එයාගෙ පස්සෙන් ගිහිං ආදරේ අහලා ආදරේ කරලා තමයි විවාහ වුණේ-සහන් රන්වල




ගැමි සුවඳ, අපේකම ලෝකයට ගෙන ගිය රංවල බළකායේ මුල් පුරුකක් වු ඔහු සංගීතයට, රංගන ක්ෂේත්‍රයටම දක්ෂ අලුත් මුහුණු හඳුන්වා දුන්නේ ඒ බළකායෙනුයි. පියාගේ උරුමය රැකගෙන අපේකම රැගෙන කලා කෙත පෝෂණය කරන ඔහු සහන් රන්වල. රංගන ශිල්පියෙක් හැටියටත් බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් ඔහුගේ තොරතුරු හා පුංචි කැදැල්ල ගැනයි මේ කතාබහ.


හැමදාමත් රංවල පවුල මතක් වෙන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්දට කියනවා, ඒත් දැන් නම් අවුරුද්ද පුරාවටම වැඩ නේද?


විශේෂයෙන්ම මාධ්‍ය එක්ක වැඩිපුර ගැවසෙන්නේ අප්‍රේල් මාසය පුරා තමයි. නමුත් රංවල බළකාය හැමදාමත් වැඩ. විවිධ ප්‍රසංග එක්ක ලෝකය වටා යනවා. ඒ වගේම බළකායට අලුත් ළමයින් බඳවා ගනිමින් ඇකඩමි එකත් පවත්වාගෙන යනවා.


සහන් ජනප්‍රිය කලාකරුවෙක් නිසා දරුවන් කලාවට යොමු කරයි කියන බලාපොරොත්තු ඇතුව රංවල බළකායට දරුවන් යොමු කරන මවුවරුන් ඇති..?


වයස් සීමාවන් එක්ක කාණ්ඩ කිහිපයකට රංවල බළකායේ සිසුන් ඉගෙන ගන්නවා. රංගනය, කටහඬ පුහුණුව, විතරක් නෙමෙයි විනයක් ඇතිව, රසවින්දනයක් සහිත මිනිස්සු බිහි කරන්නේ. නළු නිළියෝ නිවේදක නිවේදිකාවන් නෙමෙයි බිහි කරන්නේ, බළකාය තුළින් දක්ෂයින් බිහි වෙන එක වෙනම කතාවක් නමුත් වැඩමුළු සඳහා දරුවෝ භාර දෙන්න කලින් මවුපියන් දැනුම්වත් කරනවා මම ඒ දරුවන්ව කලා නිර්මාණ සඳහා සම්බන්ධ කරවන්නෙ නැහැ කියලා. දක්ෂ දරුවෝ දැකලා නිර්මාණ කරුවන් මගෙන් ළමයින් අරන් නිර්මාණ සඳහා සම්බන්ධ කරගෙන තියෙනවා. නමුත් මම පොලඹවන්නෙ නැහැ බළකායෙන් ඉගෙන ගන්න ළමයි තරු කරනවා කියලා. බළකායෙන් බිහිවුණු දරුවෝ බොහෝ දෙනෙක් අද ජනප්‍රිය කලාකරුවන්. ඒත් මම කොහේදිවත් සඳහන් කරන්නේ නැහැ එයාලා බිහි වුණේ මෙතැනින් කියලා. දරුවන්ගේ හැංගිලා තියෙන දක්ෂතා මතු කරනවා මිසක් තරු කරවන බලාපොරොත්තු මම ඇකඩමිය ඔස්සේ දෙන්නෙ නැහැ.


අලුත් වැඩකටයුතු මොනවද..?


නොවැම්බර් 27 තාත්තාගේ 84 වැනි ජන්ම දිනය යෙදිලා තිබ්බා. එදා හෙළ ගීයේ සලකුණ කියලා පොතක් එළිදැක්වුවා. එහි කර්තෘ ප්‍රගීත් ලොකුගොඩ රංවල බළකායේ දරුවෝ එක්ක ප්‍රාසාංගිකව තමයි එය එළිදැක්වූයේ. ඒ වගේම. ආචාර්ය මණ්ඩලය 62ක් සහිත රන්වල බළකායේ ශාඛා පහක් තියෙනවා. එහි වැඩකටයුතු කරගෙන ඉන්නවා. ගිරිරාජ් කෞශල්‍යට ගීතයක් ලිව්වා. ඒවා තමයි මෑතකදී කරපු වැඩ.


රංගනයෙන් වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ නේද ..?


