අසංක සායක්කාරගේ සින්ටෝ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන්ට මේ දෙන්නව අමුතුවෙන් හඳුන්වාදෙන්න ඕනෑ නැහැ කියලයි අපිට හිතෙන්නේ. මොකද සින්ටෝ බලන හැමෝම දන්නවා සිතාරා නන්දේගේ කතාව. හැබැයි අද අපි ඔයාලට කියන්න යන්නෙ සිතාරා නන්දේගේ සැබෑ ආදර කතාව. ඔයාල තවම දන්නේ නැහැ නේද ඒ කතාව මොකක්ද කියලා. එහෙනම් ඒ කතාව දැනගන්න මේ කතාව කියවලා බලන්න.
තිළිණි ජයමාලි සින්ටෝ ටෙලිනාට්‍ය හින්දා හරි ජනප්‍රියයි ?
සින්ටෝ නාට්‍යය මේ මොහොතේ ජනප්‍රියවෙලා තියෙන එක ගැන හරි සතුටුයි. මොකද ඒක අපි හරි ආසාවෙන් භාර ගත්තු වැඩක්. ඒක හරි වෙනස් වැඩක්. මේ මොහොතේ මට බැනුම් අහන චරිතයක් වෙලා තියෙන්නේ. මිනිස්සු අතර සිතාරා තවම සුදු චරිතයක් වෙලා නැහැ. නමුත් මම ඒ ප්‍රතිචාරවලට කැමැතියි.
සිතාරා හින්දා බැනුම් එමටයි වගේද?
ඔව්. යූ ටියුබ් කමෙන්ට්වලින් තමයි අපිට ඒ ප්‍රතිචාරය දැනගන්න වෙන්නේ අපේ මොකක් හරි දර්ශනයක් විකාශනය වුණු දවසට ගොඩක් හොඳ ප්‍රතිචාර නෙමෙයි බැනුම් තමයි තියෙන්නේ.
සිතාරා ඉස්සරහට මොනවා කරාවිද?
රචකයා අනුව තමයි ඒක ගොඩනැඟෙන්නේ. මේක මම මෙහෙම කියනවාට වඩා ඒක නාට්‍ය රසයක් එක්ක සිතාරා ඉස්සරහට ප්‍රතිචාර දක්වයිද කියන එක ප්‍රේක්ෂකයෝ දැනගත්තොත් හොඳයි කියන එක කියලා මම හිතනවා.
ඔය අතරේ විසේකාරී තුළිනුත් දකින්න ලැබෙනවා ?
ඒක ඉන්දික ධර්මතිලකගේ නාට්‍යයක්. මට අහම්බයෙන් හම්බවුණු නාට්‍යයක්. ගමේ ඉන්න අහිංසක තැන්පත් චරිතයක්. මට කොහොමත් ඒ වගේ චරිත ලැබෙන ප්‍රමාණය වැඩියි. නමුත් මම උත්සාහ කරනවා ඒකත් වෙනස්ම ආකාරයට ප්‍රේක්ෂකයාට ලබාදෙන්න. මම දන්නේ නැහැ මිනිස්සු කොයි විදිහට භාරගනීවිද කියලා.
විසේකාරිට ද? සින්ටෝට ද? වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ ?
තවම වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ සින්ටෝ ටෙලිනාට්‍යයට
කොහොමද වේදිකා නාට්‍ය වැඩකටයුතු එහෙම?
වේදිකාව ඉතින් කොහොමටවත් අතහරින්න බැහැනේ. වේදිකාව එක්ක නිතර ගැවසෙනවා. මේ දවස්වල සචිත්ර රාහුබද්ධගේ චක්‍රායුධම් කියලා කෙටි නාට්‍යය හතරක් එක් දිගට වේදිකාගත වෙනවා. ඉතින් ඒකේ එක කෙටි නාට්‍යයක මම රඟපානවා. තව එක නාට්‍යයක පුහුණුවීම් සිදුකෙරෙනවා.
ඔබ වැඩිපුර කැමැති වේදිකාවට ද?
මම අවුරුදු දහයේ ඉඳලා වේදිකා නාට්‍යවලට රඟපාලා තියෙනවා. ඒ ඔස්සේ තියෙන අත්දැකීම් එක්ක තමයි මෙච්චර දුර එන්න පුළුවන්වෙලා තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. මේ හැම මාධ්‍යයකටම වඩා වේදිකා නාට්‍ය කියන කෑල්ලට මම කැමැතියි.
