එයා ටිකක් ලැජ්ජයි ඒ නිසා ඒ දේවල් කරන්න ලොකු කැමැත්තක් නෑ -අමන්දා සිල්වා




අමන්දා සිල්වා හඳුනා ගන්නේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් ලෙසින් වුවද පසුකලෙක ඇය සතු නර්තන සහ රංගන හැකියාවද අපිට දැක ගන්නට ලැබුණා. අමන්දා රංගනයෙන් දායක වූ පළමු සිනමා නිර්මාණය වන්නේ ශෙලිනා. ශෙලිනා හි රංගනය වෙනුවෙන් පසුගියදා පැවැති ජනාධිපති සම්මාන උලෙළේ දී 2020 වසරේ හොඳම නැඟී එන නිළියට ද නිර්දේශ වුණා.


අමන්දා කොහොමද ජීවිතේ?


වෙනදාටත් වඩා හොඳින් සතුටින් ඉන්නවා. මාව දකින හැමෝටම ඒ වෙනස තේරෙනවා ඇති. ඉස්සර මම වැඩිය එළියට ආව කෙනෙක් නෙවෙයි. දැන් ලැබෙන ආරාධනා අනුව ඒ දේවල්වලටත් සහභාගී වෙනවා. ඒ හැර ඉතින් වෙනස මොකක් ද කියලා දන්නවනේ.


ඒ වෙනස ගැන කතා කරන්න කලින් ශෙලිනා චිත්‍රපටය වෙනුවෙන් 2023 ජනාධිපති සම්මාන උලෙළේදී 2020 වසරේ හොඳම නැඟී එන රංගන ශිල්පිනියට නිර්දේශ වුණා. ඒ ගැන කතා කළොත්?


මේ මගේ පළවෙනි චිත්‍රපටය. මම පාසලේදීවත් ඉස්සරහට ගිහින් සින්දුවක්වත් කතාවක්වත් කරපු නැති කෙනෙක්. පාසලේදී බොහොම ලැජ්ජාශීලි චරිතයක්. මගේ මුල්ම රංගනය නිසා මේ තුළත් අඩුපාඩු සහ හදාගන්න දේවල් ඇති. මට මේ ශෙලිනා හි අවස්ථාව ලැබුණේ දිනෙත් ද සිල්වා, පුජිත ගුණතිලක සහ චන්දන එදිරිසිංහ අයියා. විශේෂයෙන් ඒ අයට ස්තුතිවන්ත වෙනවා මට ඒ දුන්නු අවස්ථාවට. මේ නිර්දේශ වීමත් එක්ක මට පොඩි අදහසක් ආවා රංගනය ගැන තව ටිකක් හදාරලා මේ ක්ෂේත්‍රය ගැන හිතන්න ඕනේ කියලා. හොඳ නිර්මාණයකට ඇරයුමක් ලැබුණොත් භාරගෙන සාධාරණයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම කැලුම් පාලිත මහීරත්න මහතාගේ විසල් අහස යට ටෙලි නාට්‍යයේ ලැබුණු ප්‍රධාන චරිතේ අත්දැකීමත් මේ දේවල්වලට හේතු වෙන්න ඇති. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.


අමන්දා වැඩි කැමැත්ත නිරුපණයට ද නර්තනයට ද රංගනයටද?


අංක එක නර්තනය. මම දැනුම් තේරුම් ඇති කාලේ ඉඳන් නර්තනය ඉගෙන ගත්තා. මට වැඩියෙන්ම පුළුවන් නර්තනය. මම හරිම සතුටින් නර්තනය කරන්නේ. ඒ තුළ මම ජීවත් වෙනවා කිවුවොත් නිවැරදියි. නර්තනය තුළදි මම වෙනමම කෙනෙක්. මෙගා ස්ටාර් අද බලද්දී එහෙම හිතා ගන්න බෑ මම ඒ තරම් නැටුම් කළා ද කියලා. ඊට පස්සේ මම ආස මොඩ්ලින්වලට. මාව ගොඩක් අය දැන ගත්තේ නිරූපණ ක්ෂේත්‍රයෙන්. ගොඩක් සම්මාන ලැබිලා තියෙනවා මොඩ්ලින් පැත්තෙන්. ඒ නිසා මොඩ්ලින් ක්ෂේත්‍රය තුළත් මම සාර්ථක ගමනක් ඇවිත් තියෙනවා. අන්තිමටම රංගනය. මම දැනන් හිටියේ නැහැ මට රඟපාන්න පුළුවන් කියලා. දැන් මම රංගනය ගැන ඉගෙන ගනිමින් ඉන්නේ. ඒ දැනුමත් එක්ක ඉස්සරහට අලුත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න ආසයි.


