ශ්‍රී ලංකාවෙන් ලැබුණු ආදරයට මමත් ආදරෙයි -විර්මානි




 සිංහල චිත්‍රපටයක දේව චරිතයක් නිරූපණය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඔබට ඇරියුමක් ලැබෙනවා. ඒ අවස්ථාවේ ඔබට දැනුණු හැඟීම සහ ඔබේ ප්‍රතිචාරය කෙබඳුද?


ශ්‍රී ලංකාවේ දක්ෂ අධ්‍යක්ෂවරයකු යටතේ රඟපාන්න ආරාධනාවක් ලද අවස්ථාවේ ඇත්තෙන්ම විශාල සතුටක් ඇතිවුණා. චිත්‍රපටයට තෝරාගැනීමට පෙර තිර පරීක්ෂණ තුනකට මා සහභාගි වුණා. මට චිත්‍රපටයේ නිරූපණය කිරීමට තිබුණේ ස්කන්ධ කුමරාගේ චරිතයයි. මා මින් ඉහත දේව කතාවක රඟපා තිබුණේ නැහැ. නළුවකු ලෙස විවිධ චරිත නිරූපණය කිරීමට මා කැමතියි. ඒ නිසා එය මට අලුත් අත්දැකීමක් වුණා. දේව චරිතයක් නිරූපණය කරන විට මනා හික්මීමකින් එය ඉදිරිපත් කළ යුතුයි. මුහුණින් ශාන්ත ඉරියව් පිළිබිඹු විය යුතුයි. එම හික්මීම හැකිතරම් මගේ ඉරියව් තුළින් ඉදිරිපත් කිරීමට මම පුහුණු වුණා.


කතරගම දෙවියන් යනු ශ්‍රී ලංකාවේ ඉමහත් ගෞරවයට සහ භක්තියට පාත්‍ර වූ දෙවි කෙනෙක්. ඔබ එතුමන් ගැන කලින් දැන සිටියාද?


අවංකවම පැවසුවොත් මා එතුමන් ගැන වැඩි යමක් දැන සිටියේ නැහැ. මම උතුරු ඉන්දියානුවෙක්. ස්කන්ධ යනු ශිව සහ පාර්වතියගේ පුත්‍රයා බවත් ගණ දෙවියන්ගේ සොහොයුරා බවත් දැන සිටියා.  එතුමන් සම්බන්ධ බොහෝ තොරතුරු මා දැනගත්තේ අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්නගෙන්. චිත්‍රපටයට තෝරාගත් පසු ස්කන්ධ කුමරු පිළිබඳ තොරතුරු ඇති පොත පත සොයාගෙන කියෙව්වා. එය මට එම චරිතය නිරූපණය කිරීමට විශාල පිටිවහලක් වුණා


ඔබේ පවුල් පසුබිම සහ කලාවට පිවිසි ආකාරය සඳහන් කළොත්?


