හැමෝටම ගොඩක් ස්තුතියි.


දුවට තවත් නිර්මාණවලට ආරාධනා ලැබිලා නැද්ද?


මට නිර්මාණ කිහිපයකින්ම ආරාධනා ලැබිලා තිබෙනවා. නමුත් ගොඩක් ආරාධනා ලැබෙන්නේ රංගනයට වඩා හඬකැවීම්වලට.


දුවගේ අනාගත බලාපොරොත්තු මෙනවාද?


මම ගොඩක් කැමැතියි තාරකා විද්‍යාව ඉගෙනන ගන්න. කලාව පැත්තෙන් තිබෙන ලොකුම හීනය තමයි චිත්‍රපටයක රඟපාන එක. ඒ හීනයත් සැබෑ වෙයි කියලා මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.


සෙනුරිට මේ ගමනේදී උදවු කළ අය කවුද?


මට වයස අවුරුදු හතරේ ඉඳලා මේ දක්වා පැමිණි ගමන් මඟේදී උදවු කරපු බොහෝ දෙනෙක් සිටිනවා. ශානී නැන්දා, දිල්රුක්ෂි නැන්දා, මධුමාලි (මධූ) අක්කා, කසුන් මාමා මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම කුසල් අයියා, නෙතු අක්කා, සහිෂ අයියා ඇතුළු යාළුවෝ හැමෝමත් මතක් කරනවා. මගේ මාමාත්, පුංචිත් මට රඟපාන්න ගොඩක් උදවු කරනවා. මගේ රංගන කටයුතුවලට වගේම ඩබින් වැඩකටයුතු වෙනුවෙන්ද මට බොහෝ දෙනෙක් උදවු උපකාර කළා. ඒ සෑම දෙනකුටම බොහෝම ස්තුතිවන්ත වනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post