සමහරු වැඩ ගැන කතා කරන්න තනියම මුණගැහෙමු කියනවා-අමන්දා සිල්වා



අමන්දා සිල්වා, මේ නම වගේම රූපය නිරූපණ ක්ෂේත්‍රය තුළ පෙරළියක් කළ රුවක්. උස නිසාම කැපිපෙනෙන ඈ වෙළෙඳ දැන්වීම් තුළින් වගේම පුංචි තිරය සිනමාව තුළත් දකින්න ලැබුණා. නර්තනයටත් දක්ෂ අමන්දා පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ නිසා ඇය වගේම ඇයව කරකාරෙට ගත් පොලිස් නිලධාරියෙක් වූ ඩයස් වනිගසේකරවත්  කතාබහකට එකතු කර ගත්තා. මේ ඒ සොඳුරු කතාබහයි.


අමන්දා කියන්නද, ඇමැන්ඩා කියන්නද..?

මගේ නම අමන්දා. ඇමැන්ඩා නෙමෙයි . නමුත් මම ඇමෙන්ඩා කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. ඒත් මම අමන්දා සිල්වා.


කොහොමද විවාහ ජීවිතේ. වගකීම් එක්ක ජීවිතේ ගෙවෙනවා කියලා හිතනවද..?


විවාහ වුණා. ඒත් තවම මට බරක් දැනෙන්නේ නැහැ. ඉස්සර ජීවත් වුණා වගේම තවම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඩයස් එක්ක එක වහලක් යටට ආපු එක විතරයි වෙනසකට තියෙන්නේ .


දැන් වැඩිය දකින්න නැත්තේ ඩයස්ගේ නිතිරීතීවලට අහු වෙලාද..?


එයා ආසයි මාව කලාවෙන් දකින්න. ඒ නිසා මට මේක කරන්න එපා මෙහෙම ඉන්න එපා කියන්නේ නැහැ. මම හරි දේ තෝරාගෙන හරියට වැඩකරනවා කියන විශ්වාසය තියෙනවා එයාට. මම නිරූපිකාවක් විදිහට වැඩ කරනවා. ඒත් රංගනය තුළින් දකින්න නැහැ ,


ඒකට හේතුව… ඇතැම් නිළියන්ට වගේ අයුතු බලපෑම්ද..?


මම අඳින පලඳින විදිහට මම ගැන හිතන්නේ වැරදි විදිහට කියලා මට හිතෙනවා. මම නිරූපිකාවක්. මට නිරූපණයේදී ඇඟ පෙනෙන්න අඳින්න වෙන අවස්ථා තියෙනවා. එහෙම ඇන්දා කියලා මම නරක කෙනෙක් නෙමෙයි. මමත් සාමාන්‍ය මනුස්සයෙක්. මට රඟපාන්න ආරාධනා කරන්නෙම කරන්න බැරි වැඩවලට. ඇතැම් අය වැඩවලට කතා කරනවා. මුදල් වෙනුවට පිටරටකට එක්කගෙන යන්නම් කියනවා. වැඩේ ගැන කතා කරන්න තනියම මුණගැහෙන්න කියනවා. මම හස්බන්ඩ්ට කිව්වා මට හරි වැඩ ආවොත් විතරක් මම භාර ගන්නවා. නොවුණොත් රංගනයට සම්බන්ධ වෙන්නෙ නැහැ කියලා. මම මුලින්ම රඟපෑවේ විසුල අහස යට නාට්‍යයේ , ෂෙරිනා චිත්‍රපටයෙත් හිටියා. මාව වැඩිපුර දකින්න නැත්තේ ඔය වගේ බලපෑම් නිසා තමයි . මම වැඩිය දකින්න නැති වුණාට නිරූපිකාවක් විදිහට සාර්ථකයි කියලා හිතනවා. මම පැජන්ට් වින් කරලා තියෙනවා. ලංකාවේ ජනප්‍රිය බෑන්ඩ්වල ප්‍රධාන නිරූපිකාවක් . ඒ පැත්තෙන් සතුටු වෙන්න පුළුවන්.


අනිසි බලපෑම් එද්දී සැමියා කියන්නේ නැද්ද ශරීරය නිරාවරණය වෙන විලාසිතා කරන්න එපා කියලා ..?


