දකුණු කොරියානු BTS කණ්ඩායමේ සත් දෙනාම දැන් හමුදා සේවයේ






දකුණු කොරියාවේ BTS සංගීත කණ්ඩායම ලොව පුරා මිලියන ගණනක් රසික රසිකාවියන් සිටින සංගීත කණ්ඩායමක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. ලංකාවේ ද ඔවුන්ට අතිවිශාල රසික පිරිසක් සිටිනවා. කෙසේ නමුත් මේ ගතවෙන්නේ මෙම රසික රසිකාවියන් සියලු දෙනා මහත් දුකෙන්, කනගාටුවෙන් පසුවන කාලයක් බව කිව හැකියි. එයට හේතුව මේ වනවිට BTS කණ්ඩායමේ සාමාජිකයන් සත් දෙනාම සිය සංගීත කටයුතුවලින් ඉවත් වී සිටීමයි.


BTS සංගීත කණ්ඩායම සාමාජිකයන් සත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්. ඔවුන් සියලු දෙනා තරුණයන්. මේ අය හැඳින්වෙන්නේ Jin, Suga, J-Hope, RM, Jimin, V, Jungkook යන නම්වලින්. මේ වනවිට ඔවුන්ගේ සංගීත කණ්ඩායම සිය සංගීත කටයුතුවලින් ඉවත්ව සිටින්නේ ඔවුන් සියලු දෙනා කොරියානු හමුදාවට බැඳීම නිසා යි. Jin, J-Hope, Suga යන තිදෙනා මෙයට ටික කලකට පෙර හමුදාවට එක් වූ අතර ඉතිරි සිවුදෙනා ද පසුගිය සතියේ හමුදා සේවයට එක් වුණා.


කෙසේ නමුත් මේ සත් දෙනා සංගීත කටයුතුවලින් ඉවත් වූයේ තාවකාලිකව යි. හමුදා සේවය අවසන් කිරීමෙන් පසු 2025 වසරේ ඔවුන් නැවතත් BTS කණ්ඩායම ලෙස රසික රසිකාවියන් හමුවට ඒමට නියමිතයි. ඔවුන් හමුදා සේවයට එක් වූයේ වයස්වල අනුපිළිවෙළට යි. මුලින්ම හමුදාවට බැඳුණේ වැඩිමල්ම සාමාජිකයා වන Jin. ඔහු හමුදාවට එක් වූයේ 2022 දෙසැම්බර් මාසයේ.


සංගීත ලෝකයේ තම වීරයන් කලකට නැවත දකින්නට නොලැබෙන බව දන්නා ඔවුන්ගේ රසික රසිකාවියන් BTS සාමාජිකයන් හමුදාවට බැඳෙන්නට යද්දී ඔවුන්ට සමු දීමට හමුදා කඳවුරු වෙත ද යාමට පුරුදු වී සිටිනවා. නමුත් පසුගිය දා අවසන් සාමාජිකයන් සිවු දෙනා හමුදාවට බැඳෙන්නට යද්දී ඔවුන් රසිකයන්ට අවවාද කර තිබුණේ එසේ තමුන්ට සමු දීමට ඒමෙන් වල කින ලෙසයි. මන්දයත් එයින් හමුදා කඳවුරුවල කටයුතුවලට අවහිර සිදු වන නිසා.


“අප හමුදාවට බැඳෙන්නට යන දිනයේ ඔබ අප බලන්නට ඒමෙන් වළකිනවා නම් අප එය ඉතා අගය කරනවා” යයි RM තම රසික රසිකාවියන්ගෙන් ඉල්ලා තිබුණා. ඔවුන් සියලු දෙනා පෙනී සිටි සමුගැනීමේ විඩියෝවක ද ඔවුන් මෙවැනි ඉල්ලීමක් කර තිබෙනු දකින්නට ලැබුණා.


