මාව කියවන්න පුළුවන් මනුස්සයෙක් මට මුණගැහුණා - ඩිලුෂි හංසිකා



 ඩිලුෂි... අලුත් ජීවිතයට අපගේ සුභපැතුම්.... ඉතින්, අලුත් ජීවිතේ කොහොමද?


අපේ අලුත් ජීවිතයට සුභපැතුම් එකතු කළාට ගොඩක් ස්තූතියි. අලුත් ජීවිතේ හොඳයි. මම බොහෝම සතුටින් ඉන්නවා. අපි නොවැම්බර් මාසේ විසිතුන් වැනිදා අපේ විවාහය ලියාපදිංචි කළා. ඒක බොහෝම හදිස්සියෙන් ගත්ත පුංචි ලස්සන උත්සවයක්.


 තමන්ගේ ජීවිතේ සුන්දර ලස්සන දවස ඒ විදිහට හදිසියෙන් ගත්තේ ඇයි?


අපේ විවාහය ලියාපදිංචිය දවස් හතෙන් තමයි සූදානම් කළේ. අපි නැකැත් බලද්දී දෙසැම්බර් මාසෙ හොඳ නැකැතක් තියෙනවා කියලා කිව්වා. මට Indian Buddhist වෙඩින් එකක් ගන්න ලොකු ආසාවක් තිබුණා. සම්පූර්ණයෙන්ම ඉන්දියන් බෞද්ධ විවාහ උත්සවයක් ගන්න උවමනාවක් තිබුණා. ඒ වෙනුවෙන් මම හරිම ආසා කළේ කොළඹ ගංගාරාම පන්සලේ මගේ විවාහය සිදුකරන්නයි. හැබැයි දෙසැම්බර් අපිට නැකැත දීපු දවසම ගංගාරාම පන්සල සම්පූර්ණයෙන්ම වෙනත් විවාහ උත්සවයකට වෙන්වෙලා තිබුණා. අපේ නැකැත් බලපු කෙනා නොවැම්බර් විසිතුන් වැනිදාට ගොඩක් හොඳ නැකැතක් තියෙනවා කියලත් මුලින් කිව්වා. අපි දවස් ළඟ නිසා තමයි දෙසැම්බර් මාසයට ගන්න හිතාගෙන හිටියේ. කොහොම හරි දෙසැම්බර් මාසෙ නැකැත් දවසේ ගංගාරාම පන්සලේ ගන්න බැරිනම් අපි නොවැම්බර් මාසේදී ගමු කියලා තීරණය කළා. කොහොමටත් නොවැම්බර් මාසේ විසිතුන්වැනිදා අපේ අම්මාගේ උපන්දිනේ. මගේ උපන්දිනය නොවැම්බර් විසිවෙනිදා. ඒ ඔක්කොම හොඳ දවස් නැකැත් දවසෙ වටේ තියෙන නිසා අපි නොවැම්බර් විසිතුන්වෙනිදා ලෑස්ති වුණා.


 ඩිලුෂිට ඒ විදිහේ Indian Buddhist මනමාලියක් වෙන්න හිතුණේ ඇයි? 


මම කොහොමත් බෞද්ධ කෙනෙක්. මම ගොඩක් මනමාලි දැක්මවල්වලදී සැරසිලා හිටියා. ඒ ගොඩක් අවස්ථාවලදී උඩරට මනමාලියකට තමයි වැඩිපුර හැඩවෙලා තිබුණේ. ඒ නිසා මට වෙන විදිහකට අඳින්න ආස කළා. ඉන්දියන් විදිහට අපි හැඩවෙලා ඒක වෙනස්ම විදිහකට ඉන්න අපිට පුළුවන් වුණා කියලා මම හිතනවා.


Q ඉතින් ඩිලුෂිගේ මනමාලයා ගැනත් කියමු...?


එයාට අපි ආදරයට සෝනු කියලයි කියන්නේ. එයා සුරේන්. ඇත්තටම සෝනු හරිම හොඳයි. එයාට හොඳ ගතිගුණ තිබෙනවා. ඒ නිසාම බොහෝ ටික කාලයකින් අපි අපේ විවාහය ලියාපදිංචි කළා. එයා ව්‍යාපාරිකයෙක්. එයාගේ ව්‍යාපාර කටයුතු කරගෙන මේ පොළොවේ පය ගහලා ජීවත්වෙන සාමාන්‍ය කෙනෙක්.


Q සුරේන්ව මුණගැහුණේ කොහොමද?


