මම කොණ්ඩෙ කපපු වෙලාවෙ අඬපු ෆෑන්ස්ලත් හිටියා-ෆෙරී ජොනතන්



තුෂාර තෙන්නකෝන්ගේ ‘නිකිණි කුසුම්‘ ටෙලි නිර්මාණය මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබමින් විකාශය වෙයි. එහි චාමිනීගේ පෙම්වතා වන ලකීට පණ පොවන ඔහු නව පරපුරේ රංගන ශිල්පී ෆෙරී ජොනතන් සිල්වාය. හේල්‍යන්හි සහස් සහ ගුරුළු නමින් කළ ද්විත්ව රංගනයෙන් ළමා ලෝකයේ සිහින කුමරා බවට පත් වූයේ ද ඔහුය. නම මෙන්ම උපත ද විදෙස් සම්භවයක් ගත්ත ද ෆෙරී හැදී වැඩෙන්නේ ගිරිඋල්ල ගම් පියසේය. ටිකිරි රත්නායකගේ මුතු කුඩ ටෙලි නිර්මාණයෙන් පුංචි තිරයට පිවිසි ඔහු කොරියන් ටෙලි නිර්මාණයන්ට පෙම් බඳින යෞවනියන්ගේ සිහින කුමරා බවට පත්වී ඇත්තේ ද හිසකෙස් විලාසිතාව නිසාය


ඔබ ශ්‍රී ලාංකිකයෙක්. ඇයි ඔබට ෆෙරී ජොනතන් වගේ නමක් දාල තියෙන්නෙ ?


මං ඉපදිලා තියෙන්නෙ සයිප්‍රස්වල. මගේ අම්මයි, තාත්තයි දීර්ඝ කාලයක් විදෙස් රටවල සේවය කළේ. ඒ නිසා මං හැදුණෙ වැඩුණෙ ගිරිඋල්ලෙ කිරි අම්ම ළඟ. ෆෙරී කියල දාල තියෙන්නෙ තාත්තා එහේ ක්‍රීඩකයෙක්ගෙ නමක්. ජොනතන් කියන කෑල්ල අම්ම දාල තියෙන්නෙ. මූලික අධ්‍යාපනය හැදෑරුවේ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලෙන්. ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණු දක්ෂතාව නිසා කුරුණෑගල මලියදේව විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණා. ඒ කාලෙ මගේ ජීවිතේම වෙලා තිබුණේ ක්‍රිකට් තමයි.


එතකොට ඔබ රංගන ශිල්පියෙක් වෙන්නේ?


පාසල් කාලෙදිම මට රංගනයට අවස්ථාව ලැබුණා. 2016 කෙම්මුර කළුවර කියන ටෙලි නාට්‍යයේ ළමා චරිතයක් නිරූපණය කළාට ඒ නාට්‍ය විකාශය වුණේ නෑ. ඊට පස්සෙ සම්බන්ධ වුණු මුතු කුඩ තමයි මුලින්ම විකාශය වුණේ. ඒ නාට්‍යයේ මං කළේ සෙබළෙකුගෙ චරිතයක්. කිසිම දෙබසක් තිබුණෙ නෑ. ඒක හොඳට කළා කියල අධ්‍යක්ෂවරයා මට ඒකෙම රණා කියන චරිතය දුන්නා. මාව ප්‍රේක්ෂකයන් අතරට ගියේ අහස් මාළිගා නාට්‍යයේ රඟපෑමත් එක්ක. ප්‍රභාත් රෝෂණ අයියයි, නිමන්ති අක්කයි මේ ගමනෙදි මට ලොකු සහායක් වුණා. මේ වෙද්දි තුෂාර තෙන්නකෝන්ගේ නිර්මාණවලට දායක වෙනවා. ඔහුගේ හේල්‍යන් නාට්‍යයේ ප්‍රධාන චරිතය වගේම මේ දිනවල විකාශය වෙන නිකිණි කුසුම්හි චාමිනීගේ පෙම්වතා. චාමිනීට ඉන්නෙ දුනීෂා පියුමි. ගොඩක් නිර්මාණවලට අපි දෙන්නටම කතා කරනවා. මේ වෙද්දි මම මියුසික් වීඩියෝ විස්සකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා.


දුනීෂයි ඔබයි පෙම්වතුන් කියල හිතන අයත් ඉන්නව නේද?


ඔව්. ගොඩක් අය හිතාගෙන ඉන්නෙ අපි දෙන්න පෙම්වතුන් කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. දුනීෂා එක්ක රඟපාන්න පහසුයි. කැළුම් උඩුවාවලගේ බ්ලැක් ෆුල් නාට්‍යයේ රඛිත, අහස් මාළිගා නාට්‍යයේ හේෂාන් ගලප්පත්ති, හේල්‍යන් නාට්‍යයේ සහස්, නිකිණි කුසුම් නාට්‍යයේ ලකී මේ හැම චරිතයකම පෙම්වතිය වුණේ දුනීෂා පියුමි.


