තත්පරයක් දෙන්න කියන්නෙ මම වැඩිම කැමැත්තෙන් කරන නාට්‍යයක්- උපේක්ෂා ස්වර්ණමාලී




කලකට පෙර ශ්‍රී ලාංකික තරුණයන්ගේ සිහින කුමරිය වූවේ ඇයයි. අතිශය සුන්දර රූ සපුව හේතුවෙන් අවුරුදු කුමරියක් වෙමින් ක්ෂේත්‍රයට පා තබන ඇයට හැකි වූවා ඉන්දියානු ටෙලි නිර්මාණවලට වහ වැටී සිටි මෙරට ප්‍රේක්ෂකයන් එයින් මුදාවා ගෙන මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමට.  කොපමණ කල් ගියත් “පබා” ලෙසින් ඇය මෙරට ප්‍රේක්ෂයන්ව වසඟයට ගත් යුගය අමතක නොවෙනු ඇති. එළැඹෙන නව වසර වෙනුවෙන් ලක්වාසි සැමට ශුභාශිංසන පිරිනමමින් මෙවර  එක් වෙන ඇය කවුරුත් දන්නා උපේක්ෂා ස්වර්ණමාලී. 


මේ දිනවල මොකද වෙන්නේ?


මේ දවස්වල මගේ ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙනවා. ඒ දිව්‍යාදරී හා තත්පරයක් දෙන්න කියන ටෙලි නාට්‍ය දෙක. මේ දෙකම ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන්නේ. ඒ වගේම ඉදිරියේදී රූගත කිරීම් ආරම්භ කරන්න නියමිත නිර්මාණ කිහිපයක්ම තිබෙනවා. ඒ දේවල් සමඟින් මගේ දුවගේ වැඩකටයුතුත් කරගෙන ඉන්නවා.


තත්පරයක් දෙන්න ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


මම පෞද්ගලිකව හරිම ආසාවෙන් කරන නාට්‍යයක්. ප්‍රේක්ෂකයන්, කලාකරුවන්ව නිතරම දකින විධියක් තිබෙනවනේ. මාව ඔවුන් නිතරම වගේ දකින්නේ මේකප් දාපූ රූපය ලස්සනට පවත්වාගෙන යන කෙනෙක් විධියට. නමුත් තත්පරයක් දෙන්න ටෙලි නාට්‍යයේ මගේ චරිතය ඒ හැම දේකින්ම මිදිලා ලස්සන ගැන පොඩ්ඩක්වත් නොහිතා කරන චරිතයක්. ප්‍රතිචාර ගැන කියද්දි හැමෝම බලනවා කියලා කියන්න බැහැ. නමුත් බලන හැමෝගෙන්ම ඉතාමත් හොඳ ප්‍රතිචාර තිබෙනවා. නාළිකාවේ සභාපතිතුමාගෙන් පවා ඉතාමත් හොඳ ප්‍රතිචාර හිමිවුණා. ඒ ගැන බොහොම සතුටක් තිබෙනවා. දුකකට දෙයක් තිබෙනවා නම් මේ නාට්‍යයේ රූගත කිරීම් සිදු වෙන්නේ, කොටස් වශයෙන් පළමු රූගත කිරීම්වලින් අවුරුද්දකට පස්සේ තමයි ඊළඟ රූගත කිරීම් සිදු කරන්නේ. එහෙම වුණාම අපිට මේ චරිතයේ අන්‍යන්‍ය ලක්ෂණ, පෙනුම වගේ දේවල් අමතක වෙලා ආයෙත් මුල සිටම ඒවාට හැඩ ගැහෙන්න සිදුවෙනවා. නමුත් ඒ කුමක් වුණත් මම වැඩිම කැමැත්තකින් කරන නාට්‍යය තමයි මේක.


උපේක්ෂා ස්වර්ණමාලි “අමිලා” බවට පත් කරගැනීම මොන වගේ අත්දැකීමක්ද?