නර්තනය හදාරන්නේ කොයි කාලෙද?


මම පුංචිම කාලේ ඉඳන් නිමාලි බුදවත්ත, කුලසිරි බුදවත්ත සර් යටතේ උඩරට නර්තනය කළා. අපේ ගෙවල් එහා පැත්තේ එල්ෆින්ස්ටන් එක තිබ්බේ. මගේ තාත්තා මාවයි නංගිවයි එල්ෆින්ස්ටන් එකේ නැටුම් පත්තියට දැම්මා. පාසලේදී නැටුම් ඉගැන්නුවෙත් නිමාලි බුදවත්ත ගුරුතුමිය. ඊට පස්සේ කපිල පලිහවඩන සර් යටතේ මොඩ්න් බැලේ ඩාන්සින් ඉගෙන ගත්තා. මට මොඩ්ල් කරන්න සහ මගේ හැමදේකටම උදව් වෙන්නේ මම නර්තනය තුළින් ඉගෙන ගත්ත දේවල් එක්ක. ඊට පස්සේ තමයි මාව මොඩ්ල් ක්ෂේත්‍රය හරහා ජනප්‍රිය වුණා. ඔය අතරේ මෙගා ස්ටාර්වලට ආරාධනාවක් ආවා. එතැනදී තමයි ප්‍රේක්ෂකයන් දැන ගත්තේ මට ඩාන්සින් පුළුවන් කියලා.


තවමත් පෙර පරිදිම නිරූපණ කටයුතු කරනවද?


ඔව්. ඒ කාලේ කරන් ආපු විදියටම මම නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යනවා.


නිරූපණ කෂේත්‍රයේ දී සීමාමායිම් තියෙනවද?


නැහැ මම කිසිම සිමාමායිමක් පනවගෙන නැහැ. මගේ ඇඟ ලස්සනට තියෙනකම් මම නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවා. මටම දැනුණොත් දැන් ඇති කියලා එදාට මම නවතිනවා. මොකද කාගේවත් ඉස්සරහ විහිළුවකට ලක් වෙන්න ඕනේ නැහැනේ. ඒ හින්දා මමම නවත්තයි. ඒ හැර කාගෙන්වත් සිමා පැනවීම් නැහැ.


*ශරීරය ඔය තරම් හැඩට පවත්වා ගන්න මොන තරම් කැපවීමක් කරනවද?


මම නිතරම ව්‍යායාම කරනවා. කෑම පාලනය කරනවා. මම මගේ ස්කින් එක ගැන මගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා.


ජීවිතේ සතුටින් ඉන්නවා කියන්න හේතු වුණේ මෑතක විවාහ වුණ නිසානේ, ඔහු ගැන කිව්වොත්


ඔහු ඩයස් වනිගසේකර. වෘත්තියෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ.


තනිකඩ ජීවිතේ සහ විවාහ ජීවිතේ දැනෙන්නේ කොහොමද?


විවාහ වුණා කියලා මට එයාගෙන්වත් මගෙන් එයාටවත් පීඩනයක් නැහැ. දෙන්නම හරිම ආදරෙන් ඉන්නවා. වැඩක් කරන්න ගියත් එයා මම කරනකම් බලන් ඉන්නේ නැහැ. මමත් එයා කරනකම් බලන් ඉන්නේ නැහැ. අපි දෙන්නට දෙන්නා සහයෝගයෙන් වැඩ කර ගන්නේ. ඒ නිසා තනිකඩ ජීවිතේ සහ විවාහ ජීවිතේ කියලා ලොකු වෙනසක් නැහැ. අපේ ජීවිතේ හරිම සැහැල්ලුයි.


එයත් කඩවසම්, මොඩ්ල් ක්ෂේත්‍රයට එයිද?


එයාට ආරාධනා ලැබෙනවා. එයා ටිකක් ලැජ්ජයි. ඒ නිසා ඒ දේවල් කරන්න ලොකු කැමැත්තක් නැහැ.


කොහොමද දැන් දෙන්නගේ අලුත්ම යූ -ටියුබ් චැනල් එක?


ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ ගැන නොදන්නා පිරිසත් දැන් අපේ මේ යූ -ටියුබ් එක හරහා දැන ගෙන තියෙනවා. ඒ අයගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනවා. Amanda and Dias යූ ටියුබ් එක එක්ක දිගටම එකතුවෙලා ඉන්න ඉස්සරහට තව ලස්සන ලස්සන වීඩියෝ අරන් එන්න අපි සූදානම්.


අනුෂා රණසිංහ




Previous Post Next Post