මම පන්ජාබයේ චන්දිගාර්හි සාමාන්‍ය පවුලක කෙනෙක්. ඒ පළාතේ සෑම මව්පියෙකුගේම ආශාව තම දරුවන් වෛද්‍ය හෝ ඉංජිනේරු වැනි වෘත්තියක නිරත වනු දැකීමයි. මගේ මව්පියන්ගේ අභිමතය වූයේ මාව ඉංජිනේරුවකු කිරීම. මම පූනේවල ඉංජිනේරු විද්‍යාව හැදෑරුවා. පූනේ බොම්බාය ආසන්නයේ පිහිටි නගරයක්. එහිදී සිනමා හා නාට්‍ය රංගනය කෙරෙහි මගේ සිත ගියා. ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු මා කෙටි කාලයක් ආයතනයක ඉංජිනේරුවකු ලෙස සේවය කළා. එහෙත් මගේ අරමුණ වූයේ රංගනයයි. අධ්‍යාපනය ලබන අතර මා සිතුවා මගේ වාසනාව උරගා බලන්න. එය සාර්ථක වුවහොත් මගේ වෘත්තිය රංගනය ලෙස තෝරාගැනීමට තීරණය කළා. දැන් එය මගේ වෘත්තිය බවට පත්වෙලා. මා රංගනයෙන් දායක වූ පළමු සිනමාපටය හින්දි භාෂාවෙන් නිර්මාණය වූ ''ලෂ්ටම් පශ්ටම්''. එය 2018 ප්‍රදර්ශනය වුණා. මානව් බහල්ලාහ් අධ්‍යක්ෂණය කළ එය සෝනි සමාගමේ නිෂ්පාදනයක්. එහි  සිඩ් ඔබරෝයි කියන චරිතය මම රඟපෑවා. ඒ හැර වෙබ් චිත්‍රපට කිහිපයකත්, මේ දිනවල ප්‍රදර්ශනය වන ''කතා අන්කහි'', ''හැපි ෆැමිලි කන්ඩිෂන්ස් ඇප්ලයි'', ''ෂාදි ජසූස්'', ''ගිරිගිට්'' වැනි රූපවාහිනි මාලා නාට්‍යවල රඟපෑවා. පසුගිය දිනවල ඇමසන් ප්‍රයිම් සමාගමේ නිෂ්පාදනයකටත් ඇරියුම් ලැබුණා. මා රඟපෑ ඇතැම් ටෙලිනාට්‍ය ශ්‍රී ලංකාවේ රසිකයන් නරඹා තිබුණා. රූගත කිරීම්වලදී ඒවා නැරඹූ පිරිස් මා හඳුනාගෙන ඔවුන්ගේ සුබ පැතුම් එක් කළා.


Q රූගත කිරීම්වලදී ලංකාවේ සිනමාව සහ කලාකරුවන් පිළිබඳව ඔබට දැනුණේ කොහොමද?


ඔවුන් දක්ෂ ආදරණීය පිරිසක්. නළු නිළියන්, නිෂ්පාදන කණ්ඩායම, සහයකයන් සියලු දෙනාම බොහෝ ආදරණීයයි. ඒ වගේම මට විශාල සහයෝගයක් දුන්නා. දර්ශන තලයේදී මට හැඟුණේ මම ඔවුන්ගේ දරුවෙක් කියලයි. කුඩා දරුවෙක් බලාගන්නවා වගේ ඔවුන් මාව බලාගත්තා. සිංහල සිනමාව ඉතා ඉහළ තලයක තියෙනවා. චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී ඔවුන් සෑම අංශයක් කෙරෙහිම විශාල අවධානයක් යොමු කරනවා. ඔවුන් සමඟ ගත කරද්දි මට කිසිවිටෙකත් දැනුණේ නැහැ මම ඉන්දියාවෙන් බැහැරව ඉන්නවා කියලා. ඔවුන්ගේ වෘත්තීමයභාවය පිළිබඳව මා ඉමහත් සතුටට පත්වුණා.


 කදිර දිව්‍යරාජ මේ වන විට දින 100 ඉක්මවා හමාරයි. මේ සාර්ථකත්වය ඔබ දකින්නේ කෙසේද?


මම වාසනාවන්තයෙක් කියන හැඟීම මට දැනෙනවා. මා වෙනත් රටක වෙනත් භාෂාවකින් ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටයක් දින 100ක් ප්‍රදර්ශනය වීම ආශීර්වාදයක් නෙමෙයිද? මා ගැන පමණක් නොවෙයි එම චිත්‍රපටයට දායක වූ සියලු දෙනා සම්බන්ධයෙන්ම මට ඇත්තේ විශාල සතුටක්. නළු නිළියන් වශයෙන් අපි කැමරාව ඉදිරියේ අපේ කොටස කරලා යනවා. ඒත් අධ්‍යක්ෂ, නිෂ්පාදක හා නිෂ්පාදන කණ්ඩායම රූගත කිරීම් ආරම්භ කිරීමට පෙරත්, රූගත කරද්දිත්, අවසන් වී එය ප්‍රදර්ශනය කරන තෙක් විශාල ලෙස වෙහෙසෙනවා. කදිර දිව්‍යරාජ රූගත කිරීම් අවසන් වී ප්‍රදර්ශනය කිරීමට වසර තුනක් ගත වුණා. එම මුළු කාලය පුරාම ඔවුන් කළ කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙස චිත්‍රපටය මෙතරම් සාර්ථක වුණා කියලයි මා සිතන්නේ.


