රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රය තුළ රසික හදවත් දිනා සිටි ඇය අද වන විට ගායන ශිල්පිනියක් ලෙසින්ද රසිකයන් අතරට පැමිණෙනවා. මෙවර හදගැස්ම අපත් සමඟ කතා බහට එක් වූ ඇය නමින් ෂෙහානි කහඳවල
ඉතින් ෂෙහානි මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?
මේ දවස්වල මම නාට්‍යවලින් ටිකක් ඈත් වෙලා සංගීතය පැත්තට අවධානය දීලා තිබෙනවා. ළඟදිම අලුත් ගීතයක් එන්න තිබෙනවා. ඉතින් ඒකෙ වැඩකටයුතු කරගෙන යනවා.
ඔබේ සංගීත වැඩ කටයුතු සමඟ රංගන කටයුතු මඟහැරිලද?
රංගනයෙන් ඉවත් වෙන අදහසක් නම් නැහැ. මට පුළුවන් විධියට සංගීතයයි, රංගනයයි දෙකම කරගෙන යන්න තමයි බලාපොරොත්තුව. නමුත් මේ ටිකේ ටිකක් සංගීතය පැත්තට අවධානය යොමු කරලා තිබෙනවා. මොකද මට ඒ පැත්තත් හරියටම කරගන්න ඕන නිසා. සංගීතය කියන්නේ මම පොඩි කාලේ දැකපු හීනවලින් එක හීනයක්. ඉතිං මම හරි ආසයි සංගීතයට. මට නිළියකට වඩා ගායිකාවක් වෙන්න ඕන වෙලා තිබුණේ. ඉතිං ඒ සිහිනය සැබෑ වුණාම, ඒ හැකියාව දැන් මම ළඟ තිබෙන නිසා මට හිතුණා, දැන් මම සංගීතයට අවධානෙ දෙන්න ඕන කාලේ හරි කියලා. ඉතින් මේ ටිකේ ගීතවල වැඩ ටික කරගෙන යනවා.
කලා ක්ෂේත්රය තුළ කටකතා හැදෙන්න තිබෙන ඉඩ වැඩියි. එවැනි තත්ත්වයකදි ඔබ ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?
කටකතා හැදෙනවා කියන එක හරිම සාමාන්‍ය දෙයක්. කලා ක්ෂේත්රය තුළ විතරක් නෙවෙයි ජොබ් එකක් කරනව නම් එතැනත් කටකතා හැදෙන්න පුළුවන්. එතැනත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් සහ ක්ෂේත්‍රය ඇතුළෙදි කටකතා කියන දේ වැඩියි. කටකතා කියනදේ අපිට අලුත් දෙයක් නෙවෙයි. පොඩි කාලෙත්, ලොකු කාලෙත්, වයසට ගියාමත් කටකතා හැදෙනවා. සමහරක් වෙලාවට වැරැදි කටකතා හැදෙනවා. සමහරක් වෙලාවට හොඳ කටකතා හැදෙනවා. ඉතින් වැරැදි කට කතා හැදුණොත් මම කතා කරන්න යන්නේ නැහැ. හොඳ කටකතා හැදුණොත් මම ඒක ඇත්තටම හොඳ හිතින් විඳිනවා. නරක කටකතා හැදුණොත් ඒකත් මම විඳිනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඒවට උත්තර දෙන්න යන්නේ නැහැ. මම ඒවා ඇඟට ගන්නේ නැහැ. යම් යම් දේවල් නිසා මම දුක් වෙන්නෙවත් කඩාගෙන වැටෙන්නෙවත් නැහැ. මම කටකතාවලට බය නැහැ. කවුරු හරි මේ ක්ෂේත්‍රයට එන්න කැමැත්තෙන් සිටිනව නම් කටකතාවලට බය නොවී ක්ෂේත්‍රයට එන්න. කටකතාවලට බයේ නෑවිත් ඉන්න එක නම් අපරාදෙ. ඉතින් කටකතාවලට බයවෙන්න නම් කිසිම හේතුවක් නැහැ.
ඔබ අපේක්ෂා කරන ආකාරයට කලා ක්ෂේත්රය තුළ කුමන ආකාරයේ වෙනසක් විය යුතුද?
වෙනස්කම් කියන්නේ ඉතින් කලාව ඇතුළේ මිනිස්සු ගොඩක් කුහකයි. කලාකාරයෝ අපි හරි නිදහස් අපි හරි නිහතමානී කියලා කොච්චර කිව්වත්, ඔවුන්ව මුහුණට දකින විටදී පමණයි ඔවුන් නිහතමානී. හරි අහිංසක, නිහතමානි, අවංකයි වගේ පෙනෙන හැම කෙනෙක්ම එහෙම නැහැ. සංගීත ක්ෂේත්‍රයට එනකොට මම හිතන්නේ මට වෙන්නැති ලංකාවෙ මෙච්චරටම මඩ ගහන්නේ. නමුත් ඉතින් මම නම් ඒවා ගනන් ගන්නේ නැහැ. ඉතින් ඒක එක පැත්තකින් හරි කනගාටුයි. කලාව තුළ ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න නිදහසක් තිබෙනවා. කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කියන්න බැහැ. ඉතින් මම මගේ පාඩුවේ මගේ වැඩ ටික කරගෙන යනවා. ක්ෂේත්‍රයේ සිටින සමහර අය නිසා, ඒ අයගේ කුහකත්වය නිසා ඇත්තටම කලාව කියන දේ කැතවෙනවා. මම මගේ හිත හොඳයි කියලා සුද්ද වෙන්න හදනවා නෙවෙයි. නමුත් මගේ හිත හොඳයි. ඒ වගේම කලාව ඇතුළෙ හිත හොඳ,
අනෙත් අයට සපෝර්ට් කරන, අනිත් අයගේ දේවල් අගය කරන මම වගේ තව කීපදෙනෙක් ඉන්නවා. තව ගොඩක් අය ඉන්නවා හරිම ඉරිසියාවෙන්, වැටෙනකම් බලාගෙන ඉන්න. බොරුවට තමන්ගේ දුක කියලා තමන්, හරිම සීනියර් වගේ ඉන්න අයත් ඉන්නවා. නමුත් ඇත්තටම ඔවුන් සීනියර් නැහැ. මම සීනියර් අයට ගොඩක් ගරු කරනවා. දැනට මම කවුරු මඩ ගැහුවත් කවුරු මොන දේ කළත්, ඒ අයගේ කුහකත්වය ඒ අයගේ කුරිරුකම්, ඒ අය හැදිච්ච විධිය. මම හැදිච්චි විධිය එක්ක මම හරිම ශාන්ත විධියට ඉන්නෙ ඉතින් මගේ දේවල්වලට මම අවධානය දෙමින් මගේ වැඩ ටික මම කරගෙන යනවා.
