රහස් කියන ඒ කන්දට නරකක් කියන කෙනෙක් තාම හමුවුණේ නෑ - සම්පත් ජයවීර



වසර ගණනාවකට උඩදී රූගත කළා, ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ ''රහස් කියන කඳු'' නිර්මාණයට සම්පත් දායක වුණේ ඒ පිටපත කෙරෙහි තිබුණ විශ්වාසය නිසාද? ජගත් මනුවර්ණ කෙරෙහි තිබුණු විශ්වාසය නිසාද...?


''රහස් කියන කඳු'' චිත්‍රපටය රූගත කිරීම් සිදුවුණේ 2017 අවුරුද්දෙදියි. ඇත්තම කිව්වොත් ඒ නිර්මාණයට ඔබ කියූ කරුණු දෙකම හේතු වුණා. ජගත් මනුවර්ණ කෙරෙහි මා තුළ තිබුණ විශ්වාසය මූලිකම විශ්වාසය වුණා. ජගත්, අපි කාලයක් තිස්සේ එකටම හිටපු පිරිසක්. මෙය නාමල් ජයසිංහ සහ ජගත් මනුවර්ණ එකතුවෙලා කරපු පිටපතක්. ජගත් මේ පිටපත සම්බන්ධයෙන් බොහෝ වැඩකළා. ඒ නිර්මාණය ඈඳුණු කෙටි චිත්‍රපට කිහිපයක් කළා. ඒ කෙටි චිත්‍රපට කිහිපයම තමයි දැවැන්ත සාර්ථක නිර්මාණයක් ලෙසින් වර්ධනය කළේ. ඒ වැඩ ගැන වගේම ජගත්ගේ අරමුණ, ජගත්ගේ හැකියාව දන්න නිසාම මමත් නිර්මාණයට සම්බන්ධ වුණා. අපි එකට කතාකරපු දේවල් තිබුණා. අපිට එකට කරන්න වැඩ තිබුණා. ඒ නිසාම මේ නිර්මාණයට සම්බන්ධ නොවී සිටීමට මට කිසිම හේතුවක් තිබුණේ නැහැ. බැරිවෙලාවත් මේ නිර්මාණයට මම එදා සම්බන්ධ නොවුණා නම් අද මම සෑහෙන්න දුක් වේවි.


Q මේ ප්‍රබල පිටපත නිර්මාණයක් බවට පත් කරද්දී ලබපු අත්දැකීම් කොහොමද?


ඇත්තම කිව්වොත් සමස්ත වැඩේම ලොකු අත්දැකීමක්. ජගත් වගේ පළමු වතාවට චිත්‍රපටයක් කරන අධ්‍යක්ෂකවරයෙක්ට චිත්‍රපටයක් පහසුවෙන් කරගෙන යන්න පුළුවන් පිරිවැයක් යොදවන්න පුළුවන් නිෂ්පාදකයෙක් සොයාගැනීමම ලොකු අභියෝගයක්. ජගත් සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් මහන්සි වුණා. මේ චිත්‍රපටය ඉතාම ප්‍රබලයි. අපි මේ නිර්මාණයට එකතු වුණේ ලැබෙන මුදල ගැන බලාපොරොත්තුවෙන් නෙමෙයි. මේ ප්‍රබලකම නිසාමයි. ඒ කැපකිරීම නිර්මාණයට දායක වෙන්න හිටපු හැමෝගෙම හිත්වල තිබුණා. රූගත කිරීම් කරන්නට ගියාට පස්සේ අපිට පහසුවෙන් ඒ කාලය ගතකරන්න ජගත් ඇතුළු ඒ සමස්ත කණ්ඩායම හදලා තිබුණා. සීමිත පිරිවැයක් ඇතුළේ වුණත් අපි බොහෝම පහසුවෙන් හා සතුටින් ඒ කාලය ගත කළා. රූගත කිරීම් කරද්දී වුණත් අපිට ලොකු වෙහෙසක් නොදැනෙන විදිහට ජගත් ඇතුළු සමස්ත කණ්ඩායමම ඉතාම ඉහළින් වගබලා ගත්තා. අපි කොළඹ වගේම ගලහා ප්‍රදේශයේ රූගත කිරීම් කළා. ගලහ කියන්නේ ජගත්ගේ ගමයි. කාලයක් තිස්සේ දන්න කියන යාළුවෝ පිරිසක් අපි රංගන ශිල්පීන් ලෙසින් මේ නිර්මාණයට සම්බන්ධ වුණා. අපි පොඩි කොටේජ් එකක සුන්දරව ගත කළා. බාධක තිබුණා. ඒ බාධක නැත්තේ නැහැ. ඒ සියල්ල තිබියදීත් දින පහළොවක් විස්සක් අතර දින ගණනකින් රූගත කිරීම් කරලා අපි කොළඹ ආවා.


Q සම්පත් මීට පෙර විවිධ අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණවලට දායක වෙලා තිබෙනවා. ''රහස් කියන කඳු'' ජගත් මනුවර්ණගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයයි. අධ්‍යක්ෂවරයෙක් ලෙස ජගත් මනුවර්ණ සම්පත්ට දැනෙන්නේ කොහොමද?


ඇත්තටම ජගත් මනුවර්ණ කියන්නේ ඉතාම හොඳ අධ්‍යක්ෂවරයෙක්. මට හිතෙන විදිහට නළුවෙක්ටත් වඩා ඔහු ඉතා සාර්ථක අධ්‍යක්ෂවරයෙක්. ඔහුට හොඳ ඥානයක් තිබෙනවා. ඒක ඉබේ පහළ වෙච්චි දෙයක් නෙමෙයි. ඔහු මේ චිත්‍රපටය කරන්නට කාලයක් තිස්සේ හැදෑරීම් කළා. අපි සංවාද පවත්වමින්, රස්තියාදු ගසමින් දැනුම හොයාගෙන ගිය පිරිසක්. ජගත් ඔහුටම අනන්‍යතාවයක් තිබෙන වෙනම ගමනක් ආවා. ඔහු ඇත්තටම හොඳ අධ්‍යක්ෂවරයෙක්.


