හැමෝම කියනවා මාව ආයෙ දකින්න ලැබුණු එක සතුටක්ලු - ශේෂාද්‍රි ප්‍රියසාද්




මීට කලකට පෙර රිදී තිරය හරහා ප්‍රේක්ෂකයා වසඟ කර ගත් බෝනික්කියක් විය. සුරතල් හුරුබුහුටි පෙනුමෙන් හා උපතින් රැගෙන හා හැකියාවෙන් ප්‍රේක්ෂකයන්ගේ සිත් තමා වෙත ඇද බැඳ තබා ගත් ඇය, කෙටි කාලයකට සිනමාවෙන් අෑත් වුවද ප්‍රේක්ෂකයන්ගේ සිත්වලින් ඇගේ මතකය මැකී ගියේ නැත. කලාව ‍ෙදා්තින් උරුම කර ගත් පවුලක මද්දුමිය වූ ඇය පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් අවධානය යොමුව ඇත්තේ දීර්ඝ විරාමයකට පසුව දායක වූ සිනමා නිර්මාණ දෙකක්ම තිරගත වන බැවිනි. රිදී තිරයේ සුරංගනාවිය වූ ඇය නමින් ශේෂාද්‍රි ප්‍රියසාද්ය.


මේ දවස්වල තොරතුරු ටිකක් කියලම කතාව පටන් ගමු?


මේ දවස්වල ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නේ. වීර්යා සහ සිහිනයකි ආදරේ  නමින්  අලුත්ම චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය වීම ආරම්භ වුණා. ඒකේ වැඩකටයුතුත් එක්ක ගොඩක්ම කාර්යබහුලයි කිව්වොත් හරි. ඒ හැම දෙයක්ම එක්ක තමයි මේ දිනවල වැඩකටයුතු කරගෙන යන්නේ. ඊට අමතරව මගේ අතින් කෙරෙන ගෙදර ‍ෙදාරේ වැඩකටයුතුත් බැලන්ස් එකේ කරගෙන යනවා.


වසර කිහිපයකට පසුවයි ඔබ සිනමාපටයකින් ප්‍රේක්ෂකයා හමුවට එන්නේ, ඒ ගැන කතා කළොත්?


ඔව්, වසර හය හතකට පසුව තමයි මගේ චිත්‍රපටයක් තිරගත වෙන්නේ. මම සම්බන්ධ වුණු සිනමා නිර්මාණවලින් අවසන් වරට තිරගත වුණේ සූම් චිත්‍රපටය. ඉතින් මේ වෙද්දි බොහෝමයක් දෙනාගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම වගේ කියන්නේ ඔයාව ආපසු දකින්න ලැබීම සතුටුයි කියලා. ඉතින් මම හිතනවා හැමෝම වීර්යා සහ සිහිනයකි ආදරේ නරඹයි කියලා. ඒ දෙකටම ඉදිරියේදී තවත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.


කාලයකට පසුව සිනමා නිර්මාණය හරහා එළියට පැමිණීම පිළිබඳව මොනවගේ හැඟීමක්ද තිබෙන්නේ?


ඇත්තටම කාලයකට පස්සේ මගේ නිර්මාණය එළියට පැමිණීම ගැන ලොකු සතුටක් තිබෙන්නේ. සැලකිය යුතු කාලයකින් මගේ චිත්‍රපටයක් තිරගත වුණේ නැහැ. ඒකත් එක්ක අවුරුදු ගාණකට පස්සේ චිත්‍රපටයක් තිරගත වීමේදී  දැනෙන්නේ හරියට පළමු චිත්‍රපටය තිරගත වුණා වගේ හැඟීමක්. හරිම සතුටුයි. නමුත් මම හිතනවා අපි දායක වන නිර්මාණ තිරගත වීමේදී දීර්ඝ කාලයක් ගත නොවී අවම වශයෙන් අවුරුද්දක් හෝ දෙකක් ඇතුළත තිරගත කරන්න පුළුවන් නම් ඒක චිත්‍රපටයේ නිර්මාණකරුවන්ට වගේම රංගන ශිල්පීන්, ශිල්පිනියන් ඇතුළු හැමෝටම හොඳයි.