ඒක බොහොම අසීරු වුණා. මම පෞද්ගලිකව අමිලා වගේ අත්දැකීමක් ලබපු කාන්තාවන්ව අ¾දුරන්නේ නෑ. අමිලා කියන චරිතයේ පසුබිම් සිද්ධීන් ගත්තම ඇගේ දරුවව අපයෝජනය කරන්න එන පෙම්වතාව ඝාතනය කරනවා. ඒකට ලැබෙන දඬුවමක් ලෙස තමයි ඇය සිරගත වෙන්නේ. ඇය සිරගෙදරදී වුණත් වැරදි දේවල් කරන්නේ දරුවව පෝෂණය කරන්න මුදල් උපයන්න. ඇයට වෙන විකල්පයක් නැහැ. පෞද්ගලික ජීවිතයේදීත් මම දුවෙක්ගේ අම්මා කෙනෙක් නිසා ඒ ගැන හිතද්දී වුණත් මට දුකයි. නමුත් දැන් අමිලා කියන චරිතය රඟපාද්දී ඒ දුක තබාගන්න බැහැ. ඒ දුකෙන් ගොඩක් කාලෙකට කලින් මිදුණු වකාවානුවක තමයි දැන් රූගත කිරීම් වෙන්නේ. මෙතැනදි විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි රංගන ශිල්පිනියක් වශයෙන් අපි අපේ පෙනුම ගැන සැලකිලිමත් වීම පුරුද්දක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් අමිලා බවට පත් වීමේදී ඒ සියල්ල අත හැරිය යුතුයි. එයත් තරමක අසීරු කටයුත්තක්.


“තත්පරයක් දෙන්න” සමඟින් එකතු වෙලා සිටින රංගන ශිල්පිනියන් පිරිස ගැන කතා නොකරම බෑ?


ඇත්තටම  ඒ නිර්මාණයේ අධ්‍යක්ෂතුමා හා නිෂ්පාදකතුමා වාසනාවන්තයි අපි සියල්ලම එකම නිර්මාණයකට සම්බන්ධ කර ගැනීමට. මේ තරම් අත්දැකීම් සහිත ජනප්‍රියත්වයක් සහිත පිරිසක් එකම නිර්මාණයක් සමඟින් එකතු වීමේ වාසිය තමයි අපි එකිනෙකා රංගනයේදී කරට කර ඉන්න උත්සාහ කරනවා. ඒත් අභිභවා යෑමක් නෙවෙයි. අපි සියල්ලෝම තමන්ගේ උපරිමය දෙන්න උත්සාහ කරනවා. ඕනෑම ක්ෂේත්‍රයක ගුණාත්මක බව වර්ධනය වෙන්නේ එහි තරගකාරිත්වයක් තිබෙද්දී. ඒ තරගය පැහැදිලි ලෙස තිබිය යුතුමයි. මේ නිර්මාණය තුළ ඒ තරගකාරිත්වය තිබෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි.


ලංකාවේ විනෝදාස්වාද කර්මාන්තය ලෝකයේ බොහෝ රටවලට වඩා පසුගාමී වීමට හේතුව කුමක්ද ඔබ දකින විධියට?


කලාකරුවෙක් විධියට සියලුම දෙනා වෙනුවෙන් අවංකවම මේ දේ කිව යුතුයි. මේක ටීම් වර්ක් එකක්. රංගන ශිල්පීන්ගේ, අධ්‍යක්ෂවරුන්ගේ, නිෂ්පාදකවරුන්ගේ, කලා අධ්‍යක්ෂවරුන්ගේ ඉඳලා සමස්ත කණ්ඩායමේම ටීම් වර්ක් එකක් මේක. ලෝකය ඇතුළේ අනෙකුත් රටවල පවතින විනෝදාස්වාද කර්මාන්තය සමඟින් සංසන්දනය කරලා බැලුවම අපිට අවශ්‍ය කරන සපෝර්ට් එක ලැබෙනවා මදි. අපේ රටේ නිර්මාණයකදි අනෙක් සියලුම දේට දක්වන සැලකිල්ලට වඩා රංගනය තාත්වික කරන්න ලබාදෙන සැලකිල්ල, සපෝර්ට් එක අපේ රට ඇතුළේ මදි. ඒක ලංකාවේ බහුතරයක් නිර්මාණවල තිබෙන ගැටලුවක්. නමුත් සුළුතරයක් ඇති එහෙම ගැටලු නොමැති.


අද වෙද්දී ලංකාවේ සිදුකරන බහුතරයක් නිර්මාණ ලෝ බජට්, මේකට බලපෑ විශේෂ හේතුවක් තිබෙනවද?


