සමහර හීන හැබෑ වෙන්න කල් යනවා-නිමක්ෂි සචීන්ද්‍රි



ඒ රූපත් ගැහැනිය දෙස වරක් බැලුවේ නම් දෙවරක් නොබලන්නෝ නොවෙති. එහෙත් මේ සුකුමල ලාලිත්‍ය පිරි ගැහැනිය අප එදිනෙදා දකින ළදබොළඳ කාන්තාවක නොවන බව ලියා තැබිය යුතුය. අප අබියස ඉන්නේ අධිෂ්ඨානයකින් දුර්ග ගමනක් ගොස් මහත් වූ ප්‍රතිඵල ලබා ගත හැකි බව ලෝකයට කී දුලබ පෞරුෂයක් සහිත සුන්දර ගැහැනියකි.


ඇය නිමක්ෂි සචීන්ද්‍රි රණතුංගය. ශ්‍රී ලාංකේය කාන්තාවක් නවසීලන්තය නියෝජනය කරමින් විශ්ව විවාහක රූ රැජන තරගයට සුදුසුකම් ලැබුවේ එරට ඉතිහාසයේ පළමු වතාවටය. එමෙන්ම 2023 ඔස්ට්‍රෙල්ෂියා කලාපීය විවාහක රූ රැජන වන්නේද (Woman of Universe Newzealand 2022 and Woman of Universe Australasia 2023 ) ඒ රූපත් ගැහැනිය නිමක්ෂිය. 2024 වසරේ පැවැත්වීමට නියමිත 2023 ලෝක විවාහක රූ රැජන තරගයට නවසීලන්තය නියෝජනය කරන විවාහක රූ රැජන වීමේ විරල භාග්‍ය ලත් කාන්තාව ඇයය .


“මම උපන්නේ කඩුවෙල රනාල පළාතේ. විවාහ වෙලා නවසීලන්තයේ පදිංචියට යන තුරුම මම ජීවත් වුණේ රනාලේ. මුලින්ම පාසල් ගියේ බෝමිරිය ජාතික පාසලට. ඊළඟට කලා අංශයෙන් උසස් පෙළ කරන්න කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වුණා. පොඩි කාලේ ඉඳලම නර්තනය තමයි වැඩිපුර කළේ. පාසල් වියේ සිටම උඩරට නර්තනය හැදෑරුවා. පාසලේදී මගේ නර්තන ගුරුවරිය වුණේ ස්වර්ණා බස්නායක ගුරුතුමිය. චන්න විජේවර්ධන සර් යටතේ අවුරුදු ගණනක් නර්තනය ප්‍රගුණ කළා. ඒ වගේම රටවල් ගණනක සංචාරය කරන්න මගෙ ළමා කාලයෙදීම මට අවස්ථාව ලැබුණා.


පාසලේදී මම නර්තනයට අමතරව පාසල් වේදිකා නාට්‍යවල රඟපෑමට වගේම ක්‍රීඩාවටත් යොමු වුණා. ක්‍රීඩාවේදී මම සමස්ත ලංකා මට්ටමෙන් බැඩ්මින්ටන් හා බාස්කට්බෝල් ක්‍රීඩාවට එක්වුණා. ඒත් නැටුම් ගුරුවරියක වීමේ හීනය නම් හැමදාම හිතේ තිබුණා. මේ අතරේ තමයි මගේ ජීවිතේ ලොකුම කඩාවැටීම සිදු වුණේ. මගේ තාත්තා පිළිකා රෝගයට ගොදුරු වී අප හැර දමා ගියා. ඒ මම උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේ. ඒ වියෝව දරාගන්න මගේ අම්මා වගේම අක්කලා දෙන්නත් මට මහා ශක්තියක් සැපයුවා.


උසස් පෙළ කළාට පස්සේ මම අධ්‍යාපනවේදී උපාධියක් හැදෑරුවා. ප්‍රසංගික කලාව පිළිබඳ ඩිප්ලෝමාවකුත් කළා. ඊට කලින් ගුරු වෘත්තියට අදාළව ඩිප්ලෝමාවක් සම්පූර්ණ කරලයි තිබුණේ. පළමුව විදුර විද්‍යාලයෙත්, අනතුරුව ගොතටුව නව නගරයේ ඒෂියන් ග්‍රැමර් පාසලෙත් ගුරුවරියක ලෙස කටයුතු කළා. ඉන් පස්සේ කොළඹ මියුසියස් විදුහලේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස මා රැකියාව කළා“.


නිමක්ෂි නවසීලන්තයේ පදිංචියට එන්නේ වර්ෂ 2015දී ය. ඇය නවසීලන්තයේත් වෘත්තීය ගුරුවරියකි. ඇය නවසීලන්තයේ ලියාපදිංචි ඉන්ටර් මීඩියඩ් ගුරුවරියකි. ඕක්ලන්ඩ් නුවර ෆර්ගර්සන් ඉන්ටර්මීඩියට් පාසලේ නිමක්ෂි ගුරුවරියක ලෙස කටයුතු කරන්නීය. ඒ අතරතුර NZSL DANCE STUDIO නමින් තමන්ගේම රංග ශාලිකාවක් පවත්වාගෙ යන්නීය. එහි ශ්‍රී ලාංකේය ඉන්දීය සහ නවසීලන්ත දරු දැරියෝ නර්තන පුහුණුව ලබන්නෝය. නවසීලන්තයේ ජාතික මට්ටමේ නර්තන ශූරතා මෙම ඇකඩමිය විසින් දිනාගෙන ඇත්තේය. එමෙන්ම රංගන ශිල්පිනියක ලෙස ඇය කෙටි චිත්‍රපට ගණනාවක රංගනයට දායකවී ඇත. ඉන් සම්මානිත වී ඇත.


