මම කැමැතියි සීරියස් චරිත කරන්න-කසුන් ලියනගේ



මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය රැසකටම රංගනයෙන් දායක වන ජනප්‍රිය තරුණ රංගන ශිල්පියකු  ලෙස කසුන් ලියනගේ හදුන්වන්නට පුළුවන්. වේදිකාව සහ ටෙලි නාට්‍ය තුළ නොමැකෙන චරිතයක් වන කසුන් බොහෝදෙනා හදුනන්නේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ බාචිගේ චරිතයෙන්. ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන චරිතයක් බවට පත් වූ කසුන් ලියනගේ එහෙමත් නැතිනම් ‘බාචි’ මෙවර  අදහස් එක් කළේ මෙලෙසින්. 


මේ දිනවල මොකද වෙන්නේ?


මේ දිනවල දිල්ෂාන් පතිරත්න මහත්මයාගේ ටෙලි නාට්‍යයක ෂූටින් වැඩ කටයුතු කෙරෙනවා. ඒ වගේම ධනුෂ්ක රත්නායක මහත්මයාගේ මන්දාරම් කතාවේ ටෙලි නාට්‍යයේත් ෂූටින් වැඩ කෙරෙනවා. සුපුරුදු පරිදි වසන්ත අමරසිංහ මහත්මයාගේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේත් ෂූටින් වැඩ කටයුතු මේ දිනවල කෙරෙනවා. ඒ වගේම මේ දිනවල විකාශය වන අසංක සායක්කාර මහත්මයාගේ උඩතට්ටුව කියන නිර්මාණයේත් වැඩකටයුතු පසු ගිය දවස්වල  නිමවුණා. ඒත් එක්කම විශ්ව ලංකා මහත්මයාගේ නිර්මාණයක් වන සීසර් ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වෙනවා. මේ වැඩකටයුතුත් එක්ක ටිකක් කාර්යබහුලව මේ දින කිහිපය ගෙවිලා යනවා.


මොනවද අලුත් වැඩකටයුතු?


මේ අලුත් අවුරුද්දේ මුල්ම ටෙලි නාට්‍ය දිල්ෂාන් පතිරත්න අයියත් එක්ක සිදු කළා. ඒක ඉදිරි කාලයේදී බලාගන්න පුලුවන් වෙනස්ම වැඩක්. තවත් නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා. තවත් නොබෝ දවසකින් ඒ නිර්මාණත් ප්‍රේක්ෂකයන්ට රස විඳින්නට හැකිවේවි.


ඔබ රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙනවා. ඉතිං කොහොමද ඒවාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?


ඇත්තටම ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳයි. නමුත් ප්‍රේක්ෂක ප්‍රතිචාර කියන දේ අපට විවිධාකාරයේන් අදහස් දක්වන්නට පුළුවන්. එක් ප්‍රේක්ෂක පිරිසක් නාට්‍යයේ  ඒ ඒ චරිත පිළිබඳව කතා කරනවා. තවත් පිරිසක් රංගනය පිළිබඳව කතා කරනවා. ඒ අතර තවත් පිරිසක් කතාවේ වස්තු විෂය පිළිබඳව කතා කරනවා. මීට හාත්පසින්ම වෙනස් ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. ඒ අය කතා කරන්නේ ටෙලි නාට්‍යයේ ඉදිරියේදී විය හැකි දේවල් පිළිබඳවයි. ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳයි කියලා පැවැසුවාට ප්‍රේක්ෂක බුද්ධි මට්ටම් අනුව එය විවිධ වෙනවා.


ඔබ නිතරම හාස්‍ය දනවන චරිත තෝරා ගන්න විශේෂ හේතුවක් තිබෙනවාද?


මතුපිටින් බලනවිට මම දායක වන චරිත හාස්‍ය උපදවන චරිත යැයි කෙනකුට පවසන්න පුළුවන්. නමුත් මම  හාස්‍ය උපදවන චරිතවලට සීමා වෙන්න කිසිමවිටෙක උත්සාහ කරන්නේ නැහැ. මම හාස්‍ය උපදවන චරිත කරලා තිබෙන්නේ දෙකයි. මොකද මම කැමැතියි සීරියස් චරිත කරන්න. ඉතිං මම හාස්‍ය දනවන චරිත පස්සේ යන කෙනකු හෝ ඒකට විශේෂ කැමැත්තක් ඇති කෙනකු නෙවේ.


