2024 මගේ ජීවිතයේ අභියෝගාත්මක වසරක් වෙයි-අනූෂා දමයන්ති




ලංකාවේ රංගන ශිල්පිනියන් අතර රංගනයට මෙන්ම නර්තනයට දස්කම්පාන රංගන ශිල්පිනියන් සිටින්නේ බොහොම අතළොස්සක්. ඒ අතරින් අනූෂා දමයන්ති කියන්නේ රංගන ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක්. මේ වනවිට චිත්‍රපට විස්සකට අධික ප්‍රමාණයකට සහ ටෙලි නාට්‍ය රැසකටම රංගනයෙන් දායක වූ අනූෂා දමයන්ති 2024 නව වසර එළැඹෙන මොහොතේ ‘හදගැස්ම’ අප සමඟ අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


මේ දිනවල මොකද වෙන්නේ?


දෙසැම්බර් මාසය කියන්නේ කලාකරුවන්ට ටිකක් කාර්යබහුල කාලයක්. මේ දිනවල විවිධ නාළිකාවල විවිධ වැඩසටහන් පැවැත්වෙනවා. මමත් නත්තල් වැඩසටහන් වගේම අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැති විවිධ වැඩසටහන්වලට සහභාගි වුණා. 31 රෑ වෙනුවෙන් නර්තන ප්‍රසංගයන්ට සහභාගි වුණා. කාලය ගෙවිලා ගියා තේරුණේම නැහැ. හැමෝම හිතන්නේ මේ අලුත් අවුරුදේදේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න. මමත් මේ අලුත් අවුරුද්දේ අලුත් වැඩකටයුතු කිහිපයක්ම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


ඔබ භාරගත්තු අලුත් නිර්මාණ පිළිබඳව කතා කළොත්?


මේ වන විට සිනමා නිර්මාණය දෙකක්ම භාරගෙන තිබෙනවා. නමුත් පවතින තත්ත්වයත් එක්ක ඒවා ටිකෙන් ටික කල් ගත වුණා. ඇත්තටම මේ වසරේදී කරන්න ලස්සන වැඩක් තිබෙනවා. ඒක අවසන් කරන්නත් බලාපොරොත්තු වෙනවා.


මේ දිනවල පුංචි තිරයේ ඔබව වැඩිය දැකගන්නට නැතිවීමට විශේෂ හේතුවක් තිබෙනවාද?


ඇත්තටම එහෙම විශේෂ හේතුවක් නැහැ. නමුත් මම ක්ෂේත්‍රයට ආපුම කාලේ ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඇත්තටම මම කැමැතියි ටෙලි නාට්‍යයක වෙනස්ම චරිතයක් ලැබෙනවා නම්. මාව මේ ආකාරයෙන් නැතිව වෙනස්ම පැතිකඩකින් දකින්න පුළුවන් චරිතයක් මට ලැබුණොත් මම එය භාරගන්නවා. දැනට ටෙලිකාස්ට් වීමට නියමිත ටෙලි නාට්‍ය හතරක් පමණ තිබෙනවා. ඒවාත් මේ වසරේ විකාශය වෙයි කියලා හිතනවා.


ඔබ රංගන කටයුතු සහ නර්තන කටයුතු කොහොමද සමබරව කරගෙන යන්නේ?


නර්තනය සහ රංගනය කියන දෙකම මට එක හා සමානයි. මම ගෙදර සිටිනවිටත් නිතරම නටමිනුයි ඉන්නේ. නර්තනය කියන්නේ මගේ හුස්ම වගේ. ඉතිං  මම රංගනය ජයගන්නේත් නර්තනය නිසා. ඒ දෙකම මට සමබරව ගෙනියන්න පහසුයි. සිනමා නිළියක් නම් ඇයට සියල්ල පිළිබඳවම මනා පුහුණුවක් තිබිය යුතුයි කියලා මම හිතනවා. මමත් මේ සෑම දෙයක්ම වර්ධනය කරගත් රංගන ශිල්පිනියක්  කියලා හිතනවා.


රංගන කටයුතුවලට ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේද?


අනූෂා දමයන්ති කියන නිළිය බිහිවෙන්නේ මගේ අම්මා නිසා. මගේ නිවෙසේ තිබෙන සියලු සම්මානවල හිමිකාරිය මගේ අම්මා. අම්මා කෙනෙක් තමයි දරුවන්ව නිසි මාර්ගයට යොමු කරන්නේ කියලා මම හිතනවා. ඇත්තටම මගේ හෙවණැල්ල වුණේ මගේ අම්මා. මේක ඔයාට කරන්න පුළුවන්, මේක දිනන්න පුළුවන් කියන දිරිගැන්වීම මට නිතරම ලබා දුන්නේ මගේ අම්මා. අදටත් ඇය කිසිම දෙයක් බැහැයි කියලා නැහැ. මගේ ජීවිතයේ සෑම ජයග්‍රහණයකටම හේතුව මගේ අම්මා. ඒ වගේම මගේ තාත්තා, මගේ අයියා සහ මගේ අවුරුදු 14ක ආදරය වුණු මගේ ආදරණීය සැමියා යන දැවැන්තයන් මගේ පිටුපස  සෑම මොහොතකම සිටියා.


