ජනප්‍රිය වෙනවා නම් ඒක ඉබේම වෙනවා දඟලන්න ඕන නෑ-ඩිලුක්ෂි කාවින්ද්‍යා



කටකාරකම, දඟකාරකම මෙන්ම රූමත්කමද උපතින්ම රැගෙන උපන් ඇය කලාවට අවතීර්ණ වී වසර කිහිපයක් ගත වුවද ප්‍රධාන ධාරාව තුළ කතාබහට ලක්වීමට තරමක කාලයක් ගතවිණි. නමුත් මලක් පිපෙන්නාක් මෙන් නිදහසේ ක්‍රමානුකූලව තම හැකියාවන් හා රංග පරාසයන් වැඩිදියුණු කරගත් ඇය අද වන විට මෙරට තුළ සිටින අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වී හමාරය. දක්ෂ රංගන ශිල්පිනියකට අමතරව නර්තන ශිල්පිනියක්ද වන ඇය මේ වන විට රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසින්ද කටයුතු කරයි. ඇය නමින් ඩිලුක්ෂි කාවින්ද්‍යා  වීරපෙරුමයි.


ප්‍රවීණාට ලැබෙන ප්‍රතිචාර ගැන කියලම කතාව පටන් ගමු?


 මුලින්ම කියන්න ඕනි ලොක්කිගේ කතාව මේ දිනවල විකාශය වෙන්නේ සීසන් 2. මුලින්ම මට ප්‍රවීණාගේ චරිතය ලැබෙද්දී මම ඒක රිජෙක්ට් කළා. මොකද හාස්‍ය කියන දේ හැමෝමට කරන්න බැහැ. එතැනදී මට ඒ තරම් රිස්ක් එකක් ගන්න බැරි නිසා මම මුලින්ම බෑ කිව්වා. නමුත් නාට්‍ය කණ්ඩායමේ ඉල්ලීම පිට මම වැඩේ පටන් ගත්තා. කොහොමහරි නාට්‍ය විකාශනය ආරම්භ වෙලා කොටස් තුනක් වගේ වෙද්දි එක පාරටම නොසිතූ විධියට ගොඩක් ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. සීසන් එකෙන් පස්සේ සීසන් 2 පටන් ගනිද්දී මට ඒ චරිතය ගැන අවබෝධයක් තිබුණු නිසා මට තවත් හොඳින් චරිතයට අනුගත වෙන්න හැකියාව ලැබුණා. ඒ හරහා මට හිතාගන්නවත් බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා.


ප්‍රවීණා ඔබේ ජීවිතයේ විශාල හැරවුම් ලක්ෂ්‍යය වුණා කියලා කිව්වොත්?


මම නොහිතපු වෙලාවකදී තමයි මගේ චරිතය වයිරල් වුණේ. එතැනදි මට හිතෙනවා මම හරිම වාසනාවන්තයි කියලා. ඒ තරම් නොසිතපු ප්‍රතිචාර මට ලැබෙන්නේ. මගේ ජීවිතය වෙනස් කළ චරිතයක් තමයි ඒක. මම මේ ක්‍ෂේත්‍රයට එන්නේ දෙදහස් දහසය අවුරුද්දේ. මම ගොඩක් චරිත කරලා තිබෙනවා මේ වෙද්දී. නමුත් මිනිස්සු මාව අ¾දුරගත්තේ, මිනිස්සු අතරට ගියේ ප්‍රවීණා චරිතය හරහා. ඒක මගේ ජීවිතයේ ලොකු ටර්නිංග් පොයින්ට් එකක් වුණා.


අද මේ තැනට එන්න ආරම්භය ගත්තේ කොතැනින්ද කියලා මතක් කරමු?


මම පාසල් ගියේ කොළඹ විශාකාවට. පාසල් කාලයේ නර්තනයට, ඩ්‍රාමාවලට තමයි ගොඩක්ම දක්ෂ. පාසල් කාලයේදී අපිට එළියේ වැඩකටයුතු කරන්න අවස්ථාවක් නැහැ. පොඩි කාලේ මට අවශ්‍ය වුණේ නැටුම් ගුරුවරියක් වෙන්න. පස්සේ තමයි මට නිළියක් වෙන්න ආසාවක් ඇති වුණේ. පස්සේ උසස් පෙළ අවසන් කළාම මට ජනිත් වික්‍රමගේ අයියා නිසා ගෝත්‍රා චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ඔහුගේ මාර්ගයෙන්ම ලැබුණු අවස්ථාවක් නිසා මට ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ පුතාගේ පළමු අධ්‍යක්‍ෂණය වුණු බෆලෝ ට්‍රැවල් චිත්‍රපටයේ රංගනයට අවස්ථාවක් ලැබෙනවා. ඔය විධියට තමයි රංගනයට මගේ ආගමනය සිද්ධ වුණේ.


