රාධිකාගේ පැජන්ට්වල සල්ලිවලට ක්‍රවුන් ගන්න බෑ - රාධිකා ගුණවර්ධන




සුපුන් රත්නායකගේ ‘තත්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන වෛද්‍යවරිය” ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘සුසුම් රස්තියාදුව’ ටෙලි නාට්‍යයේ නිරූපිකාව” පෙපර්මින්ට් ටීම් අධ්‍යක්‍ෂණය කරන ‘උන්මාදනී’ හි ලේකම්වරිය වගේම ක්‍රිස් ඇන්තනී අධ්‍යක්‍ෂණය කළ මේ දිනවල රිදී තිරයේ තිරගත වන ‘අපේ ප්‍රින්සිපල්’ චිත්‍රපටයේ ක්‍රීඩා ආචාර්යවරිය ලෙසින් ද ඔබ හමුවට එන ඇය රාධිකා ගුණවර්ධන. මේ රාධිකාගේ හඬයි.


පුංචි තිරයෙන් වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ?


ඇත්තටම මේ විකාශය වෙන ටෙලි නාට්‍ය තුනෙන් උන්මාදනී ටෙලි නාට්‍යයට තමයි වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ.


උන්මාදනී සරාගී කාන්තාව ගැන මොකද හිතන්නේ?


ඒක මට හම්බවුණ වෙනස්ම චරිතයක්. මම ඒ චරිතය හරියට කරනවා කියලා හිතනවා.


රාධිකාට මේ චරිත තුනෙන් වැඩිපුරම සමීප කවුද?


වෛද්‍යවරියගේ චරිතය මට ආධුනික නැහැ. මීට කලිනුත් එවැනි චරිතයක් මම රඟපාලා තියෙනවා. මොඩ්ලින් ජීවිතය මගේ සැබෑ ජීවිතය සමඟ සමීපයි. කොහොම වුණත් මම මේ චරිත තුනත් එක්ක ඉන්නවා.


සරාගී චරිතය භාරගන්න බයක් හිතුනේ නැතිද?


මට මුලින්ම මේ චරිතය ගැන කිව්වා. අභියෝගයක් විදිහට තමයි මම චරිතය භාරගත්තේ. නේට්ස්” ස්කින් කියන දේවල් මම සැබෑ ජීවිතයේදීත් පාවිච්චි කරන දේවල්. එතකොට මට ඒකෙ වෙනසක් දකින්න දෙයක් නැහැ.


ටෙලි නාට්‍ය රංගන අත්දැකීම් මොන වගේද?


ඇත්තටම සතුටුයි. හැමෝම චරිත ගැන කතා වෙනවා. මම කාලයක් හැංගිච්ච චරිතයක්නේ. දැන් ඉස්සරහට ඇවිල්ලා එක දිගට නාලිකා තුනකම මගේ නිර්මාණ විකාශය වෙනවා.


 මේ දිනවල වැඩිපුර කාලය යොදවන්නේ රංගනය වෙනුවෙන්ද?


ඔව්. එහෙම කිව්වොත් හරි.


ලංකාවෙන් ගිය එක ගැන පසුතැවෙනවාද?


එහෙම නැහැ. කාලෙකට පස්සේ තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. ඉස්සරහටත් මේ විදිහට වැඩ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. දැනට නෙමෙයි” කවදාහරි දවසක ඒ කියන්නේ අවුරුදු පහකින් හරි දහයකින් හරි හොඳම නිළිය නැතත් හොඳම සහාය නිළියට හිමි සම්මානයක් ලැබෙනවා නම් හරි ආසයි. ඒක තමයි මගේ හීනය.


රංගනයේදී චරිත තෝරා බේරා ගැනීමක් කරනවාද?


ඔව්. මොකද මම අම්මා කෙනෙක්. ඒක නිසා ලොකු රොමෑන්ටික් චරිතවලට යන්නේ නැහැ.


අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයේ අත්දැකීම් ගැන කතා කළොත්?


ඒක හරි ආසාවෙන් කරපු චිත්‍රපටයක්. මම එහි රඟපාන්නේ ක්‍රීඩා උපදේශක ගුරුවරියගේ චරිතය. ඒ පසුතලයට ගියාම ඒ දරුවන්ගේ ජීවිත දිහා බැලුවහම හරි දුක හිතෙනවා. කොළඹ ඒ වගේ පරිසරයක් තිබෙනවාද කියලත් හිතෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ පාරාදීසයක ළමයි අධ්‍යාපනය ලබනවා කියන එක ගැනම හරි දුකයි.