වීර්යාට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


වීර්යා චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් එක් එක් පුද්ගලයාට එක් එක් අදහස් තිබෙන්නේ. මේ චිත්‍රපටය කාලයකට කලින් රූගත කිරීම් කළ චිත්‍රපටයක් නිසා එහි මගේ පෙනුම  වෙනස්. ඒ චිත්‍රපටයේ මගේ පෙනුම හරි පොඩියි. මේ චිත්‍රපටය රූගත කරද්දි මගේ වයස අවුරුදු 20ක් පමණ. සමහර පුද්ගලයන්ට ඒ වෙනස දැනෙනවා කියනවා. නමුත් සමහර පුද්ගලයන් කියනවා ලොකු වෙනසක් නැහැ දැන් වගේමයි කියලා. අනෙක්් එක මේ චිත්‍රපටය ගත්තොත් බොහොම සරල කතාවක් තිබෙන, සැහැල්ලුවෙන් නැරඹිය හැකි චිත්‍රපටයක්. ත්‍රාසය, හාස්‍ය සමඟින් විනෝදාස්වාදය දනවන චිත්‍රපටයක්. ඉතින් මේක පවුලේ හැමෝටම එකට ඉඳගෙන නරඹන්න පුළුවන් චිත්‍රපටයක් නිසා හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


මේ චිත්‍රපට දෙකම කලකට පෙර රූගත කළ සිනමාපට. වර්තමාන ප්‍රේක්ෂක රුචිකත්වය  හා එය සමානුපාත වේද?


ටික කාලයකට කලින් රූගත කිරීම් කළ චිත්‍රපට නිසා පොඩි පොඩි වෙනස්කම් දකින්නට පුළුවන්. චිත්‍රපට නරඹපු ඇතැම් ප්‍රේක්ෂකයන්ට ඒ වෙනස්කම් තේරෙන්නේ නැහැ. වෙනස්කමකට කියලා ප්‍රතිචාර දක්වන කිහිපදෙනා වුණත් ප්‍රතිචාර දක්වන්නේ වැරදි දෙයක් හෝ සෘණාත්මක දෙයක් සම්බන්ධයෙන් නෙවෙයි. අපේ පෙනුම සම්බන්ධයෙන් තමයි ඔවුන් අදහස් දක්වන්නේ. කාලයකට කලින් රූගත කිරීම් කළ නිසා දැනට වඩා පෙනුමේ වෙනස්කම් තිබෙනවා කියන දේ තමයි ඔවුන් කියන්නේ. නමුත් චිත්‍රපට විධියට ගත්තොත්, ඒවායින් ලැබෙන විනෝදාස්වාදයේ අඩුවක් නැහැ. චිත්‍රපටයක් නැරඹීමෙන් බලාපොරොත්තු වන සතුට, විනෝදය උපරිමයෙන් ලබාගන්න පුළුවන් චිත්‍රපට දෙකක් තමයි තමයි වීර්යා සහ සිහිනයකි ආදරේ  කියන්නේ.


සිනමා විචාරකයන් ඔබ අනාගත සිනමා නිළි රැජින බවට පත් වෙතැයි  අනාවැකි පළ කළා. එම අනාවැකිය අනාගතයේ සැබෑ කර ගත හැකි වෙයිද?