තුෂාර තෙන්නකෝන්ගේ හේල්‍යන්හි චරිතය ඔබට විශේෂයි නේද?


ඒක කාලය ගොඩක් ඉදිරියට දිවෙන කතාවක්. සහස්, ගුරුළු කියන ප්‍රධාන චරිත කළේ මං. ඒක ද්විත්ව චරිතයක්. මං ගුරුළු වංශිකයෙක්. මට විශේෂ බලයක් තියෙනවා. ඒ බලය ලැබුණම මං ගුරුළු. සාමාන්‍ය ජීවිතේ දී මං සහස්. ඒ බලය පාවිච්චි කරන්නෙ නරක අය හොඳ පැත්තට ගන්න. විශ්ව දොරටුව අරින එක වැළැක්වීම තමයි මගේ රාජකාරිය. ගුරුළු වෙද්දි ඇස්වල පාට වගේම ඇඳුමෙ පාටත් වෙනස් වෙනවා. වේගෙන් යන්න, නොපෙනී යන්න වගේම බඩු එහා මෙහා කරන්නත් මට පුළුවන්. ඒ ඇඳුමත් විශේෂයි. සටන් පුහුණුවේදි නරේන්ද්‍ර අයියා වගේම අධ්‍යක්ෂ ඇතුළු කණ්ඩායමෙන් ලොකු සහායක් ලැබුණා.


හේල්‍යන් ෂූටින් කරද්දි ආබාධයකට ලක් වුණා කියලත් ආරංචියි?


ඔව්. පළවෙනි දවසෙම වේගෙන් දුවන්න තියෙනවා. පඩි පෙළක් බහිද්දි මගේ කකුළක් උලුක් වුණා. අමාරුවෙන් තමයි ඉතුරු ටික කරගත්තේ. හේල්‍යන් සවස 5.55 බෙල්ට් එකේ විකාශය වුණ නිසා ළමයි අතර තමයි ගොඩක්ම ජනප්‍රිය වුණේ. හේල්‍යන් 2ත් ඉක්මනින්ම ඒවි.


හේල්‍යන් පළමු අදියර ඉවර වුණ ගමන් ෆෙරී කොණ්ඩෙ කැපුව කියල තරුණියන්ගේ දෝෂාරෝපණයට ලක් වුණාලු නේද?


ඔව්. කොරියන් කතාවලට පිස්සු වැටිච්ච ගෑනු ළමයි මගේ ඒ පෙනුමට ගොඩක් ආදරය කළා. මං කොණ්ඩෙ කපපු වෙලාවෙ අඬපු ෆෑන්ස්ල හිටියා. දැන් හේල්‍යන් දෙවැනි අදියර වෙනුවෙන් ආයිම කොණ්ඩෙ වවනවා.


කාලයක් ෆෙරීගෙ ජීවිතේම වෙලා තිබුණෙ ක්‍රිකට් නේද?


පාසල් කාලෙ පළාත් මට්ටමින් වයස 15න් පහළ සහ 17න් පහළ ශ්‍රී ලංකා ටීම් එකේ විසි දෙනා අතරේ හිටියා. ක්ලබ්වලටත් සෙල්ලම් කළා. ආදර සම්බන්ධයක් නිසා ක්‍රිකට් වගේම රංගනයත් නැවැත්තුව කාලයක් තිබුණා. මං කළු වෙලා, කෙට්ටු වෙලා කැත වෙනවට එයා කැමැති වුණේ නෑ. කෙළින්ම නොකීවත් මාව ජිම් යවන්න උනන්දු කළා. ඒ ආදරේ වෙනුවෙන් මං ඒ දෙකම අත්හැරියා. ඒත් අන්තිමට එයා මාව අත්හැරියා.


අහිමි පෙම නිසා තවමත් තනිකඩව ඉන්න ෆෙරී බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ ගෑනු ළමයෙක් ද කියලත් කියමු නේද?


ඒ ආදරේ අවුරුදු 6ක් විතර තිබුණා. මං ගොඩක් කැපවීම් කළා. දැන් මගේ ආදරේ මගේ බයික් එක තමයි. මං බයික් පිස්සෙක් කිවුවත් හරි. මාව තේරුම් ගන්න පුළුවන් මාව හොඳින් දැනෙන කෙනකුට තමයි මං කැමැති. එයා මොන ක්ෂේත්‍රයේ ද කියන එක මට අදාළ නෑ.


නාමලී ගමගේ




Previous Post Next Post