ඔබ කලා ක්ෂේත්රය තුළ සිටින අයකු විධියට කලාවට පැමිණෙන නවකයන්ට ක්ෂේත්‍රය පිළිබඳ මඟ පෙන්වීමක් කළොත්?
කලාව කියන්නේ ඕනම කෙනෙක්ට ඉන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැති හරිම සුන්දර තැනක්. නමුත් අපේ කලා ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි, සෑම තැනකම ගොඩක් අයගේ විවිධාකාර වෙස් මුහුණු තිබෙනවා. ලංකාවෙ, බොලිවුඩ් හෝ හොලිවුඩ් වෙන්න පුළුවන් ඕනම කෙනෙක් වෙස් මුහුණු සියයක් පමණ දමාගෙන සිටිනවා. ඉතින් අපි දැනගන්න ඕනේ මොළේ පාවිච්චි කරලා, අපි මේ කලාවට ආවේ මොකටද, මගේ වැඩේ මගේ ටැලන්ට් එක පෙන්න ගන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කරන්න. කිසිම දෙයක් පෞද්ගලිකව ගන්නේ නැතිව, තමන් තැනකට ගිහින් හරි වැදගත් විධියට තමන්ගේ වැඩේ කරගෙන, කිසිම දෙයකට පෞද්ගලිකව බැඳෙන්න යන්නේ නැතිව, තමන්ගේ ගමනට ඉලක්කයක් තබාගන්නවා නම් හිමින් සැරේ ඉස්සරහට යන්න පුළුවන්. මම විශ්වාස කරනවා ඒක නිසා තමයි මම අවුරුදු ගාණක් ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්නේ ඒ නිසා කියලා.
අද වන විට නවක රංගන ශිල්පීන්ට ක්ෂේත්‍රයට පැමිණීමට විවිධ අවස්ථාවන් පවතිනවා. ඒ ගැන ඔබේ අදහස?
එහෙම අවස්ථාව තිබෙන එක ඇත්තටම හොඳයි. තමන්ගෙ හැකියාවන් දක්ෂතාවන් පෙන්නන්න ඒක හොඳ අවස්ථාවක්.එහෙම විවිධ අවස්ථාවන් තිබෙන එක මම ඇත්තටම අගය කරනවා. මම ක්ෂේත්‍රයට ආවේ ටැලන්ට් ෂෝ එකකින්වත්, සමාජ මාධ්‍යවලින් ජනප්‍රිය වෙලාවත් නෙවෙයි. මම ක්ෂේත්‍රයට ආවෙ රූපවාහිනිය හරහා. ඉතින් මගෙන් පස්සේ එන පරම්පරාවට මට කියන්න තියෙන්නේ ඒ අය ගොඩක් වාසනාවන්තයි. ගොඩක් අය කියයි දැන් ඉන්න අයට නම් බොහොම ලේසියෙන් ක්ෂේත්‍රයට එන්න පුළුවන් කියලා.නමුත් එහෙම එකක් නැහැ. මොන දේ වුණත් අමාරුයි. තමන් සබඳතා ගොඩනඟාගෙන, පසුබිම හදාගෙන, ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් අරගෙන, මිනිස්සු අඳුරගන්න එක හරිම අමාරු දෙයක්. ඉදිරියටත් කිසිම දෙයක්
ලෙහෙසි නැහැ.ඉතින් තාක්ෂණය දියුණුවත් එක්ක ඉස්සරහට තව තව විවිධ අවස්ථාවන් බිහිවෙන්න පුළුවන්. ඉතින් ඒ අයට ගොඩක් අවස්ථාවන් බිහි වෙන්න පුළුවන්. අපිත් මේ ක්ෂේත්‍රය තුළ ඉන්න ලැබීම ලොකු වාසනාවක්. අලුතෙන් ප්ලැට්ෆෝම්ස්වලට එන අයට ඒ අයගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් හොඳම තැනක් තමයි සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍ය හරහා ගොඩක් මිනිස්සුන්ට කිට්ටු වෙන්න පුළුවන්.තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න ඒක ගොඩක් වටිනා අවස්ථාවක්.
ඉදිරිවැඩ කටයුතු ගැනත් කියමු?
ඇත්තටම සංගීතය පැත්තෙන් ගොඩක් ඉදිරියට යන්න ලොකු ආසාවක් තිබෙනවා. ඉතින් ඒ වැඩකටයුතු කරගෙන යනවා සහ ඉස්සරහට ගොඩක් පිටරට ප්‍රසංගවලට ආරාධනා ලැබිලා තිබෙනවා. ඉතින් ඉස්සරහට ටිකක් කාර්යබහුලයි.
නයෝමි ෂර්මිලා