පුංචි තිරයේ “කඳුළු බිංදු” ඇය යි. එක්තරා යුගයක රූපවාහිනී ප්‍රේක්ෂකයින් උන්මාදයට පත් කළ “දීප්ති”ය ඇය යි. එය මොනතරම් උන්මාදයක් වූයේ ද යත් ‘බොබ් කට්’ විලාසිතාව වැලඳ ගත් යෞවනියන් පුංචි තිරයෙන් මෑත මහ මඟ වීදිවල, බස්වල, ටියුෂන් පන්තිවල, උද්‍යානවල ඒ මේ අත යන එන දසුන් බහුල කාලයක් ම විය. ඒ නාලන් මෙන්ඩිස්ගේ “දූ දරුවෝ” ටෙලි වෘතාන්තය ඇයගේ රංගන ජීවිතයේ සංධිස්ථානයක් බවට පත් වූයේ එලෙසින්. වර්තමානයේ රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, රූපලාවණ්‍ය ශිල්පිණියක් වන ඇය නිල්මිණි තෙන්නකෝන්ය.
බොහෝ අය වාගේම ඔබත් වේදිකාවට ගොඩවන්නේ පාසලෙන් නේද…?
ඔව්. මම මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ හත් වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් ඉන්න කාලේ පාසල් වේදිකාවෙන් රංගනයට පිවිසුණා. මගේ පියා මිය යනවිට මට වයස අවුරුදු 13යි. මගේ අය්යා දිලීප, මල්ලි ප්‍රදීප් එක්ක අම්මා අපි තුන්දෙනා වෙනුවෙන් ලොකු ජීවන සටනක් ගෙනිච්චා. ඒ හැමදෙයක් එක්ක ම මම පුංචි කාලේ ඉඳලා කලාවට බැඳීමක් තිබුණා. වජිරා චිත්‍රසේන මහත්මිය යටතේ මුලින් ම නර්තනය හැදෑරුවා. ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පී චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මියගේ මඟ පෙන්වීම යටතේ “සසර” මුද්‍රා නාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. සිනමා අධ්‍යක්ෂ රෝයි ද සිල්වා හා සුමනා අමරසිංහ විසින් මාව සිනමාවට හඳුන්වා දෙමින් “හිත හොඳ චණ්ඩියා” චිත්‍රපටයේ බන්දු සමරසිංහ සමඟ නර්තන දර්ශනයකට එක් කර ගත්තා. ඊට පස්සේ ඩී. බී. නිහාල්සිංහගේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. “දිමුතු මුතු, පස්සෙ ගෙනා මනමාලි” නාට්‍යවලින් පස්සේ “දූ දරුවෝ” කතා මාලාවට සම්බන්ධ වුණා. දීප්ති චරිතය මගේ රංගන ජීවිතයට දීප්තියක් ගෙනාවා.
සිනමාවට සම්බන්ධ වුණේ කොහොමද..?
1985 දී ලුවී වැන්ඩර්ස්ට්රේණටන් විසින් අධ්‍යක්ෂණය කළ මවුබිම නැත්තම් මරණය චිත්‍රපටයේ කුඩා චරිතයක් මුලින් ම රඟපෑවා. සිනමාවේ ප්‍රධාන චරිතයක් රඟපෑවේ 1990 සුනිල් සෝම පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ යුක්තියට වැඩ චිත්‍රපටයේ යි. චිත්‍රපට විස්සකට ආසන්න සංඛ්‍යාවක දැනට රඟපාලා තියෙනවා.
සම්මාන රැසකුත් ලැබිලා තියෙනවා නේද..?
1992 දී සුරනිමල චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් නැගී එන හොඳම නිළිය ලෙස සරසවිය සම්මානය හිමි වුණා. ලේ කිරි කඳුළු චිත්‍රපටයේ වීණා චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි සරසවිය සම්මානය ලැබුණා. වසර හයක් අඛණ්ඩව ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය දිනා ගත්තා. ෂර්ලි පී. දෙලංකාවල විසින් අධ්‍යක්ෂණය කරන ලද හත්දේව කතාමාලාවේ ටිකිරි මැණිකා චරිතය වෙනුවෙන් 2008 රයිගම් ටෙලීස් සම්මාන උෙලළේදී හොඳම නිළියට හිමි සම්මානයත්, 2016 වසරේදී අම්මා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි සුමති සම්මානයත් හිමි වුණ
පසුගිය දා නිමා වුණු 1999 ටෙලි නිර්මාණය යළිත් අපට දීප්ති ආවර්ජනය කළා නේද…?
