වසර 12කට පසු සුපෙම් හැඟුම් අවදි කරපු ප්‍රදීපා අද කියන කතාව




ඇය ලාංකික රසික සිත්සතන් ආලෝකයෙන් පුරවනා ප්‍රදීපාගාරයකි. දුහුවිල්ලෙන් වැසී ගිය මතකයට නැවතත් පණ පෙවීමට ඇය සුපෙම් හැඟුම් රැගෙන පැමිණීමට නියමිත බව දැන ගන්න ලැබුණා. අද  එක්වන්නේ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රදීපා ධර්මදාස. ප්‍රදීපා ධර්මදාස ඇයි දැන් නිහඬ වෙලා. 


ඔබට මේ ක්‍ෂේත්‍රය පිළිබඳව කලකිරීමක් තිබෙනවාද?


මගේ පළමු සංයුක්ත තැටිය 1992 ජනගත කිරීමේ උත්සවයට මහා ජන ගංගාවක් පැමිණියා. එයට හේතු වුණේ මගේ ගීත හයක් වාරණය කිරීම. වෙනත් කෙනෙක් නම් මේ වාරණය වීම තමන්ගේ වාසියට හරවා ගෙන දකින දකින වේදිකාවල ගීත ගායනා කරලා තමන්ගෙ නිර්මාණ විකුණාගෙන කනවා. නමුත් මම එතැනදී මාව විශ්වාස කළ ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. මාව විශ්වාස කළ මිනිසුන්ව පසෙකලා තවත් වෙළෙඳ භාණ්ඩයක්


වෙන්න මම කැමැති වුණේ නැහැ. මම හැම විටම මගේ ගීතවල ගුණාත්මකභාවය රැකගෙන කල් ගත වී හෝ හොඳ නිර්මාණ කරන්න අවශ්‍යයි කියන තැන සිටිනවා. එදා මම හැමදාම හරි තැන කකුල තබා ගෙන ගමන් කරපු කෙනෙක්. මගේ සංයුක්ත තැටියක් එළිදක්වන්න වසර ගණනාවක් යනවා. ප්‍රසංගයක් කරන්න වසර ගණනාවක් යනවා.


එදා ගත්තු තීන්දු තීරණ ගැන අද ඔබ තෘප්තිමත්ද?


වෙනත් කලාකරුවන් වසරක් පාසා තමන්ගෙ නිර්මාණ එළිදක්වනවා. අනෙක් දෙය මම වෙනත් ගායක ගායිකාවන්ගේ නිර්මාණ ගායනා කරන කෙනෙක් නෙවෙයි. මම වෙන කෙනෙක්ගෙ ගීයක් ගායනා කරනවා නම් ගායනා කරන්නෙ විනෝද ගමනක් යනවිට හරි නාන විටදි හරි විතරමයි. මම ප්‍රතිපත්තිගරුකව වැඩ කරන කෙනෙක්. එවැනි සුභාවිත යහපත් ජීවිතයට වත්මන් සමාජය තුළ තිබෙන වටිනාකම කුමක්ද යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මට තිබෙනවා. එතැනම කලකිරීම කියන දෙය තිබෙනවා නේද? මම ආප්ප දානවා වගේ නිර්මාණ කරන්න යන්නෙ නැහැ.


දකින දකින දෙය කරන්න යන්නෙත් නැහැ. අද මම එදා හිටපු කෙල්ල නෙවෙයි. දරුවන් දෙදෙනෙක්ගෙ මවක්, වගකීම් සහගත මිනිසෙක්ගෙ බිරියක්, සමාජය වෙනුවෙන් කැපවෙන සහෝදරියක්. මම ගීයක් ගායනා කරන්න යන විට පස් මහ බැලුම් බලලා තමයි එය ගායනා කරන්නෙ. ඒ නිසාම‍ෙදා් මම හෙමින් ගමනක් යන කෙනෙක්. මා තුළ නිර්මාණමය සංයමයක් තිබෙනවා.


සිස්ටමික වියවුල ලිහා ගන්නට භෞතික අරගලයක්ම අවශ්‍යයි කියන මිනිස්සු බහුතරයක් ඉන්න රටක වචනවලට (කලාවට) කරන්න පුළුවන් දෙයක් නෑ වගේ අදහසක් ඔබට තිබෙනවාද?