Q ඔබට දැන් සිංහල වචන කතා කළ හැකිද?


මම චිත්‍රපටය සඳහා එකම එක ගීතයක් ගායනා කළා. එහි වචන ටික විතරයි මට මතක. ඒ ටිකත් ඉතා අමාරුවෙන් මතක තබාගත්තේ. (ඔහු ගීතයේ කොටසක් මුමුණයි කතරගම් කතරගම් ඔබ සිටිනා කතරගම්) සිංහල භාෂාව මට සම්පූර්ණයෙන්ම ආගන්තුකයි. චිත්‍රපටයට සම්බන්ධ වන තෙක් මා කිසි දිනෙක සිංහල වචනයක් අසා තිබුණේ නැහැ. ඒ නිසා සිංහලෙන් දෙබස් උච්ඡාරණය කිරීම මට විශාල අභියෝගයක් වුණා. සහය අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදන කණ්ඩායම මට විශාල සහයක් ලබා දුන්නා නිවැරදිව සහ හැඟීම් දනවන ලෙස දෙබස් ඉදිරිපත් කරන්න.


ඉන්දියානු සිනමාව සහ ශ්‍රී ලංකාවේ සිනමාව අතර වෙනස ඔබ දකින්නේ කෙසේද?


ඉන්දියානු සිනමාව වසරකට චිත්‍රපට දහසක් පමණ විවිධ භාෂාවලින් නිෂ්පාදනය කරනවා. චිත්‍රපට දහසක් කළත්, දස දහසක් කළත්, එකක් කළත් එය නෙමෙයි වැදගත්. වැදගත් වන්නේ ඔබ එම නිර්මාණයට දක්වන දායකත්වය හා ප්‍රේක්ෂකයන් කෙතරම් පිරිසක් එය වැළඳ ගන්නවාද යන්නයි. ඉන්දියානු සිනමාව කර්මාන්තයක් ලෙස ඉදිරියෙන් සිටිනවා. පසුගිය කාලයේ මම සිංහල චිත්‍රපට දෙක තුනක් නැරඹුවා. ඒවා සෑම අංශයකින්ම උසස් මට්ටමක පවතිනවා. සිනමාවට සීමා මායිම් නැහැ. දැන් ලෝකය එකම ගම්මානයක්. ශ්‍රී ලාංකික සිනමාව ලෝක සිනමාව සමඟ කරට කර සිටින බව මා විශ්වාස කරනවා.


Q ඔබ සිංහල සිනමාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔබේ පවුලේ අය සහ හිතවතුන්ගෙන් ලද ප්‍රතිචාරය කෙබඳුද?


මා කුමක් කළත් ඔවුන් එය සතුටින් බාරගන්නවා. හැමවිටම මා වෙනුවෙන් පෙනී සිටිනවා. සෑම කාර්යකදීම මට ඔවුන්ගේ සහය හිමිවෙනවා. ඉන්දියාවේ සිටින මගේ රසිකයන් මට ආදරෙයි. මා විදේශ චිත්‍රපටයක රඟපෑම සම්බන්ධයෙන් ඔවුන් තුළ ඇත්තේ සතුටක්.


ශ්‍රී ලංකාවේ ඔබේ රසිකයන් වෙනුවෙන් යමක් පැවසුවොත්


මගේ දෑත එක්කොට ඔවුන්ට මගේ ආදරය ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ ආදරයට ගොඩක් ස්තුතියි. චිත්‍රපටය වෙනුවෙන් ඔවුන් දක්වන ප්‍රතිචාර මට මහත් සතුටක්. සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගෙන් මට ලැබෙන සෑම පණිවුඩයකටම මම කෙසේ හෝ පිළිතුරු සපයනවා. ඔවුන්ට ස්තුති කරන්නට මට වචන නැහැ. 




Previous Post Next Post