 ''රහස් කියන කඳු'' මේ වෙද්දී තිරගත වෙනවා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක සම්පත්ට මොකද හිතෙන්නේ?


ඉතා හොඳ ප්‍රතිචාර මේ නිර්මාණය නරඹපු අයගෙන් ලැබෙනවා. කොළඹ ආශ්‍රිත සිනමාහල්වල චිත්‍රපටය House Full වෙලා තිබෙනවා. ඒක ඉතාම සතුටක්. ජගත් මේ වෙද්දිත් ''Goa'' Film Festival එක නියෝජනය කරමින් ඉන්නේ. ඒ වගේම විවිධ ජාත්‍යන්තර උළෙලවල්වලදී චිත්‍රපටය නියෝජනය වෙනවා. තවමත් චිත්‍රපටයට නරකක් කියන කෙනෙක් මුණගැහිලා නැහැ. තිරගත වීම් ආරම්භ වුණ මේ සුළු කාලය තුළදී ඉතාම හොඳ ප්‍රතිචාර ලැබිලා තිබෙනවා.


Q අවසන් වුණත් තවමත් ''කොඩි ගහ යට'' මිනිසුන්ට මතකයි. මොකද හිතෙන්නේ?


ඇත්ත. ස්වාධීන රූපවාහිනියේ ඉහළම ප්‍රතිචාර ලැබුණ ටෙලිනාට්‍ය කිහිපයට ''කොඩි ගහ යට'' නිර්මාණයත් අයත් වෙනවා. ඒකත් සතුටක්. අපි ඒකේදීත් වැඩ කරද්දී ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දෙමින් වැඩකළත් අවසානයේදී ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් ඒ ආකර්ෂණයත් එක්ක ඉතාම හොඳ ප්‍රතිචාර තවමත් ලැබෙනවා. එයත් ජගත් මනුවර්ණගේ හරි අපූරු නිර්මාණයක්. මුළු ටෙලිනාට්‍යයේම මට මතක හැටියට මම දර්ශන විස්සකට විතර තමයි දායක වුණේ. එහෙම වුණත් මම රඟපාපු චරිතයට වගේම ඊටත් වඩා සුළු චරිතයකට රඟපෑවත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. මිනිස්සු ඒ හැමදේම ඉතාම සූක්ෂමව නරඹලා තිබුණා... වර්තමානයේදී ටෙලිනාට්‍යවලත් ඒ වෙනස කරන්න ලැබීම ගැන සතුටුයි. අපි ක්ෂේත්‍රයට පා තබන කාලයේදී තමයිමේ මෙගා රුල්ලක් ආරම්භ වුණේ. ඒ රුල්ලට පය නොගසා අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි ඒවා කළා. හැම නාලිකාවකම තරගයට වගේ මෙගා නාට්‍ය විකාශනය කළා. නමුත් අපේ පරම්පරාවෙන් බිහිවුණ ජගත් ඇතුළු යම් අධ්‍යක්ෂවරුන් පිරිසකට ඒක වෙනස් කරන්න පුළුවන් වුණා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ රුල්ලට අභියෝගයක් කරමින් නිර්මාණ කරන්න පුළුවන් වීමම ලොකු ජයග්‍රහණයක්. රුල්ලක් ආවහම ඒක මැඩපවත්වන්නට ලෙහෙසි නැහැ.


Q මේ දිනවල සම්පත් වේදිකා නාට්‍ය එක්ක රට වටේ යනවා නේද?


ඔව්. මේ වෙනකොට මම දායක වෙන රාජිත දිසානායකගේ ''2019 ජූලි මාසයේ දවසක්'' වේදිකා නට්‍යය පසුගිය දිනවල රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් දවසේ නැවතත් වේදිකා ගත කළා. ඒ වගේම ධර්මප්‍රිය ඩයස්ගේ ''මම නෙවෙයි වෙන කෙනෙක්'' නාට්‍යය වේදිකා ගතවෙනවා. සුජීව ප්‍රියලාල්ගේ නිර්මාණයක් වුණ ''ලෝරන්ස්ගේ මනමාලි'' මේ නවවන අවුරුද්ද ගත වෙන්නේ. එයද වේදිකා ගත වෙමින් තිබෙනවා. ඒ නාට්‍ය තුනත් එක්ක හැම සති අන්තයේම කොහේ හරි දර්ශනයක කාලය ගතවෙනවා.


Q ඒ කියන්නේ මේ දවස්වල සම්පත් කාර්යබහුල කලාකරුවෙක්...?


ඔව්. අතිශය කාර්යබහුලයි. ඒ කාර්යබහුලත්වයට මම කැමැතියි. මේ දිනවල අවිවේකී බවක් තිබෙනවා. නමුත් ඒකට මම කැමැතියි. අපි එහෙම වෙන්න කැමැති නිසා තමයි මේ ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නේ. කාර්යබහුල වන නළුවන් වෙනවට අපි කැමැතියි. මාසයකට දවස් හතරක් පහක් වැඩ කරලා දවස් විස්සක් විසිපහක් ගෙදරට වෙලා ඉන්නවාට වඩා කාර්යබහුල වෙනවට මම කැමැතියි.


 දිශානි ජයමාලි





Previous Post Next Post