ප්‍රායෝගික කරන්න ගිය බොහෝ දේ අසාර්ථක  වුණු විධිය අපි භෞතිකවම අත් වින්දා? දුවිල්ලෙන් සැදුණු ලියේ ගීතය හරහා මම කතා කළේ එවකට පැවැති ගොවීන්ගේ අර්බුදය. ඒ යුගයෙ ගොවීන් ණය ගෙවා ගන්න බැරිව වස බීලා මැරුණා. ඔවුන්ගෙ පවුල් සංස්ථා විනාශ මුඛයට ගිය විධිය අපි දුටුවා. මම ඉරණවිල වේදනාව ගීය හරහා ඉරණවිල සම්ප්‍රේෂණාගාරය නිර්මාණය කිරීමෙන් සිදුවන ගැටලු සහ භයානක බව පිළිබඳවද, කොළොම්තොටින් නැව් නැග්ගා ගීය හරහා සිරි දරු ජාවාරම පිළිබඳව කතා කළා. එහි 77 විවෘත ආර්ථිකය හරහා ජාතියක් ලෙස අපිට අත් වුණු  ඉරණම පිළිබඳව කතා කළා. අපි කම්මැළි ජාතියක් බවට පත් වුණා. නමුත් හොඳ දේවලුත් ලැබුණා. මම සැබෑ උගත්තු ගීය හරහා විශ්වවිද්‍යාලවල සමකාලීන සිසුන් මුහුණ දුන් ගැටලු පිළිබඳව කතා කළා.


කලාකරුවාට යම් සමාජමය වගකීමක් තිබෙන බව ඔබ විශ්වාස කරනවාද?


කලාකරුවෙක් හෝ කලාකාරිනියකට කිසියම් වූ සමාජ වගකීමක් තිබෙනවා මේ සමාජය ගොඩනඟන්න. මට ඒ කාලේ කොන්දක් තිබුණා මිනිස්සුන්ගෙ පැත්තෙ හිට ගන්න. ඒක කලාකරුවෙක්ට කරන්න බැරි නැහැ. වික්ටර් හාරා, බොබ් මාර්ලි වැන්නන් ඒ දෙය කළා. කලාකරුවා තමයි ඒකාධිපතිත්වයට සහ මජර පාලනයට එරෙහිව කටයුතු කරන්නෙ. පවතින රජයන්වලට ආවඩ වඩ ඉන්න එක නෙවෙයි කලාකරුවගෙ කාර්යභාරය වෙන්නෙ. අද මිනිස්සු විසල් අර්බුදයකට මුහුණ පාමින් සිටිනවා. ඒ වගේ යුගයක අපිට මල් ගැනයි ඇඟේ අවයව ගැනයි කියව කියව ඉන්න පුළුවන්ද?


ඔබ ලංකාවේ ජනතාවාදී ගීත කලාවේ නොමැකෙන සලකුණක්. ගීත වාරණය වීම කලාකරුවෙක්ට බලපාන්නේ කේසේද?


වාරණය කියන දෙය කලාකරුවෙක්ට හොඳ දෙයක් නෙවෙයි. මගේ පළමු කැසට් පටය මම කළේ බුදුන්ට පුදන්න පර මල් ඉවතලා සුවඳ කැකුළු මලින් සරසපු මල්වට්ටියක් හදනවා වගේ. මේ ගීත හිමින් හිමින් නිර්මාණය කළ ඒවා. කැසට් පටයක ගීත 12කින් 6ක් වාරණය වෙනවා කියන එක කලාකරුවෙක්ට සුබවාදී නැහැ. නමුත් ඒක තමයි මගේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. මම නිර්මාණ කරන්න බය නැහැ. මට හරි දෙය හරියි වැරැදි දෙය වැරැදියි කියන්න පුළුවන් කොන්දක් තිබෙනවා.


ඔබේ බොහෝ ගීත එදාට වඩා අදට වලංගුයි. නිර්මාණයක් සර්වකාලීන වෙන්න තේමාව කොපමණ වැදගත්ද?


ඉරණවිල වේදනාව ගීය ලියන කාලේ නිලාර් එන්. කාසිම් පොඩි කොල්ලෙක්. ඔහුගේ සිතුවිල්ල තමයි මම ගායනා කළේ. ඇතැම් අය මට චෝදනා කළා මම කතා කරන්නෙ කාලීන ප්‍රශ්නම විතරයි කියලා. ප්‍රශ්න කියන දේවල් එතැනින් ඉවර වෙන්නෙ නැහැ. නිදසුනක් ලෙස ගොවි ප්‍රශ්නය දිහා බලන්න. ගොවියන්ට එදා වුණු ඛේදවාචකය අදත් සිදු වෙනවා. ගීතය කියන දෙය සර්වකාලීන වෙන්න ඕන. එයට සදාකාලික වටිනාකමක් තිබෙන්න ඕන.