“අපට ඔබෙන් කරන්න එක ඉල්ලීමක් තිබෙනවා. අප හමුදාවට බැඳෙන දවසේම තවත් බොහෝ දෙනෙක් හමුදාවට එක් වෙනවා. ඒ නිසා හැකි නම් එදින හමුදා කඳවුරු වෙත පැමිණීමෙන් වළකින්න” විඩියෝවෙහි එසේ පවසන්නේ Jungkook-. “තවත් බොහෝ සෙබළුන් සහ ඔවුන්ගේ මවුපියන් ද එදිනට පැමිණෙනවා. ඔවුන්ට අපිව කරදරයක් බවට පත් වේවි” RM තවදුරටත් සඳහන් කර තිබුණා.


ඉහත කී වීඩියෝවෙහි සමහරුන් ඔවුන්ගේ සුපුරුදු කොණ්ඩා මෝස්තරවලින් බැහැරව හමුදා සේවයට අවශ්‍ය වන ආකාරයට හිසකෙස් ඉතා කොටට කපලයි හිටියේ.


දකුණු කොරියාව සහ උතුරු කොරියාව යනු සතුරු රටවල් දෙකක්. දශක කිහිපයකට පෙර මෙම රටවල් අතර යුද්ධයකුත් ඇති වුණා. මේ වනවිට යුද්ධයක් නැතත් ඔවුන් නිල වශයෙන් තවමත් සාම ගිවිසුමක් අත්සන් කර නැහැ. ඒ නිසා නැවතත් යුද්ධයක් ඇති වීමේ ඉඩ මුළුමනින් පහව ගොස් නැති බව පැවසීය හැකියි. මෙම තත්ත්වය තුළ දකුණු කොරියාවේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන සියලුම පිරිමින් වයස අවුරුදු 28 වෙද්දී ටික කාලයකට හමුදා සේවයට එක් විය යුතුයි. සාමාන්‍යයෙන් අවුරුදු එකහමාරක් පමණ ඔවුන් හමුදාවේ සේවය කිරීම අවශ්‍ය යි. BTS කණ්ඩායමේ සාමාජිකයන් ද හමුදාවට බැඳුණේ මේ නිසායි.


රටට යම් සේවයක් කළ සමහර පුද්ගලයන් හමුදා සේවයෙන් නිදහස් කිරීමට දකුණු කොරියාව පියවර ගෙන තිබෙනවා. ඔලිම්පික් පදක්කම් දිනූ ක්‍රීඩකයන්, සම්භාව්‍ය කලාකරුවන් වැනි අය හමුදා සේවයෙන් නිදහස් කළ අවස්ථා ගැන මෙයට පෙර වාර්තා වී තිබුණා. නමුත් K-pop කලාකරුවන්ට එම සහනය හිමි වන්නේ නැහැ. BTS සාමාජිකයන් හමුදා සේවයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ එරට පාර්ලිමේන්තුව තුළ පවා වාද විවාද ඇති වුණා. ඔවුන් ද හමුදා සේවයෙන් නිදහස් කළ යුතු බවට සමහර ඇමැතිවරුන් පවා තර්ක කළා. ඔවුන් පෙන්වා දුන්නේ BTS සාමාජිකයන් දැනටමත් රටට විශාල සේවයක් කර ඇති බවයි. මෙම සංගීත කණ්ඩායම නිසා කොරියාවට ඩොලර් බිලියන ගණනින් විදේශ විනිමය ලැබෙනවා. කෙසේ නමුත්, ඔවුන් හමුදා සේවයෙන් නිදහස් කිරීමක් සිදු වුණේ නැහැ. නමුත් 2020 වසරේ මේ සම්බන්ධයෙන් පනතක් සම්මත කරමින් ඔවුන් හමුදාවට එක්විය යුතු වයස අවුරුදු 30 දක්වා ඉහළ දැමීමට පාර්ලිමේන්තුව පියවර ගත්තා.


කසුන් අරවින්ද




Previous Post Next Post