මට දැනෙනවා නම් මම ටිකක් මහත් වේගෙන එන්නෙ කියලා මම ඕපන් අඳින්නෙ අඩුවෙන්. එහෙම නැත්තම් මම මගේ ඇඟට ගැළපෙන ලස්සන විලාසිතා කරනවා. ඒකට එයා බාධා කරන්නේ නැහැ. එයා ජිම් ඉන්ස්ටක්ටර් කෙනෙක් නිසා මගේ හැඩේ වෙනස්කම් ඉක්මනින් දකිනවා. ඒ වෙලාවට එයාගේ උපදෙස් එක්ක ව්‍යායාම් කරනවා. ඇඟ මහත් වුණොත් මට කැතයි. මගේ උස එක්ක. ඒ නිසා ඇඟ ගැන මම පරිස්සම්. ඩයස් ඒකට බාධා කරන්නේ නැහැ . මොකද එයා දන්නවා මම නිරූපිකාවක් කියලා.


ඔහු සේවය කරන්නේ පොලිස් සේවයේ, කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔහුගේ පෙනුම අහිංසක වුණාට රළු කෙනෙක් කියලා ..?

එයා පොලිස් සේවයේ හිටියට නපුරු නැහැ. පොලිස් නීතී, ගේ ඇතුළට ගේන්නෙත් නැහැ. මම වගේම එයත් හරි සරල විදිහට ජීවත් වෙනවා. ඇත්තටම කිවුවොත් මේ පවුල් ජීවිතේ ඇතුළේ මම නිදහසේ සතුටින් ජීවත් වෙනවා.


ඇතැම් වෙලාවට ඔබට සමාජයෙන් එල්ල වෙන චෝදනාවලට ඔහුගේ ප්‍රතිචාර කොහොමද ..?


අපි දෙන්නා එකතු වෙලා යූටියුබ් නාළිකාවක් පටන් ගත්තා. සමහර අය කැත විදිහට කමෙන්ට් කරනවා. හරිම සුළුතරයක්. සමහර වෙලාවට මම මානසිකව වැටෙනවා දවස් ගානක් යනකල් ඒකමයි හිතන්නේ මම හොඳට ඉඳලත් ඇයි මෙහෙම කියන්නේ කියලා. ඒත් එයාට ඒවා ගානක්වත් නැහැ. ඇත්ත දන්නෙ එයා නිසා එයා වැටෙන්නේ නැහැ. එයා මගෙත් හිත හදනවා.


ඇතැම් අයට විවිධ දේ ජීවිතයට ආභරණයක් වෙද්දී ඔබට උස ආභරණයක් වෙලා ඇති..?


නිරූපණයට වැදගත්ම දෙයක් තමයි උස කියන්නේ. මගේ උස 5.9 යි. ඇත්තටම මගේ ජීවිතේ මට ආභරණයක් වුණේ උස. කොච්චර ලස්සන කෙනෙක් වුණත් එයා කොට නම් නිරූපණ වේදිකාවෙදි කැපී පේන්නෙ උස කෙනා. උස එක්ක ඕනෑම විලාසිතාවක් ලස්සන කරගන්න පුළුවන්.


ඒත් ආදරේ කරන කාලේ උස ප්‍රශ්නයක් වෙන්න ඇති, පෙම්වතුන් හොයා ගන්න ..?


ඒ ප්‍රශ්නේ නොතිබ්බා නෙමෙයි. මම කෙනෙකුට ආදරේ කළා. මගේ තාත්තා එයාට තර්ජනය කරලා මාව මුණගැහෙන්න එපා කියලා ගෙදරට ගිහිං කියලා මගේ ආදර කතාවත් අවසන් කළා. ඒ මම උස නිසා. ඒත් මම දැන් විවාහ වෙලා ඉන්න ඩයස් වුණත් මට වඩා අඟලක් කොටයි. ඒත් ගොඩක් අය කියනව එහෙම උස අඩුයි කියලා පේන්නෙ නැහැ කියලත්. මම උස නිසා ඩයස් එක්ක විවාහ වෙන්න එපා කියපු යළුවොත් හිටියා.


අමන්දාගේ කෑම බීම රසයිද? එහෙම නැත්තම් කෑම රස නැහැ කියලා සැමියත් චෝදනා කරනවද..?