කොහොමද ඒ අත්දැකීම?


පළමු වතාවට තමයි ගුරුවරියකගේ චරිතයක් රඟපෑවේ. ඒකෙත් හොඳට රඟපෑවා කියලා මම හිතනවා.


අලුත් ආරාධනා තිබෙනවාද?


ලබන මාසයේ තවත් චිත්‍රපට දෙකක රූගත කිරීම් ආරම්භ කරන්න තියෙනවා. ලබන මාසයෙන් පස්සේ සිනමාවට යයි.


දැන් නිරූපණ වැඩ කටයුතුවලින් ඈත් වෙලාද?


නැහැ. මම පසුගිය ජූලි මාසයේ රටවල් හතළිහක් ලංකාවට ගෙනැල්ලා ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වූවා. මිස් වර්ල්ඩ් ටුවරිසම් කියන පැජන්ට් එක පළමු වතාවට තමයි ලංකාවේ කළේ. ඒක ලබන වසරේ මිස් වර්ල්ඩ් ටුවරිසම්” මිසිස් වර්ල්ඩ් ටුවරිසම්” මිස්ටර් වර්ල්ඩ් ටුවරිසම් ලෙස පවත්වනවා.


අපේ රටේ රූ රැජන තරගාවලි ගැන විවිධ කතා පැතිරෙනවා?


ඇත්තටම මේ පැජනට් ගැන ලොකු පැහැදීමක් නැහැ. ඉස්සර මම යන කාලෙ වගේ ජෙනුයින් ටයිටල් එකක් දැන් ගන්න බැහැ. සල්ලි තිබෙනවා නම් ටයිටල් එකක් ගන්න හරි ලේසියි.


සල්ලි තියෙනවා නම් මිස් ශ්‍රී ලංකා” මිසිස් ශ්‍රී ලංකා වෙන්න පුළුවන්?


අපොයි ඔව්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක කාටවත් බොරුයි කියන්න බැහැ. කතාකරන ඔයාට වුණත් සල්ලි තියනවානම් කවුරුවත් ඕනෑ නැහැ. ඔයාම ක්‍රවුන් කරගෙන ෆොටෝ ෂූට් එකක් කරලා ජාත්‍යන්තර පැජන්ට් එකකට යන්න පුළුවන්.


ඔබ සංවිධානය කරන පැජන්ට් ගැන කතා කළොත්?


මම කරන්නේ ජාත්‍යන්තර තරගාවලි විතරයි. ලබන වසරේ තවත් පැජන්ට් දෙකක් කරනවා. ඒකත් ලංකාවට අයිති දෙකක්. ඒකෙත් අධ්‍යක්‍ෂවරිය මම. මගේ පැජන්ට් අනිත් පැජන්ට් එක්ක සසඳන්න බැහැ. මොකද මගේ පැජන්ට්වල ජාත්‍යන්තර විනිසුරුවරු ඉන්නේ. ඔවුන්ගේ තීරණය අනුව තමයි ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව තෝරන්නේ. මට ඕනෑ කෙනා තෝරාගන්න බෑ.


රාධිකාගේ පැජන්ට්වල සල්ලිවලට ක්‍රවුන් ගන්න බෑ?


කොහෙත්ම බැහැ. මට ඕනෑ තරම් එවැනි අවස්ථා ඇවිත් තිබෙනවා. එහෙම මුදලට විකිණෙනවා නම් ඒ පැජන්ට්වල සාර්ථකත්වයක් නෑ.


රාධිකා මුදලට විකිණෙන චරිතයක් නෙමෙයි?


මෙහෙමයි. මුදලට විකිණෙනවා නම් මුදලට යමක් විකුණුවා නම් මෙහෙම විවෘතව කතා කරන්න බැහැනේ. හිත බයයි. එහෙම දෙයක් කරන්නේ නැතිනම් බය නැතිව ගිහිල්ලා ඕනෑම මාධ්‍යයකට කතා කරන්න පුළුවන්. මොකද මඩ ගහන්නත් සාක්‍ෂි තියෙන්න එපායැ. අනික මගේ ඉවෙන්ට්වලට මඩ ගහන්න දේවල් නැහැ.


මම කෙලින් වැඩ කරනවා.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post