ඔබ කාලයක් පුරාවට මේ ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්නවා. රංගනය පිළිබඳව ඔබේ හැදෑරීම් ගැනත් මතක් කරමු?


පාසල් කාලේ මම ගොඩක් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. එතැනදි මම කවදාවත් කෙල්ලෙක්ගේ චරිතයක් කළේ නැහැ. මම හැමදාම කළේ ආච්චිලාගේ, කොල්ලන්ගේ චරිත. මොකද මට අවශ්‍ය වුණේ චරිතාංග නිළියක් වෙන්න. පාසල් කාලයේදී මම නර්තනය සහ රංගනය දෙකම ඉගෙන ගත්තා. දෙදහස් හතේදී ලංකාවේ අරංගේත්‍රම් කරපු පොඩිම ළමයා මම. මම රංගනය සම්බන්ධයෙන් තිබෙන වර්ක් ශොප්වලට සම්බන්ධ වෙලා තිබෙනවා. ඊටත් වඩා ගොඩක්ම මම රංගනය ඉගෙන ගත්තේ මට වැඩ කරන්න ලැබුණු ප්‍රවීණයන් දිහා බලාගෙන සහ අත්දැකීමෙන්. මම අදටත් තාම ඉගෙන ගන්නවා.


ඔබත් සමඟ රංගනයට අවතීර්ණ වූ බොහෝමයකට සාපේක්ෂව ඔබට ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය වීමට කාලයක් ගතවුණා කිව්වොත්?


 මම ඉස්සර ඉඳන්ම කියපු දෙයක් තමයි, මට ජනප්‍රිය වීමේ උණක් නැහැ. මම අදටත් අපේ අම්මට කියන්නේ අම්මේ හිමින් ගමනක් යමු කියලා. බැලුමක් වුණත් පිම්බුවම ටිකකින් හුළං බහිනවා. ඒත් සමහර දේවල් තිබෙනවා දිගටම රඳවාගෙන ඉන්නට පුළුවන්. අපි කරන්න අවශ්‍ය එහෙම රඳවාගත හැකි දේවල්. මට දක්ෂ නිළියක් වෙන්නයි අවශ්‍ය. ජනප්‍රිය වෙනවා නම් ඒක ඉබේම සිද්ධ වෙනවා. දඟලන්න අවශ්‍ය  නැහැ. අපි කරන දේට ගෞරව කළාම, අපිට උදවු කරන අයට ගෞරව කළාම අපිට අවශ්‍ය  දේ අනිවාර්යයෙන්ම ලැබෙනවා.


ප්‍රවීණාගේ චරිතය හරහා එකම රාමුවකට කොටු වෙන්න සිද්ද වෙලා නැද්ද?


 මේ දවස්වල නම් මට එකම රාමුවේ චරිත තමයි ලැබිලා තිබෙන්නේ. මේක කරන්න කලින් මට හැමදාම ලැබුණේ රට ඉඳන් එන නපුරු, පොශ් දුවගේ චරිත. ඔය වගේ චරිත කළාම පිටත පෙනුමින් මාව මැනලා හැමදාම මට දුන්නේ ඔය වගේ චරිත. අවදානමක් අරගෙන ප්‍රවීණාගේ චරිතය කළාම දැන් ලැබෙන්නේ ඒ වගේ චරිත. නමුත් මම ඒකටම කොටු වෙලා ඉන්න කැමැති නැති නිසා ලැබෙන හැම ආරාධනාවම පිළිගන්නේ නැහැ.


ඉදිරි වැඩකටයුතුත් මතක් කරමු එහෙනම්?


මේ  වෙද්දී ලොක්කිගේ කතාව, බේකරි ගෙදර විකාශය වෙනවා. ඊට අමතරව හවුස් ෆුල් රූපවාහිනි වැඩසටහන කරනවා. ඊට අමතරව අලුත් වැඩ කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. තව ෂූටින්වලටත් සම්බන්ධ වෙනවා මේ දවස්වල.


අක්ෂි මාපා වීරසිංහ 




Previous Post Next Post