හැමදෙයක්ම පවතින්නේ, හැමදෙයක්ම කියන්නේ බලන්  ඉන්න ප්‍රේක්ෂකයන්ගේ අදහස මත. ඉතින් ඉදිරියේදි බලමු. මම කලින් සඳහන් කළා වගේ චිත්‍රපටයක් රූගත කිරීම් කරලා අවසන් වුණාට පසුව අවම වශයෙන් අවුරුද්දක් හෝ දෙකක් ඇතුළත ඒක රිලීස් වෙනවා නම් තමයි ඒකේ වටිනාකම තිබෙන්නේ. මොකද අවුරුදු පහක්, දහයක් ගත වෙද්දි අපි හැමෝම වෙනස් වෙනවා. අපි හැමෝගෙම කැපෑසිටි එක වෙනස් වෙනවා. මම කරපු පරණ ෆිල්ම් බලද්දි මට හිතෙනවා මේක මම අද කළා නම් මීට වඩා වෙනස් විධියට කරන්න තිබුණා කියලා. මේ යන විධියත් එක්ක ෆිල්ම් එකක්


කරලා ඒක රිලීස් වෙන කාලය අනුව තමයි ඉදිරියට යන්න පුළුවන්. එතකොට තමයි අපිට ප්‍රේක්ෂකයන්ගේ ආදරය, ආසාව හැමදෙයක්ම ලැබෙන්නේ. ෆිල්ම් කරන කරන එක ඒ විධියට රිලීස් වුණොත් අපිට දැනගන්න පුළුවන් අපේ ප්‍රෝග්‍රස් එක මොකක්ද කියලා. එහෙම නැතිව කරන්නන් වාලේ ෆිල්ම් කරලා වැඩක් නැහැ. බලමු ඉදිරියේදී මොනා වෙයිද දන්නේ නැහැ. ඉන්න ලොකුම නිළිය වෙන්න මගේ හිතේ කිසිම අදහසක් නැහැ. ලැබෙන වැඩේ හරියට කරලා ඒක හරියට ප්‍රේක්ෂකයන් අතරට යවන්න තමයි මගේ කැමැත්ත සහ අදහස තිබෙන්නේ.


කාලයක් පුරාවට කලාවෙන් අෑත්වී සිටියත්, ප්‍රේක්ෂකයන්ට ඔබව මතක තිබුණා. ඒ ගැන තිබෙන හැඟීම මොන වගේද?


ඒක නම් මම හිතන්නේ මම කරපු ලොකු වාසනාවක් විධියට. මම ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා. විශේෂයෙන්ම ඒ දේට හේතුව වුණේ මගේ අක්කියි, නංගියි කිව්වොත් හරි. ඒ දෙන්නා මේ ක්‍ෂේත්‍රයේ ගොඩක් දුර ගමනක් ආපු දෙන්නෙක්. ඒ දෙන්නගෙන් මම ගැන අහපු අය ගොඩක් ඉන්නවා. ඒ ආදරය ඒ හැමදෙයක්ම නිසා තමයි නැවත වතාවක් මට මේ විධියට වැඩවලට යොමු වෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ වගේ රසිකයන් පිරිසක්, ප්‍රේක්ෂකයන් පිරිසක් නිසා තමයි අපිට මේ වගේ ගමනක් යන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ හැම කෙනෙක්ටම මම මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා.


අවසන් වශයෙන් ආදරණීය සැමියා සහ සුරතල් දියණිය සමඟින් ගෙවන සුන්දර ජීවිතය ගැනත් කතා කරමු?


ඇත්තටම චූටි බබත් එක්ක ගත කරන කාලය තමයි මගේ හොඳම කාලය. එයත් දැන් ටික ටික ලොකු වෙනවා. මේ වෙද්දි එයාට වයස අවුරුදු එකහමාරයි. එයා දැන් අලුත් වචන කියනවා. අලුත් අලුත් දේවල් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් එයත් එක්ක ගෙවෙන කාලය හරිම ලස්සනයි. ගෙදර ‍ෙදාරේ වැඩකටයුතුවලදී වගේම බබාගේ වැඩවලදීත් ක්‍රිශාන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා. එයාලා දෙන්නා එක්ක තමයි මගේ මුළු කාලයම ගත වෙන්නේ. හරිම සතුටෙන් කාලය ගත වෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post