වේදිකාවේ හිටපු ඔබ සෑහෙන කාලෙකට පස්සේ තමයි ටෙලිනාට්‍යවලට එන්නේ ?
ඒකට හේතු කියන්න මට අමාරුයි. අපි වේදිකා නාට්‍ය තුළ කොච්චර සම්මාන ගත්තත් දක්ෂතා පෙන්නුවත් ඒක එළියට යන ප්‍රමාණය සෑහෙන අඩුයිනේ. ඉස්සර යම් යෞවන නාට්‍ය උලෙළ, රාජ්‍ය නාට්‍ය උලෙළ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්යක්ෂවරු සෑහෙන ප්‍රමාණයක් නරඹන්න එනවා. නමුත් මේ මොහොතේ වේදිකා නාට්‍ය නරඹන්නේ වේදිකා නාට්‍ය නරඹන පිරිස විතරමයි. නමුත් මම මේ හෙමින් ආපු ගමන ගැන සතුටුයි. ඒක ගැන පසුතැවිලි වෙන්නේ නැහැ.
පුංචි කාලේ ඉඳලා ඇයි මේ වේදිකාව තෝරාගන්න හිතුවේ ?
ඒකට හේතුව මගේ පොඩි අක්කා. මොකද මගේ පොඩි අක්කා යෞවන නාට්‍ය උලෙළේ, රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන ලබාගත්තු චරිතයක්. එයත් වේදිකා නාට්‍ය තුළ හිටපු කෙනෙක්. එයා පිටිපස්සෙන් ගිහිල්ලා තමයි මමත් වේදිකා නාට්‍ය කලාවට එන්නේ.
තිළිණිට මේ ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මට සතුටුයි. වේදිකා නාට්‍ය තුළින් තව තවත් අත්දැකීම් ගන්න වගේම ඉස්සරහට යන්න මම හරිම ආසයි. ටෙලිනාට්‍ය රංගනයේදී මට මිනිස්සු ලබාදෙන ප්‍රතිචාර හරිම නිහතමානී විදිහට භාර ගන්නවා. මම දන්නේ නැහැ මට මේක දිගටම කරන්න පුළුවන් වේවිද කියලා. හැබැයි මට පුළුවන්තාක් කල් රඟපානවා.
ඔබේ වෘත්තිය මොකක්ද?
මේ මොහොතේ මගේ වෘත්තිය රංගනය. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. ඊට සරිලන රැකියාවක් කරන්නත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.
කලාව වෘත්තිය කරගන්න කැමැත්තක් නැතිද?
කලාව වෘත්තිය කරගන්න මට හරිම කැමැතියි. නමුත් ලංකාව වගේ රටක ආර්ට් කියන එකට මාසික වේතනයක් ලබාදීලා තෝරාබේරාගෙන වැඩකරන ක්‍රමයක් මේ වෙනකම් හැදිලා නැහැ.
කලා වැඩවලට ගෙදරින් ලැබෙන සහයෝගය ?
ලොකු සහයෝගයක් ලැබෙනවා. මීට මාස දෙකකට කලින් අම්මා නැතිවුණා. අම්මාගෙන් මේ ගමන එන්න ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම ගෙදර අක්කලා අයියා අක්කලාගේ මහත්වරු ගෙන් මේ මොහොත වෙනකොට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ පදිංචිය රත්නපුර වැලිකැටිය ගමේ. දැනට පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
රත්නපුරේ ඉඳලා මේ ආපු ගමන එච්චර සුන්දර නැහැ. එහෙමද?
ඔව්. මම ඉස්සර ෂූටින් එන්න පාන්දර බස් එකේ කොළඹ එනවා. ගොඩක් රෑවුණොත් ගෙදර යන්න බැරිවුණොත් කාගේ හරි බෝඩිමක නවතිනවා. අන්තිමේ ෂූටින් ඉවරවෙලා තමයි ගෙදර යන්නේ. දැන් මම මේ වෙද්දී කොළඹ තමයි ජීවත් වෙන්නේ.
සින්ටෝ හි නන්දේ ජීවිතයට මොනවිදිහට ද සමීප ?