චිත්‍රපට නිෂ්පාදනයට හෝ අධ්‍යක්ෂණයට යොමු වෙන්න අදහසක් නැද්ද?


ඇත්තටම මම චිත්‍රපට අධ්‍යක්ෂණයට ගොඩක් කැමැති කෙනෙක්. මගේ සීයා දැවැන්ත කලාකරුවෙක්. අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක්, කවියෙක් වගේම වෙද මහත්තයෙක්. මගේ අම්මා වේදිකා නාට්‍ය ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ඒ නිසාම වෙන්න ඇති මම අධ්‍යක්ෂණයට හරිම කැමැතියි. මම අධ්‍යක්ෂිකාවක් වෙයි. නමුත් ඒ දැන්ම නොවේ. නිෂ්පාදිකාවක් වෙන්න නම් කැමැත්තක් තිබෙනවා. 2024 ගැන ටිකක් බලලා දෙපාරක් හිතන්නේ නැතිව ඒ අභියෝගයත් මම භාරගන්නවා කියන තැන මම ඉන්නවා. ඒ නිසා මම හිතනවා 2024 මගේ ජීවිතයේ අභියෝගාත්මක වසරක් වෙයි කියලා.


ලංකාවේ සිනමාවේ අනාගතය ගැන ඔබ මොකද හිතන්නේ?


ප්‍රේක්ෂකයාගේ සිතිවිලි, හැඟීම් තේරුම් ගැනීමට හැකි නම් එය කිසිසේත්ම සිනමාවට ගැටලුවක් වන්නේ නැහැ. ලංකාවේ සිනමාව ඉන්දියාවේ සිනමාව සමඟ සසඳන්නට යෑමම අපි කරන අනුවණ වැඩක්. ලංකාවේ දක්ෂ නළු නිළියන් වගේම පිටපත් රචකයන් අපට ඉන්නවා. අපි ප්‍රේක්ෂකයන්ගේ රුචි – අරුචිකම් තේරුම් අරගෙන සිනමා නිර්මාණයක් කරන්නේ නම් සිනමා නිර්මාණයක් කිසි විටෙක අසාර්ථක වන්නේ නැහැ. කලාකරුවන් රැ‍ෙ¾දන්නෙම ප්‍රේක්ෂකයන් මත. ඉතින් අධ්‍යක්ෂවරයෙක් නිර්මාණයක් කළොත් ඒ නිර්මාණය පුළුවන් හැම කෙනෙක්ම ගිහින් බලන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. එවිට මේ හැම දෙයක්ම දම්වැලක පුරුක් මෙන් එකිනෙක ආදරයෙන් බැඳිලා තියේවි.


සම්මාන ලැබීම ගැන ඔබ දරන මතය කුමක්ද?


අපේ රටේ සම්මාන ගැන කතා කරනවිට එයට විවිධ මත තිබෙනවා. එය සාපේක්ෂයි.  සම්මානයක් කියන්නේ ඇත්තටම දිරිගැන්වීමක් නම් ඔවුන් ජීවත්ව සිටියදීම අගය කිරීමකට ලක් කරමින් ඔවුන්ට වටිනාකම් ලබාදෙනවා නම් එයයි වටින්නේ. සෑම කලාකරුවකුටම ඒ අගය කිරීම විහිදුවා ලබාදීමට හැකි නම්  සම්මානයක් කියන්නේ සම්මානයක්.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මම විවාහ වෙලා  ගෙවන දෙවැනි අලුත් අවුරුද්ද මේ. ඉතින් මේ වසරේ අපි දෙන්නා සතුටින් සමාදානයෙන් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම  මේ වසරේ මවක් වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. සෑම දෙයක්ම අපේ වුවමනාවට සිදුවෙන්නේ නැහැ. මේ සෑම දෙයක්ම ස්වභාවදහමට අනුවයි සිදුවන්නේ කියලා මම විශ්වාස කරන කෙනෙක්. මගේ ජීවිතයේ කිසිම කලබලයක් නැහැ. පිරුණු කෙනෙක් ලෙස සතුටින් ජීවිතය දෙස බලමින්, මගේ රංගන කටයුතුත් කරගෙන, අනෙක් සෑම දෙනාටම හැකි පමණින් උදවු උපකාර කරමින් ජීවත්වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම උදාවන නව වසර ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post