කොහොමද ඔබට රූ රැජන තරගයට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ? ඇසූ විට ඇය පැවසුවේ මෙවැන්නකි.


“මා මේ සියල්ල අතරේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කළා. නවසීලන්තයේ විවිධ මෝස්තර නිරූපණ ප්‍රදර්ශන රැසකට සහභාගි වුණා. නවසීලන්තයේ විවිධ සඟරාවලට ද පෙනී සිටීමේ අවස්ථාව හිමි වුණා ඒ නිසා. ඒ අවස්ථාව ලැබුණ මුල්ම ලාංකිකයා මම.


ඒ වගේම මගේ අම්මා ගැනත් කිව යුතුයි. අම්මා චිත්‍රා කාන්තා රණතුංග. අම්මත් ඇයගේ තරුණ වියේ විවිධ රූ රැජන තරගවලට ඉදිරිපත් වී ජයග්‍රහණ අත්කරගත්ත කෙනෙක්. අම්මා හැම වෙලාවෙම මේ ගමනේ මාත් එක්ක හිටියා.


මම මුලින්ම ඉදිරිපත් වුණේ නවසීලන්තයේ විවාහක ශ්‍රී ලාංකික රූ රැජන තරගයට. මා ඉන් ජයග්‍රහණය ලැබුවා. මෙහේ පදිංචියට එන හැම රටකම කාන්තාවන්ට එවැනි රූ රැජන තරග පැවැත්වුණා. ඒ තරගවලින් ජයග්‍රහණ ලැබූ අය තමයි ලෝක විවාහක රූ රැජන තරගයට නවසීලන්තය නියෝජනය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ.


ඊට පස්සේ අවුරුද්දක විතර කාලයක් මම නිසි සූදානමක් ලැබුවා නවසීලන්තයේ. විවාහක රූ රැජන සම්මානය දිනා ගන්න. මා ඒ කිරුළ හිමි කරගත්තා. දැන් මගේ ඊළඟ ඉලක්කය නවසීලන්තය නියෝජනය කරමින් විශ්ව විවාහක රූ රැජන තරගයට එක් වී රටට කීර්තියක් රැගෙන ඒම…”


නිමක්ෂිගේ ආදරණීය සැමියා ගයාන් කසුන්ය. ඔහු පරිගණක තාක්ෂණ ඉංජිනේරුවකි.


“මගේ ජීවිතයේ සියලු ජයග්‍රහණ පස්සේ ඉන්න දැවැන්ත හෙවණැල්ල තමයි ඔහු…” නිමක්ෂි සිය ආදරණීය සැමියා ගැන කියන්නේ එවැන්නකි. සිය ජයග්‍රහණයේ පසුපස සිටිමින් ඇය දිරිගැන්වූ නවසීලන්ත විවාහක රූ රැජන තරගයේ අධ්‍යක්ෂිකා Anna Marie Parrant පිළිබඳ ද ඇය කතා කරන්නී මහත් වූ ගෞරවයෙනි.


ඇය පස් හැවිරිදි දියණියකගේ මවකි. දියණිය ඩියැංකා මිහේලි ය. මේ හුරුබුහුටි කෙළි පොඩ්ඩ දැන් සිටම නර්තනයට කැමති බව නිමක්ෂි පවසන්නේ සතුටිනි. බොහෝ දේ කතා කළ හැකි මේ අපූරු ගැහැනිය සමඟ සංවාදය නිමා කළ යුතු හෙයින් අවසාන වශයෙන් අප ඇයගෙන් මෙසේ ඇසුවෙමු.


අපේ රටේ කාන්තාවන්ට ඔබට කියන්න තියෙන්නෙ මොකක් ද?ඇය හැඟීම්බරව කතා කරන්නට වූවාය.


“අපේ රටේ ගොඩාක් කාන්තාවන් කියන්නේ හැම අතින්ම දක්ෂ අය. උදාහරණයක් කියන්නම්. ලෝක සම්භාවනාවට පත් වුණු හොඳම රූ රැජනන් ඉන්නේ ලංකාවේ. ඒ වගේම අපේ අයට විවිධ ක්ෂේත්‍ර කළමනාකරණය කරන්න පුළුවන් හැකියාව තියනවා. මේ තිබෙන සහජ දක්ෂතාව රටටත් ලෝකයටත් වැඩක් වෙන්න අපේ රටේ කාන්තාවන් ස්වාධීන විය යුතුයි. ඒ වගේම මා දකිනවා විවාහයෙන් පස්සේ ඔවුන් තමන් වෙනුවෙන් දකින ඔවුන්ගේ හීන අත්හරිනවා. තමන්ගේ රූ සපුව සම්බන්ධව හෝ අවධානය යොමු කිරීම නවත්වනවා.


තමන් තමන්ට ආදරය නොකර ලෝකයට ආදරය කරන්න බෑ. ඒක මුලින්ම අපි තේරුම් ගත යුතුයි. ඒ වගේම ලස්සන කියන්නෙ රූ සපුවම විතරක් නෙමෙයි. ඔබ සියලු දෙනාම ලස්සනයි. අවශ්‍ය වන්නේ තමන්ට තමන් ගැන ඇති ආත්ම විශ්වාසය පමණයි. සමහර හීන හැබෑ වෙන්න කල් යනවා. අවශ්‍ය වෙන්නේ දරා ගැනීමයි.“


ඇය ඔබට මෙසේ කියා සිය කතාව අවසන් කළා



Previous Post Next Post