ගෙදර කෑම බීම හදන්නෙ මම. මට රසට උයන්න පුළුවන්. බොරු නම් ඩයස්ගෙන් අහන්න


අමන්දාගේ සැමියා ඩයස් ඒ කතාවට උත්තර දුන්නේ මෙහෙමයි.


මට ලැබුණේ රසට කෑම හදන්න පුළුවන් වයිෆ් කෙනෙක්. තරු පහේ හෝටලයකින් කෑවා වගේ රසයි. මම පිටින් කෑම කන්නෙ නැහැ වයිෆ් මට රසට උයලා දෙන නිසා. මගේ යාළුවොත් එයාගේ කෑම රසයි කියලා කනවා. කෑම රස වැඩි වුණාම කියන්නෙ හට්ටියම වුණත් කන්න පුළුවන් කියලා , අන්න එහෙම රසයි එයාගේ කෑම. රසට බිරියානි වගේම චිකන් හදනවා. මම වැඩිපුර උයන්න කියන්නේ ඒ දෙක තමයි.


අමන්දා දැක්ක ගමන් කෙනෙකුට හිතෙන්නෙ ආඩම්බර චරිතයක් කියලා. ඩයස්ට ඇයව මුණගැහෙන්නේ රූපවාහිනී වැඩසටහනකදි. ඔබට මොකද හිතුණේ පළමු හමු වීමෙදී..?


හැමෝටම හිතෙන දේ තමයි මටත් හිතුණේ, නපුරුයි මාර ලයින් එකෙන්නේ ඉන්නේ… මෙයා මාර ආඩම්බර චරිතයක් නේ කියලා හිතුණා. නමුත් කතා කරන්න පටන් ගද්දිම ඒ අදහස අයින් කර ගත්තා. කට වහගෙන ඉන්නකල් ආඩම්බරයි කියලා හිතුණට කතා කළාට පස්සේ එහෙම හිතන්නේ නැහැ. එච්චර සුහදව කතාබහ කරනවා.


ඔබ සාමාන්‍ය කෙනෙක්. කොහොමද නිළියක් මේන්ටේන් කරන්නේ කියලා හිතුණේ නැද්ද ඇය ගැන ආදරයක් ඇති වුණු මොහොතේ ..?

අපි ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ ඔය ප්‍රශ්නේ මගෙන් මගේ යාළුවෝ ඇහුවා. කොහොමද බං නිළියක් මේන්ටේන් කරන්නෙ කියලා. මමත් හිතුවා සල්ලි ගොඩක් ඕන කියලා. ඒත් ආදරේ කළාට පස්සේ එයාව අමුතුවෙන් මේන්ටේන් කරන්න මට මහන්සි වෙන්න ඕන නැහැ කියලා දැනුණා. කන්න ඉල්ලනවා එක එක කෑම. ඊට අමතරව ට්‍රිප් එක්කගෙන යන්න ඕන . එච්චරයි එයාට ඕන. ලයිෆ් එක මේන්ටේන් කරන්න දඟලන්නේ නැහැ


ආදරේ ප්‍රකාශ කරද්දී ප්‍රතික්ෂේප කළේ නැද්ද ..?


අපි ටික දවසක් යාළුවෝ වගේ හිටියා. ඊට පස්සේ මට එයා ගැන ආදරයක් ඇති වුණා. ආදරේ ප්‍රකාශ කළොත් යාළුකමත් නැති වෙයිද කියලා හිතුණා. ඒත් හිතේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ , ඕන දෙයක් වෙච්ච දෙන් කියලා ඇහුවා. ප්‍රතික්ෂේප කළේ නැහැ . එයත් කැමැතියි කිව්වා. ඊට පස්සේ තමයි මට බයක් දැනුණේ, අපි දෙන්නට විවාහ වෙන්න බැරි වෙයි බාධක එයි කියලා . ඒ බය තදින්ම තිබ්බා. ඒත් අවසානයේ ඒකත් ඉටු වුණා.


ඒ විදිහට අමන්දාත් ඇයගේ ආදරණීය සැමියාත් අපේ කතාබහට සමු දුන්නා.


හර්ෂණී වීරරත්න




Previous Post Next Post