ඒකට මූලිකම හේතුව රටේ වියදම වැඩි වීම. ඉස්සර බත් පැකට් එකකට ගෙවපු ගාණ වගේ තුන් ගුණයක් අද ගෙවන්න සිදුවෙලා තිබෙනවා. වියදමට සාපේක්ෂව ආදායම වැඩි වුණේ නැහැ. යම් තැන්වල ආදායම අඩු වෙලත් තිබෙනවා. මේක ඇත්තටම හොඳ ව්‍යාපාරයක්. ලෝකයේ බොහෝ රටවල මේ ව්‍යාපාරය ඒ රජයන්වලට හොඳ ආදායමක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් අපේ රටේ ඒ දේ සිදු වෙලා නැහැ. ඒක තමයි ලෝ බජට් නිර්මාණ වැඩි වීමට හේතුව. ඒ වගේම ඇතැම් රංගන ශිල්පීන් හා අධ්‍යක්ෂවරුන් පිරිසක් සිටිනවා. ඔවුන් නිර්මාණ කරන්නේ ජනප්‍රිය වීම සඳහා පමණයි. හොඳ නිර්මාණයක් කිරීමේ අරමුණක් ඔවුන්ට නැහැ. කෙටියෙන්ම අපේ රටේ මේ කර්මාන්තය පිළිවෙළක් නොමැති නිසා ලාභ ලබාගන්න විධියක් නැහැ. ඒ වගේම නුසුදුසු අයත් ක්ෂේත්‍රයට ඇවිත් තිබෙනවා. ඒ දේවල් ප්‍රබලවම බලපානවා ලෝ බජට් නිර්මාණ බිහි වීමට.


ඔබ දැන් නිර්මාණවලට දායක වන්නේ සීමා සහිතව, එයට විශේෂ හේතුවක් තිබෙනවද?


මම හිතන්නේ මම දේශපාලනය කරපු නිසා හා මට දුවෙක් ඉන්න නිසා වෙන්න පුළුවන් ඒකාකාරි චරිත ගොඩක් හමුවෙනවා. ඒකට බලපාන  තවත් හේතු තිබෙනවා වෙන්නත් පුළුවන්. පබා කරපු කාලේ වුණත් මාවයි අමිලවයි දාලා තවත් ඒ වගේ නිර්මාණයක් කරමු කියලා ආපු ආරාධනා බොහෝමයක් තිබුණා. කාලයක් මම දේශපාලනය නිසා තරමක් ක්ෂේත්‍රයෙන් අෑත්වෙලා සිටියා. ඊට පසුව තවත් කාලයක් දුව නිසා රංගනයෙන් අෑත්වෙලා සිටියා. ඇත්තටම මම ආස කරන නිර්මාණවලට ලැබෙන ආරාධනා ප්‍රමාණය අඩුයි. බොහෝ අවස්ථාවල ගැළපෙන නිර්මාණවලට වඩා නොගැළපෙන නිර්මාණවලට ලැබෙන ආරාධනා ප්‍රමාණය වැඩියි. මම වෘත්තියෙන් රංගන ශිලිපිනියක්. එහෙම වුණත් කරන නිර්මාණවලට වඩා ප්‍රතික්ෂේප කරන ප්‍රමාණය වැඩියි. කොතරම් ආරාධනා ලැබුණත් මට හානියක් වෙන නිර්මාණයකට හෝ මාව බාල්දු වෙන නිර්මාණයකට දායක වෙන්නේ නැහැ.


ඔබේ ආදරණීය දුව ගැනත් සිහිපත් කරමු?


මම පොඩි කාලේ ඉඳන්ම අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් හිටපු කෙනෙක්. ජීවිතේ වෙන කිසිම දෙයක් පිළිබඳව මට සිහින හෝ අරමුණු තිබිලා නෑ. නමුත් මවු පදවිය කියන දේ ගැන අසාමාන්‍ය හැඟීමක් තිබුණා. දුව ලැබුණට පසුව ඒක සම්පූර්ණ වෙනවා. දෙවන දරුවෙක් ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. මගේ දුව මගේ මුළු ලෝකෙම. එයාගේ තාත්තගෙන් මම අයින් වෙලා ඉන්නේ. ඇගේ වගකීම් සියයට අනූවක්ම දරන්නේ මම. එයාව බලාගන්නේ මම. එයා ජීවත් වෙන්නේ මා සමඟ. මම එයා එයාගේ තාත්තා ගාවට යවන එකම හේතුව ඇය ඇගේ තාත්තාව අ¾දුරාගන්න අවශ්‍ය නිසා. දුව මගේ ජීවිතය පිළිවෙළක් කළා. මාව සම්පූර්ණ මනුෂ්‍යයෙක් කළා.


ඉදිරියේදී එන්න තිබෙන නිර්මාණ ගැනත් කතා කරමු?


ඉදිරියේදී චිත්‍රපට දෙකක් එන්න තිබෙනවා. ඒ වගේම රූගත කිරීම් කරන්න නියමිත නිර්මාණ හතරක් පමණ තිබෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post