ඉස්කෝලේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනවා. කතුරු මිතුරු චිත්‍රපටයෙත් රංගනයෙන් දායක වුණා. ඒකට හොඳ ප්‍රතිචාර ලබෙනවා. ඇතැම් රසිකයන් චිත්‍රපටයේ ජවනිකා කට පාඩමින් කියලා මතක් කරන අවස්ථා තිබ්බා. ඒ ගැන සතුටු යි. ඒ වගේම කියන්න ඕන චිත්‍රපට සඳහා එතරම් මට ආරාධනා ලැබෙන්නෙ නැහැ කියලා. ආරාධනා ලැබෙන විදිහට නිර්මාණවලට සම්බන්ධ වෙනවා.


සහන් සම්බන්ධ වෙන්නේ බොහො දුරට දීර්ඝ නාට්‍යවලට. වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ඇයි මේ වගේ නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්නෙ කියලා චෝදනා එල්ල කරන පිරිසක් ඇති..?


එහෙම හිතන හා අහන අය ඉන්නවා. ඒත් මගේ තාත්තත් සරල නිර්මාණවලට සම්බන්ධ වුණු කෙනෙක්. එයා කවදාවත් උත්සාහ ගත්තේ නැහැ කලාත්මක නිර්මාණවලට විතරක් සම්බන්ධ වෙන්න. ඔහුට ඕන වුණා සරල නිර්මාණවලින් ජනතාව අතරට ගිහිං ඒ ජනප්‍රියත්වය භාවිත කරලා ඔහු විසින් පවත්වාගෙන ගිය ජන සංගීතය හැමෝම අතරට ගෙන යන්න. මමත් එහෙමයි. මට ලැබෙන ජනප්‍රියත්වය මම භාවිත කරනවා ජන සංගීතය ප්‍රචලිත කරන්න. ලැබෙන ජනප්‍රියත්වය ජන සංගීතයට උදව්වක් හැටියට මම දකින්නෙ. ඒ වගේම ඕනෑම කලාකරුවෙකුට නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ බොහෝ දුරට නිතරම සම්බන්ධ වෙන අධ්‍යක්ෂවරු එක්ක වැඩ කරන්නයි. ඒක ඇත්තටම පහසුයි. මගේ කාර්‍යබහුල ජීවිතේ එක්ක ඒක මටත් පොදුයි. කලාත්මක නිර්මාණවලට ආරාධනා ලැබුණොත් ඒ ගැන සලකා බලන්න බැරිකමක් නැහැ. නමුත් ලැබෙන ආරාධනා සතුටින් භාර අරගෙන සම්බන්ධ වෙනවා.


ඔබේ පියා ඔබවත් ඔබේ සහෝදරයා වත් කලාවට සම්බන්ධ කරගත්තා සේ ඔබත් ඔබේ පුතණුවත් සෙත් ව කලාවට යොමු කළා..?


ඇත්තටම අයියා තමයි මුලින්ම තාත්තා එක්ක එකතු වෙලා වැඩ කරේ. 2002 තාත්තා නැති වුණාට පස්සේ අපි 2007 අවුරුද්දේ රංවල බළකාය නමින් එය තවදුරටත් සවිමත් කළා. අපේ මේ ගමනට අම්මගෙන් වගේම අයියගෙන් උදව් ලැබෙනවා. සෙත් පුතා ගැන කතා කළොත් එයාවත් අපි රන්වල බලකායට සම්බන්ධ කරගෙන එහි සිදු කරන සියලු ඉගැන්වීම් කටයුතු එයාටත් උගන්වලා එයාගේ දක්ෂතා මතු කරගත්තා. එයා අවුරුදු 12දි ඉංග්‍රීසියෙන් පොතක් ලියලා ප්‍රකාශයට පත් කළා. ඒ වගේම පොඩි කාලේ ඉඳලා ගිටාර්, කීබෝඩ් වාදනය කරන්න පුළුවන්. බෙර වාදනය කරන්න පුළුවන්. අපේ කණ්ඩායම හැම අවුරුද්දකම ජපන් සංස්කෘතික සංදර්ශනයට සම්බන්ධ වෙනවා. පුතා බෙර වාදකයෙක් විදිහට සම්බන්ධ කරගෙන තියෙනවා. සෙත් පුතා දැන් ඉගෙන ගන්නේ 10 ශ්‍රේණියේ, ආනන්ද විද්‍යාලයෙන්. එයා සින්දු ලියනවා, ලියන සිංදුවලට තනු සංගීතය සපයලා එයාම ගායනා කරනවා. පොඩි වයසක හිටියත් හැමදේකටම දක්ෂයි. එයා කැමැති ලේඛකයෙක් වෙන්න. ඒත් ලොකු වෙද්දී මොන පැත්තට යොමු වෙයිද දන්නේ නැහැ, යාළුවෝ ඔක්කොම පිටරට ඉගෙන ගන්න යනවා කියලා එයාටත් යන්න ඕන වගේ අදහසකිනුත් ඉන්නවා.