නන්දේ ජීවිතයට සමීපවෙලා දැන් අවුරු ගාණක් වෙනවා.
නන්දේ සිතාරාගේ සැබෑ ජීවිතයෙත් සුවිශේෂී චරිතයක් ?
ඔය සින්ටෝ එකේ ඉන්න නන්දේ නෙමෙයි ඇත්තම නන්දේ. නන්දේ ඇත්තටම හරිම ආදරණීයයි. එයා හරිම සැලකිලිමත්. මට ගෙදරින් ලැබෙන සහයෝගයට වගේම නන්දෙගෙන් ලැබෙන සහයෝගය හින්දයි මේ ගමන යන්න මට ගොඩක් පහසුවුණේ.
නන්දෙව හම්බවෙන්නේ සින්ටෝ ටෙලිනාට්‍යයට කලින් ?
අම්මෝ ඔව්. සින්ටෝ නාට්‍යයේ ෂූටින් පටන්ගන්න සෑහෙන කාලෙකට කලින් තමයි නන්දෙව හම්බවෙන්නේ. සාය අයියා අපි දෙන්නවා මේ නාට්‍යයට ගන්න හේතුව වෙන්න ඇත්තේ අපි දෙන්නා කපල් එක හින්දා වෙන්න ඇති. මොකද මේ චරිත දෙකට ලේසිනේ.
නන්දේ මේ දවස්වල හරි ජනප්‍රියයි. සිතාරාට මේ තරම් වැඩක් කරපු කවුද මේ නන්දේ. හැමෝම හොයන නන්දෙවත් අපි සිතාරාගේ කතාවෙන් පස්සේ මේ කතාබහට එකතු කර ගත්තා. මොකද ඔයාලා දන්නවාද සිතාරාගේ එහෙමත් නැතිනම් තිළිණි ජයමාලිගේ ඇත්ත පෙම්වතාත් නන්දේ කියලා.
නන්දේ කියමුකෝ බලන්න නම?
දමින්ද නන්දරත්න.
දමින්දට නන්දෙව හම්බවෙන්නේ කොහොමද?
මට මුලින්ම ආරාධනා ලැබෙන්නේ ගීත රූප රචනා වගේම වෙළෙඳ දැන්වීම්වලට. මෑත කාලයේ තමයි මට ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ. ඒකත් එක්ක මට ඉස්කෝලේ කාලෙදීම තමයි මට කට්ටිය නන්දේ කියලා කතාබහ කරන්න පටන්ගත්තේ. මොකද මගේ නම නන්දරත්නනේ. සාය අයියා මේ පිටපත ලියන කාලේ ඉඳලම මම හිතනවා නන්දෙගෙ චරිතයට මාව ඔළුවේ තියාගෙනම පිටපත ලියන්න ඇති කියලා. හැබැයි චරිතයේ ඉන්න නන්දෙයි මායි අතර ලොකු වෙනසක් තියෙනවා.
දමින්දට වඩා නන්දෙ සෑහෙන වෙනස්ද?
නාට්‍ය කලාව තුළ කට්ට කාලා ආපු ගමනක් මටත් තියෙනවා. ඒ ගමනේදී පොල් සම්බෝලයි බතුයි රහයි කියන කතාත් මගේ ජීවිතයෙත් තියෙනවා. ජීවන රටාවේදී යම්කිසි වෙනස්කම් ටිකකුත් තියෙනවා.
නන්දෙට මිනිස්සු මඟතොටේදී මොනවාද කියන්නේ ?
යූ ටියුබ් අවකාශයේනම් මට එක දිගටම වගේ බනිනවානේ. මඟතොටේදී අහන්නෙත් ඇයි එහෙම කරන්නේ කියලා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔය අතරේ ගොඩක් දෙනෙක් අහන්නේ දැන් කවද්ද බබා හම්බවෙන්නේ කියලා.
නන්දෙගේ කතාව හැමෝම දන්නවා. දැන් දමින්දගේ කතාව කිව්වොත්?