රංගනයේදී චරිත තෝරාගැනීමක් කරනවාද?


රංගන ශිල්පියකු ලෙස චරිත තෝරාගැනීමක් කිරීම ඇත්තටම අවශ්‍ය දෙයක්. ඇත්තටම තවම මම ඒ වෙනුවෙන් බලන් ඉන්නවා. ඒ වගේම මමත් පුළුවන් තරම් හොඳ තෝරා ගැනීමවලට යන්න උත්සාහ කරනවා.


ටෙලි නාට්‍ය නිසා ඔබ වේදිකාවෙන් දැන් අෑත් වෙලාද?


මම වේදිකාවෙන් අෑත්වෙලා නැහැ. මම වේදිකා නාට්‍යයට සම්බන්ධ වන්නේ රංගනයෙන් පමණක්ම නෙවෙයි. නමුත් පසුගිය කාලයේ රටේ පැවැති විවිධ හේතුත් එක්ක මමත් පෞද්ගලික කල්පනා කරනවා ප්‍රේක්ෂකයන්ට ඊළඟට ලබාදිය යුතු නිර්මාණය මොකක්ද මොනවගේ චරිතයකින්ද ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කළ යුතු කියලා. නමුත් මම වේදිකාවෙන් අෑත් වෙලා නැහැ.


දක්ෂ ටෙලි නාට්‍ය රංගන ශිල්පියකුට වේදිකාව කෙතරම් වැදගත්ද?


වේදිකාව, පුංචි තිරය වගේම සිනමාව කියන්නේ ක්ෂේත්‍ර තුනක්. ඒ නිසා වේදිකාව ජයගත් පුද්ගලයකුට පුංචි තිරය  වරදින්නත් පුංචි තිරය ජයගත් කෙනකු වේදිකාව වරදින්නත් පුළුවන්. මම නම් දකින්නේ රංගන ශිල්පියකුට වැදගත් වන්නේ වැඩ කරන මාධ්‍ය නොව, තමන් ප්‍රකාශ කරන දේ කුමක්ද යන්නයි. වේදිකා රංගන ශිල්පියකු වීම ටෙලි නාට්‍ය රංගන ශිල්පියකුට හොඳ පන්නරයක් වෙන්න පුළුවන්. නමුත් වේදිකා නළුවන් උතුම් යැයි පවසන මතයක මම නැහැ.


ඔබ කොහොමද ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන චරිතයක් බවට පත්වුණේ?


මම වේදිකා නාට්‍ය කරමින් හිටපු කෙනෙක්. මම ටෙලි නාට්‍ය රංගනයට මුලින්ම එන්නේ සමීර හසුන්ගේ මීදුම් අම්මා නිර්මාණයෙන්. පසුව චලෝ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. මේ කාලයේදී තමයි ප්‍රේක්ෂකයන් මාව හ¾දුනාගත්තේ. ඒත් එක්කම මම කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ බාචිගේ චරිතය නිසා ජනප්‍රිය වුණා. තවමත් ප්‍රේක්ෂකයන් මාව හ¾දුනන්නේ බාචිගේ චරිතය නිසා. මාව මාධ්‍ය ඇතුළේ ප්‍රේක්ෂකයන් රූපයක් ලෙස හ¾දුනන්නේ නැති වුණාට කලින් බොහෝ වැඩ කරලා තිබෙනවා.


ඔබ වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙක්. ඒ ගැනත් මතක් කළොත්?


මම වේදිකා නාට්‍ය කිහිපයක්ම අධ්‍යක්ෂණය කරලා තිබෙනවා. ඉදිරියටත් ඒ දේවල් ඒ විදිහටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මම අධ්‍යක්ෂණය සම්බන්ධ වැඩ කටයුතුවලට ගොඩක්  කැමැතියි. මම ඒ පිළිබඳව තවම පුහුණුවෙමින් ඉන්නේ.


ඔබ සිනමාවට එන්න බලාපොරොත්තුවක් නැද්ද?


ඇත්තටම සිනමාවට එක් වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. නමුත් තවම ඒ සඳහා ආරාධනා ලැබිලා නැහැ.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේ ජීවිතයේ එහෙම විශේෂිත වූ ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. මේ රටේ ලස්සනට ජීවත් වෙන්න පුලුවන් නම් ඒ හොඳටම ඇති.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post