ඔබගේ සකල ගීතයන් දෙස බැලූ කල අවසාන අර්ථයෙන් ගත් විට ඔබ බලාපොරොත්තු වෙන්නෙ සර්ව සාධාරණ යහ සමාජයක්. මේ පවතින ක්‍රමයත් එක්ක කවදාක හරි සමාජය නිර්මාණය වෙයිද?


සාධාරණ සමාජයක් නිර්මාණය කරන්න කොයි තරම් නම් මිනිස්සු කැප වුණාද? එහෙම හිටපු කලාකරුවො, විශ්වවිද්‍යාල ආචාර්යවරු, විවිධ වෘත්තිකයන්, විවිධ සංවිධාන කොතරම් තිබුණාද? ඒත් අපි පැතූ ඒ සාධාරණ සමාජය අපිට ලැබුණද? මේ තට්ටු මාරු දේශපාලන ක්‍රමය තුළ ඒ සමාජය අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි. මේ ක්‍රමය පෙරළන්න එන ක්‍රමයට මම මෙන්න මෙහෙම කියනවා. සිංහබාහු පුතා ගල්ලෙන බිඳලා එනවා. ලපලු වගේ සැලෙන්නෙපා පුතුන් එන දිනේ. අලුත් තුන්වන බලවේගයක් එන දිනයේදී සැලෙන්න එපා අපි ඒකට එනවා කියලා මම කියනවා.


දශක හතරක කලා දිවි ගමන ගැන ආපසු හැරී බලන විට මොකද හිතෙන්නේ?


මම වේදිකා නිළියක් ලෙස තමයි මගේ කලා ගමන ආරම්භ කළේ. 1983 සඳ කි¾දුරිය හැටියට තමයි මම මගේ මුල්ම චරිතයට පණ පොවන්නේ. නමුත් අදටත් කවුරු හරි මම කැමැතිම නාට්‍ය මොකක්ද කියලා ඇහුවොත් මම කියන්නෙ සත්‍යාංගනාවී තමයි මම කැමැතිම නාට්‍ය කියලා. බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ ‘The Good Woman of Setzuan’ ඇසුරින් තමයි එම නාට්‍යය ලියැවුණේ. විජිත ගුණරත්නයන් තමයි එහි අනුවාදය රචනා කළේ. එම නාට්‍යයේ විවිධ පරාසයන්වල ගීත මම ගායනා කළා වගේම පිරිමි චරිතයක් සහ ස්ත්‍රී චරිතයකටත් පණ පෙව්වා. කේමදාස මාස්ටර් තමයි මට මුලින්ම කිව්වේ ඔයාට නිළියක් නෙවෙයි හොඳ ගායිකාවක් වෙන්නත් හැකියාව තිබෙනවා කියලා. ඉන් පසුව තමයි මම 1994දී වේදිකාවට සමුදීලා පූර්ණකාලීන ගායිකාවක් බවට පත් වුණේ. ඉන් පසුව තමයි මාස්ටර් මට ජයන්ත චන්ද්‍රසිරිගේ වෙදහාමිනේ ටෙලි නාට්‍යයට දූවිල්ලෙන් සැදුණු ලියේ ගීය ගායනා කරන්න අවස්ථාව අරන් දුන්නේ. මට මගේ ගමන ගැන සතුටුයි.


සුපෙම් හැඟුම් ප්‍රසංගය ගැන මතක් කරමු?


සුපෙම් හැඟුම් ප්‍රසංගය පැවැත්වෙන්නෙ වසර 12ක නිහැ¾ඩියාවකින් පසුව. කලින් පැවැති ප්‍රසංගයේදී මම ගායනා කළේ අලුත් ගීත. නමුත් මේ ප්‍රසංගයේදී රසිකයන්ගේ ඉල්ලීම පරිදි මගේ පැරණි ගීත රාශියක් ආදරණීය රසිකයන් වෙනුවෙන්ම ගෙන එනවා. විශාරද එඩ්වඩ් ජයකොඩි, කසුන් කල්හාර, රවීන් කණිෂ්ක, රූකාන්ත ගුණතිලක මා සමඟ ගායනයෙන් එක් වෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහයන් මෙය සංගීතයෙන් ඒකාලෝක කරනවා. ඉතින් ඔබටත් ජනවාරි 21 හවස 6:30ට නෙලුම් රඟහලට එන මෙන් ආරාධනා කරනවා.


ගිහාන් සචින්ත




Previous Post Next Post