1999 ටෙලි නාට්‍ය අධයක්ෂණය කළේ රනිල් කුලසිංහ යි. සාගරී කියන චරිතය මම රඟපෑවා. මගේ වර්තමාන ස්වරූපයත්, වසර විස්සකට විතර පෙර මගේ ස්වරූපයත් ඒ නිර්මාණය සඳහා අවශ්‍ය කර තිබුණා. මගේ තරුණ කාලය දීප්ති වගේ කොණ්ඩේ බොබ් කරලා ගත්තා. ඇත්තටම ඒ නාට්‍ය නරඹද්දී මමත් මගේ අතීතයට ගියා. අනික මටත් දුවෙක් ඉන්න නිසා සාගරී චරිතය රඟපාන්න මට හරි පහසු වුණා. ඒ වගේ ම මම ඒ චරිතයට ගොඩාක් කැමතියි. සාගරී වගේ සිංදු අහන්න, විරහ ගී රස විඳින්න මමත් හරි ම ආසයි. 1990 යුගයේ නාමල් උඩුගම, ආත්මා ලියනගේ සහ තව ගායකයින් රැල්ලක් එකට බිහි වුණා. ඔවුන්ගේ ගීතවලින් අපි පුදුමයට පත් වුණා. ඒ ගීත ගොඩාක් ජනප්‍රිය වුණා. හරි ම සංවේදී බවක් ඒ ගීතවල තිබුණා. රනිල් කුලසිංහ කියන්නෙත් අමුතු දේවල් කරන නව පරපුරේ ඉතා ම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. සාගරීගේ චරිතය රඟපාද්දි සමහර වෙලාවට ඒ මම ද කියලා හිතුණු අවස්ථා තිබුණා. ඒ සංවේදීකම් චරිතය තුළින් ඉස්මතු කර ගන්න රනිල් දක්ෂ වුණා. ඩෙවන් පෙරේරා තමයි ඒ නාට්‍ය නිෂ්පාදනය කළේ. සාගරීගේ චරිතය කාලෙකින් මට හම්බ වුණ හොඳ චරිතයක්. එක වෙලාවක මානසික උන්මාදයක් තියෙනවා. ආයි එහෙම නැති වෙනවා. ඒක ප්‍රේක්ෂකයින්ට පවා හරියට හඳුන ගන්න බැරි තරම් සියුම් වෙනස්වීමක් නිසා රඟපෑමත් ගොඩාක් අභියෝගාත්මක වුණා. ලැබුණු ප්‍රතිචාරවලින් නම් මං සාර්ථකව ඒ කාර්ය ඉටු කළ බව දැනෙනවා. ස්තුතියි රනිල්, ඩෙවන් සහ සහෝදර කලාකරුවන් සැමට. ඒ වගේම ස්තුතියි බුවනෙක මාව ආයෙමත් දීප්තිගේ මතකයට රැගෙන ගියාට.
කදිර දිව්‍යරාජ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද.?
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම මගේ භාග්‍යයක් ලෙස මම සලකනවා. ඒ වගේ ප්‍රවීණ සහ අත්දැකීම් බහුල අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩ කරද්දි සිනමාව, රංගනය ගැන අලුතෙන් දේවල් අපට ඉගෙන ගන්න ලැබෙනවා. කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩවලටත් මම සම්බන්ධ වෙනවා. ඇත්තට ම ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊළඟ නිර්මාණයට ඒ ප්‍රතිචාරවලින් ලොකු ප්‍රබෝධයක් ලැබෙනව
ඔබ ගොඩාක් කාර්ය බහුල ද…?
මගේ කාලයෙන් වැඩි කොටසක් මම වෙන් කරන්නේ දුව ස්වේතා වෙනුවෙනුයි. එයා දැන් උසස් අධ්‍යාපනය හදාරනවා. එයාගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්න අවශ්‍ය නිදහස, පහසුකම් මම එයාට ලබා දෙනවා. එයාගේ මානසික සතුට, නිදහස වෙනුවෙන් මම හැම දෙයක් ම කරනවා. දුව සංගීතයට ගොඩාක් ළැදි කෙනෙක්. එයාට සංගීත වාද්‍ය භාණ්ඩ වාදනය කරන්නත් පුළුවන්. සංගීතයෙන් ජනප්‍රිය වෙන්න දුවගේ ආසාවක් නැහැ. අපි දෙන්නා සතුටින්, විනෝදෙන්, ආදරෙන් ඉන්නවා.
රූපලාවණ්‍ය කටයුතු කරන්න කාලයක් ඔබට තියෙනවාද?
මම උදෙන්ම නැගිටලා දුවගේ වැඩ තමයි කරන්නේ. රූපලාවණ්‍ය වැඩවලට මම ගොඩාක් ආස නිසා ඒ වැඩවලටත් කාලය මට කොහොම හරි ලැබෙනවා. හැබැයි ඉතින් සමහර දවස් තියෙනවා වැඩ කරලා කරලා මට හති වැටෙනවා. ඒ වෙලාවට මුක්තම කර ගන්න බැරුව මම වැටිලා ඉන්නවා. මම කරන හැම දෙයක්ම මම ලියනවා. ඒක මගේ පුරුද්දක්. ගෙදර අවශ්‍ය දේවල් ගන්න යන්නෙත් මම ලියාගෙනයි.
ජීවිතය ගැන මොකද හිතෙන්නේ…? ඔබ ඇත්තට ම සතුටින් ද….?
ගෙවෙන හැම තත්පරයකම සතුටින් ඉන්නවා කියලා කියන්න අමාරුයි. ඇත්තටම මනුස්ස ජීවිතයක් ලැබිච්ච එකම මහා පුදුම සහ දුලබ දෙයක්නේ. ඉතින් ඒ වටිනාකම තේරුම් අරගෙන තව කෙනෙකුට කරදරයක්, හිංසාවක්, පීඩාවක් නොවෙන්න වගේ ම පුළුවන් විදිහකට අනෙක් අයටත් උදව්වක් කරගෙන මේ ජීවිතය ගෙවන එක තමයි වටින්නේ. මගේ ජීවිතයේ රිදුණු තැන්වලදි, මං වැටුණු තැන්වලදි මගේ හිත යළිත් ගොඩ ගත්තේ, මට යළිත් නැගිටින්න අත දුන්නේ ඒ මං කරන සමාජ සහ ආගමික කටයුතු නිසා මට ලැබුණු මානසික ශක්තියයි. ඒ වගේ ම මගේ ජීවිතයේ ලොකු ම සතුට සහ ශක්තිය මගේ දුව ස්වේතා. ඒ සංසාර බැඳීම හරි පුදුමයි.”
තුෂාරී කළුබෝවිල