අළුබෝමුල්ල සිරිසීලරතන දහම්පාසලෙන් තමයි වේදිකා නාට්‍ය කලාවට එන්නේ. ඊට පසුව මම හොරණ විද්‍යාරත්නයට යනවා අධ්‍යාපනය හදාරන්නට. එහිදී මට පාසල් ළමා නාට්‍ය උලෙළට වගේම රාජ්‍ය ළමා නාට්‍ය උලෙළට සහභාගි වෙන්න අවස්ථාව උදා වෙනවා. එහෙම තමයි රංගනය ආරම්භ වෙන්නේ. එහිදී මට කුරුණෑගල පුබුදු සුබාශන සහ ජනක් ප්‍රේමලාල් සර් ලොකු සහයෝගයක් ලබාදෙනවා.
ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවෙන්නේ කොහොමද?
රාජ්‍ය යෞවන සම්මාන උලෙළේදී කුසල් මධුරංග අධ්‍යක්ෂණය කළ කෙටි නාට්‍යයකින් තමයි මම ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ. කුසල් මධුරංග, චාමර සඳරුවන්, කසුන් උක්වත්ත කියන අපි හතර දෙනාම මිත්‍රයෝ. අපි හතර දෙනා එකට තමයි ළමා නාට්‍ය රඟපෑවේ.
පුංචි කාලේ ඉඳලම හීන මැව්වේ නළුවෙක් වෙන්නද?
නළුවෙක් වෙනවා කියන තැන හිටියේ නැතිවුණත් ගුරුවරයෙක් වෙනවා කියන තැන හිටියා. මට පුංචි කාලේ ඉඳලා හොඳ ගුරුවරු ටිකක් මුණගැසුණා. ඉතින් ඔවුන්ව දැක්කහම මට හිතුණේ අපිත් ඒ වගේ ගුරුවරු වෙනවා කියලයි.
නන්දෙ දමින්දගේ ජීවිතයට බලපෑවේ මොනවිදිහට ද?
මම මීට කලින් ස්වර්ණවාහිනියේම විකාශනය වුණු ඇස් කියන ටෙලිනාට්‍යයෙන් තමයි මිනිස්සු අතරට යන්නේ. ඊට පසුව නැවතත් අවුරුදු එකහමාරකට විතර පස්සේ තමයි මම ගැන මිනිස්සු කතාබහ වෙන්න පටන්ගත්තේ. සිතාරාට නන්දේව මොකට මුණැගැසුණා ද මන්දා කියලා අහන පිරිසකුත් ඉන්නවා
සින්ටෝ හි නන්දෙ සිතාරාගේ කතාවට වඩා වෙනස්ම කතාවකුත් තියෙනවා කියන්නේ?
ඔව්. ටිකක් ලොකු කතාවක් තියෙනවා. සැබෑ ජීවිතයේ මම ජයමාලිගේ පෙම්වතා. ජයමාලිව මට මුලින්ම මුණගැසෙන්නේ තිලංක නාමල් උඩුමුල්ල අධ්‍යක්ෂණය කරන උඹ කවුද කියන කෙටි නාට්‍ය හරහායි. ඒ රාජ්‍ය නාට්‍ය උලෙළේ දී. එදා ඉඳලා අපි දෙන්න අද වෙනකම් නිර්මාණ කිහිපයකම රඟපාලා තියෙනවා. මම මුලින්ම එයාට කතා කරන්නේ අක්කා කියලා. මොකද තිළිණි මට වඩා අවුරුදු එකහමාරක් විතර වැඩිමහල්. මුලදී අපි දෙන්නා අතර සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. අපි දෙන්නට වේදිකාව මත වගේම වෙනත් වැඩවලදී එකදිගට වැඩකරන්න හම්බවෙනවා. ඒ කාලය ඇතුළත ගැළපීම් නොගැළපීම් අතරේ කාලාන්තරයක් ගිහිල්ලා පෙම්වතුන් බවට පත්වෙන්නේ. සින්ටෝ නාට්‍යයටත් අපි දෙන්නට කතාබහ කරනකොට අපි දෙන්නා පෙම්වතුන්.
රංගන ජීවිතයේදී මුහුණදුන් අභියෝග එහෙම ගැන කතාබහ කළොත්?
අපිට මෙතැනදී ගොඩක්ම බලපාන්නේ අපි ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයනේ. එතකොට ඒකත් එක්ක මෙතැනදී ස්ථාවරභාවය හදාගන්න කාලාන්තරයක් යනවා. ඒකට මුහුණ දෙන්න ගෙදරින් ලොකු සහයෝගයක් ලබාදෙනවා. විශේෂයෙන් මගේ මිත්‍රයන් මාව ගොඩක් විශ්වාස කරලා වැඩ කරනවා.