අපි දෙන්නා ප්‍රසංගයක් බලන්න ගිහින් තමයි මුලින්ම මුණගැහුණේ. අපි දවසක් විහාර මහා දේවි එළිමහන් රඟහලේ ප්‍රසංගයක් බලන්න ගියා. මම මගේ යාළුවෝ එක්ක ඒකට ගියා. සෝනුත් එයාගේ යාළුවෝ, එයාගේ අයියලා එක්ක ඒ ප්‍රසංගය බලන්න ඇවිත් හිටියා. අපි දෙගොල්ලෝ ළඟ ළඟමයි හිටියේ. අනිත් අය ඉස්සරහ තියෙන ප්‍රසංගය බලද්දී එක පිරිමි ළමයෙක් එක දිගටම මම දිහා බලාගෙන ඉන්නවා කියලා මට දැනුණා. මම එයා දිහා බලද්දී කිහිප සැරයක්ම එයා මාත් එක්ක පොඩ්ඩක් හිනාවුණා. හැබැයි ප්‍රසංගය බලනවාට වඩා ඒ පිරිමි ළමයා මං දිහා බලාගෙන ඉන්නව වැඩියි කියලා මට තේරුණා. මගේ ජීවිතේට ඒ තරම් වෙලාවක් මම දිහා බලාගෙන කවුරුවත් හිටියේ නැහැ. මගේ යාළුවොත් ප්‍රසංගය බලන එක පැත්තකින් තියලා ඒ බැල්මට හිනාවුණා. එයා ඒ වෙද්දී මම රඟපාන කෙනෙක් කියලා කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. එයාගේ යාළුවෙක් මම ගැන කියලා තිබුණා. සෝනු මගේ නම fb එකෙන් සර්ච් කරලා බලද්දී මෙයාගේ හොඳම යාළුවෙක් මගෙත් හොඳම යාළුවෙක්. සෝනු ඉරේෂා කියන ඒ යාළුවට මම ගැන අහලා මැසේජ් කරලා. දවසක් ඉරේෂාගේ ෆෝන් එකෙන් සෝනු එක්ක කතා කළා. ඒක තමයි අපේ මුණගැහීම වුණේ. නොවැම්බර් පහළොස්වෙනිදා සෝනුගේ ගෙදරින් අපේ ගෙදරට ආවා. අපේ ගෙදරින් නොවැම්බර් දාහත්වෙනිදා එයාලාගේ ගෙදර ගියා. නොවැම්බර් විසි තුන්වෙනිදා අපේ විවාහය ලියාපදිංචි කළා.


Q ජීවිත කාලයටම සුරේන්ව ජීවිතයට ළංකර ගන්න ඔහු ළඟ තිබුණ ඩිලුෂි දැකපු විශේෂත්වය මොකක්ද?


එයා හරිම සාමාන්‍ය මනුස්සයෙක්. මේ අපි ඉන්න ක්ෂේත්‍රයත් එක්ක අපිට විවිධ මිනිසුන්ව මුණගැහෙනවා. ඒ අතරින් සමහරුන් ඒ අයගේ බලය පෙන්නනවා. සල්ලි පෙන්වනවා. ලස්සන පෙන්වනවා. ඒ වගේ දේවල් වලින් සමහරවිට අපිව ආකර්ෂණය කරගන්න උත්සාහ කරනවා. හැබැයි කිසිම දවසක සෝනු මට ඒ බලය, සල්ලි පෙන්නුවේ නැහැ. ඔහු හරිම සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ජීවිතේ වින්දා. ඕනෑම දෙයක් එයා එක්ක කතා කරන්න පුළුවන්. මම හරියට කියවන කෙනෙක්. සෝනු ඒ හැමදේම අහගෙන ඉන්නවා. මම පොඩි දෙයක් ලොකුවට හරියට හිතන ළමයෙක්. සෝනු මේ පොඩි කාල සීමාවේදී මාව හොඳට තේරුම් ගත්තා.


Q ඔයා රංගන ශිල්පිනියක් කියලා සුරේන් මුලදී දැනගෙන හිටියේ නැහැනේ. දැන් දන්නවා. ඩිලුෂි රඟපානවාට සුරේන් කැමැතිද?


එයා මාව දකිනකොට, මම දිහා එක දිගට බලාගෙන ඉන්නකොටවත් මම නිළියක් කියලා එයා දන්නේ නැහැ. මම ඒ නොදැන සිටීමට කැමැතියි. එයා ආදරය කළේ ඩිලුෂි කියන නිළියට නෙමෙයි. එයා වැඩිය රෑපවාහිනිය බලන කෙනෙක් නෙමෙයි. මම රඟපානවා කියල දැනගත්තට පස්සේ එයා ඒවා බලලා තිබුණා. හැබැයි කවදාවත් මට මේ දේවල් කරන්න එපා කියලා කියන්නේ නැහැ. කොහොමටත් මම වැඩිය හැම දෙයක්ම බාරගන්න කෙනෙක් නෙමෙයි.


Q මේ දිනවල ''වර්ෂා ටීචර්ට'' හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති?


ඔව්. මේ දවස්වල ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක අධ්‍යක්ෂණය කරන නිදුක් මධුෂික තිර රචනා කළ ''සැලෙනා නුවන්'' ටෙලිනාට්‍යය විකාශනය වෙනවා. පසුගියදා එම නාට්‍යයේ සියවැනි කොටස වෙනුවෙන් උත්සවයක්ද පැවැත්වුණා. ඒ නාට්‍යයේ මම රඟපාන ''වර්ෂා'' ටීචර්ගේ චරිතයට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පුංචි ළමයි පාරේදී දැක්කත් ''වර්ෂා ටීචර්'' කියලා කතා කරනවා. ඒ ගැන මට සතුටුයි.


Q සුරේන් මුලින්ම දීපු තෑග්ග මතකද?


සෝනු මට මුලින්ම රෝස මලක් දුන්නා. එයා මට එදා චොක්ලට් ගොඩක් ගෙනැත් දුන්නා. මගේ උපන්දිනයට තෑගි ගොඩක් දුන්නා. සෝනුට මම මුලින්ම ෂර්ට් එකක් තෑගි කළා.


Q ඊළඟ බලාපොරොත්තුව මොනවාද?


බොහෝ විට ලබන වසරේ අපේ විවාහය සිදුවෙනවා. මේ වෙද්දී මගේ උපාධිය සම්පූර්ණ කරලා අවසන්. ඉතින් උසස් අධ්‍යාපනයට, මගේ විශාරද උපාධියට විදෙස්ගත වෙන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.


I දිශානි ජයමාලි





Previous Post Next Post