කොහොමද ඔය කාර්‍යබහුල ජීවිතේට ආදරණීය බිරිඳ මෙලනිගෙන් ලැබෙන සහය..?


කෙටියෙන්ම කිවුවොත් මෙලනි කියන්නේ මගෙන් මඟහැරෙන යුතුකම් ඔක්කොම ඉටු කරන මගේ පස්සෙන් ඉඳලා මේ ගමනට හයියක් වුණු කෙනෙක්. මාත් එක්ක නිතරම ඉන්න නිසා එයත් මාත් එක්ක කාර්‍යබහුල වෙලා. මගේ වැඩත් දරුවගේ, ගෙදර වැඩ හැමදේම බලලා කරන්නෙ ඇය. මාව නියෝජනය කරලා මරණ ගෙවල් මඟුල් ගෙවල් උත්සවවලට සම්බන්ධ වෙන්නෙ මෙලනි. මම ඒ කාලේ කාර්‍යබහුල වෙද්දී ඇය කිව්වා මට ඕන පවුලක් කියලා. එහෙම කියපු ඇයත් දැන් මාත් එක්ක කාර්‍යබහුල ජීවිතයක් ගත කරනවා. කොහොම නමුත් අපි පවුලක් හැටියට සතුටින් ජීවත් වෙනවා.


සතුටින් ජීවත් වුණත් දැන් මුල් කාලේ සහන්ව විවාහ කරගත්තේ අපරාදේ කියලා කියන්න ඇති..


මුලින්ම අපි කොන්දේසි දාගත්තා. මම කිවුවා මට වඩා ඕන තරම් ඔයාට හොඳ අය ගැළපෙන අය ඇති, මටත් එහෙමයි එහෙම හිතාගෙන අපි පවුල් ජීවිතේ ගත කරමු කියලා. රණ්ඩු වෙනවා. එතකොට මම කියනවා දැන් බිසී ඒ නිසා අපි රණ්ඩු වෙන්න බ්‍රහස්පතින්දා දාගමු කියලා දවසක් දාගන්නවා. ඒ වෙද්දී රණ්ඩු කරන්න හොයා ගත්ත හේතුත් අමතකයි දෙන්නටම. ඉතිං ඒ විදිහට හිනා වෙලා දවස ගෙවනවා. ඒකට තමයි ජීවිතේ කියන්නේ.


ජනප්‍රිය වෙන්නත් කලින් මුණගැහුණු ප්‍රේමයක් ඔබට තියෙන්නේ ..?


ඔව් පාසල් ප්‍රේමයක්. අපි ඉස්කෝලේ යන කාලේ නාට්‍ය වැඩමුළුවකට ගිහිං දෙන්නා මුලින්ම දකින්නේ. ඊට පස්සේ එයාගෙ පස්සෙන් ගිහිං ආදරේ අහලා ආදරේ කරලා විවාහ වුණේ.


සහන් දැන් ඔහොම කිවුවට ඔබ ආදරේ ප්‍රකාශ කරද්දී මෙලනි කැමති වුණේ අකමැත්තෙන් කියනවා..?


එයත් මට එහෙම තමයි කිවුවේ. ඔයා ආදරේයි කියද්දි මම ඔයාට කැමති වුණේ අකමැත්තෙන් කියලා.


එහෙම කැමති වෙන්නත් හේතුවක් තියෙනවා නේද ..?


ඔව් නේ. එයා හිතලා තියෙන්නේ මම චන්ඩියෙක් කියලා. එයා කැමති වුණේ නැත්තම් මම තර්ජනය කරයි කියලා මෙලනි හිතලා. එහෙම හිතන්න හේතුව මම ක්ලාස් ගියේ නුගේගොඩ. මට යාළුවෝ විස්සක් විතර හිටියා. මේ ඔක්කොම ක්ලාස් ඇරිලා යන්නේ මාත් එක්ක. කොල්ලො ගොඩක් එක්ක පාරේ යද්දී එයාට මාව පෙනිලා තියෙන්නේ චන්ඩියෙක් වගේ. ඉතිං මම ආදරෙයි කියලා එයාට කියලා එයාගෙන් උත්තරයක් බලාපොරොත්තු වුණු මොහොතක කිවුවේ හරි එහෙම නම් මම කැමති වෙන්නම් කියලා විතරයි. එතැනින් තමයි කතාව පටන් ගත්තේ. ඒ කතාව තවම ගලාගෙන යනවා.


හර්ෂණී වීරරත්න




Previous Post Next Post