ඔබේ වෘත්තිය?
මේ මොහොතේ මම ඇක්ටර් ට්‍රේනර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ගොඩක් වෙලාවට මම කියන්නේ මම ඇක්ටර් ටේ්රනර් කෙනෙක් කියලා. මම පුංචි කාලේ ඉඳලා උත්සාහ කළේ කොහොමද ඇක්ටර් කෙනෙක්ව ට්‍රේන් කරන්නේ කියලා බලන්න. ඒ සඳහා මම ඉන්දියාවේ පවා ගිහිල්ලා වැඩමුළුවලට පවා සහභාගි වෙලා තියෙනවා. ලංකාවෙත් වැඩමුළුවලට සහභාගි වෙලා අධ්‍යයනය කළා. දැන් මගේම නාට්‍ය පුහුණු පාසලක් තියෙනවා හොරණ. රෝහණ බැද්දගේ කලා නිකේතනයේ ආර්ට් ලයිෆ් නමින්.
මේ වෙනකොට ඒකත් කරගෙන යනවා.
නන්දේ සිතාරාව සැබෑවටම කසාද බඳින්නේ කවදාද?
ලොකු කාලයක් නැතිවුණත් අපි දෙන්නට දෙන්නා මේ වෙද්දි අඳුරගෙන ඉන්නේ. මොකද මගේ ආර්ට් එක මේ ගානට ගේන්න එයත් ලොකු සහයෝගයක් ලබාදෙනවා. අම්මාගෙන් පස්සේ මට ලොකුම සහයෝගයක් දක්වපු කෙනා තමයි තිළිණි. අපි දෙන්නට ලොකු ටාගට් ටිකක් තියෙනවා. අනික අපි දෙන්න තවම ජීවිතය පටන්ගත්තා විතරයි. ඒක හින්දා ඒ කතාව පසුව බලමු.
තිරයේදී වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ සිතාරාට ද? නන්දෙට ද?
කොහොමටත් සිතාරාට ප්‍රතිචාර වැඩියි. නිළියක් විදිහට තිළිණි මට වඩා ඉදිරියෙන් ඉන්නවා. නමුත් යම් යම් නිර්මාණ අනුව මටත් ඉහළ ප්‍රතිචාර ලැබෙන අවස්ථාවනුත් තියෙනවා.
සිතාරා නන්දේ සැබෑවට පෙම්වතුන් කියලා ගොඩක් දෙනෙක් තවම දන්නේ නැහැනේ ?
ඔව්. ඒක අපි එහෙම ප්‍රසිද්ධ කරන තැනක හිටියේ නැහැ. සින්ටෝ නිර්මාණයත් එක්කම අපි දෙන්නාගේ ආදර කතාව දැන් දැන් ගොඩක් දෙනෙක් දැනගෙන යමින් පවතිනවා.
ඔබේ වැඩවලට ජයමාලිගෙන් ලැබෙන සහයෝගය?
අපි දෙන්නා එකතු වෙන්නත් ප්‍රධානම හේතුව ඔය සහයෝගය කියන කාරණාව. එයාගේ වැඩවලට මම සහයෝගය දෙනවා වගේම මගේ වැඩවලට එයාත් සහයෝගය දෙනවා. මම යන මේ ගමනට ඇත්තටම ඇය මට ලොකු ශක්තියක්.
ඔයාලා දෙන්නාගේ රසික රසිකාවියන්ට මොනවාද කියන්න තියෙන්නේ?
බැන්නට කමක් නැහැ, දිගටම බලන්න කියලා තමයි කියන්නේ. මොකද ඔයගොල්ලෝ හිතන්නේවත් නැති විදිහට මේ කතාව අවසන් වේවි.
නන්දේ සිතාරාට අසාධාරණයක් කරාවිද?
නන්දේ සිතාරාට අසාධාරණයක් කළත් ඒ ඇත්ත නන්දේ නෙමෙයිනේ. ඇත්ත නන්දේ තිළිණිට අසාධාරණයක් කරන්නේ නැහැනේ.
දිනේෂ් විතාන