මුරණ්ඩු වැඩ කරන්න මං කැමැතියි -විශ්වා බාලසූරිය

 


දවසේ පඩිය රුපියල් 125ක් ලබමින් තම මව වූ රේණුකා බාලසුරිය නිෂ්පාදනය කළ සරෝජා චිත්‍රපටයේ කාර්මික ශිල්පී කණ්ඩායමේ ටී බෝයිගේ සහායක ලෙසින් ගමනක ආරම්භය සනිටුහන් කරන ඔහු දෙස් විදෙස් සම්මානනීය ඇගැයුම් පැසසුම් ලැබු කැමරා අධ්‍යක්ෂවරයකු වේ යැයි කිසිදා නොහිතන්නට ඇත. තම බාප්පා වූ ලලිත් පේ‍්‍රමතිලකයන් නෙගටිවු රීල් එකක් දමා දුන් කැමරාවකට ඇස තබමින් චිත්‍රපට කැමරාවක් අත පත ගානා මේ පුද්ගලයා පසු කලෙක තම මව විසින් නිෂ්පාදනය කරන ‘සිරි රජ සිරි’ චිත්‍රපටයේ තෙවැනි සහය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කිරීමට අවකාශ උදාකරගනුයේ තමන් එවැන්නක් බලාපොරොත්තු නොවූ අවස්ථාවකය. එහිදී 35ථථ කැමරාවට ඇස තියන්නට ඔහුට අවකාශ උදාවනුයේ තමන් පුරුවේ කළ පිනකටය. එදා ජීවිතයේ පළමු වතාවට සිනමා කැමරාවකට ඇස තැබූ ඔහුට තමන් කිසිදා නොදුටු වෙනම ලෝකයක් දිස්වන්නට විය. ඒ දුටු විචිත්‍රවත් බවෙන් තම මනස ප්‍රමුදිත කරගත් ඔහු එතැන් පටන් සිනමා කැමරාවට පණමෙන් ආදරය කරන්නට විය. එතරම් වූ අසීමිත ආදරය නිසාම සිනමා කැමරාකරණය පිළිබඳ විසල් දැනුම සොයා ඔහු විදෙස් ගත වූයේ කිසියම් හෝ දිනක ලෝකයේ අති නවීණ සිනමා කැමරාවන්හි සියලු දැනුම තම ග්‍රහණයට නතුකරගන්නා අදහසිනි. වසර ගණන් පුරා අධ්‍යයනයන් ලබමින් සිනමා කැමරාකරණය අති නවීන කැමරා උපාංගයන් හසුරවමින් ඉගෙනගත් ඔහු තම ඥානය යොදමින් සිනමා නිර්මාණයන් කරන්නට පෙළඹුණේ දේශීය මෙන්ම විදේශිය සම්මානයන්ට ද පාත්‍ර වෙමිනි.


සරිගම, සන්සාරණයේ දඩයක්කාරයා, සුනාමි, ජංගි හොරා, ආසු, සෙවණැළි, තුන්පත් රෑන, බරතලී, මේඝ, කොරෝනා කාලයේ ආලය ආදී චිත්‍රපට රැසක් කැමරා අධ්‍යක්ෂණය කළ ඔහු තමා මුල්වරට කැමරා අධ්‍යක්ෂණය කළ සරිගම චිත්‍රපට නිර්මාණය වෙනුවෙන් 2018 වසරේ 34 වැනි සරසවිය සම්මාන උලෙළේ 2016 වසරේ තිරගත වූ චිත්‍රපට අතුරින් හොඳම කැමරා අධ්‍යක්ෂවරයා ලෙසින් සරසවිය සම්මානය දිනාගනු ලැබීමට තරම් වාසනාවන්ත විය. තම මව වූ රේණුකා බාලසුරිය නිෂ්පාදනය කළ සරිගම චිත්‍රපටයේම හොඳම කැමරා අධ්‍යක්ෂවරයා වන්නට තරම් එදා ඔහු වාසනාවන්ත වීම ද තවත් විශේෂ ලක්ෂණයක් විය. මේ දිනවල සාර්ථකව තිරගත වන සංජීව පුෂ්ප කුමාරගේ ආසු චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා ද වන ඔහු නමින් විශ්වා බාලසූරියයි.


ලාංකේය සිනමා කර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් වූ ඩිජිටල් කැමරාකරණයේ මූලාරම්භකයා වූ විශ්වා බාලසුරිය හා කතාබස් කරමු.


විශ්වා, මේ දවස් වල සිනමා කැමරාකරණයේ අලුත් තොරතුරු කොහොමද?


වැඩ නම් අඩුයි, මට 2021 වසරේ අගභාගයේ මගේම කියල පටන් ගත්ත තිංකින් මන්කිස් ප්‍රඩක්ෂන් හවුස් එකත් මේ දවස්වල නතර කරල තියෙන්නේ මිනිස්සුන්ට තියන ආර්ථික ප්‍රශ්නත් එක්ක. වැඩවලට මුදල් වියදම් කරන එක අඩුවෙලා ලංකාවේ ගොඩක් අය වැඩකරන්නේ කොලිටිය බලලා නෙමේනේ. ලෝ බජට්නේ කරන්නේ ඒවා කරන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවා හරිම කොලිටි වැඩක් කරන්න හරිම අඩුයි.


මේ දවස් වල ඔබේ කාර්ය භාරය?


මගේ බිරියගේ ඉසුරි රාමනායකගේ පැලවත්තේ තියනවා මෝන්ටිසෝරියක්. ඒක විශේෂිත මෝන්ටිසෝරියක් ස්වභාව දහමත් සමඟ එකතු වූ පෙර පාසලක්. මේක ළමයාගේ වර්ධන වේගයට ළමයාට වර්ධනය වන්නට ඉඩහරසර විවෘත වූ තැනක් මේක හොඳ මනුස්සයෙක් වන්න ඕනෙ කරන තැනක් මිසක් ගණන් ඉලක්කන් අකුරු උගන්වන තැනක්ම නොවෙයි. ඉතිං මමත් බිරියත් එකතු වෙලා මේ සමාජ සත්කාර ව්‍යාපාරය දියුණු කරන්න කටයුතු කරමින් ඉන්නේ. අපි සමාජයේ කොයි දේ වෙනස් කරන්න හැදුවත් සමාජයේ පරිණත මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් කරන්න හරි අමාරුයි. දැනුම ළමයි හොයා ගනියි. ඒත් මනුස්සකම හිත තෙතවන ගතිය අපේකම අපි ආයෙත් පොඩි පැටවුන්ගෙන් පටන් ගන්න තමයි බේබි මයින්ස් ශ්‍රී ලංකා අපි පටන් ගත්තේ.


මෙතෙක් ආ පෙර පාසල් සම්ප්‍රදායෙන් ඔබ්බට යන ගමනක් යන්නට තනන ඔබලාට සාර්ථක ගමනක ලකුණු දකින්න තියනවද?


මේක උඩු ගං බලා යන ගමනක්. දෙමව්පියන්ට දරුවන්ගේ මනස ගැන අවබෝධයක් නෑ. ඔවුන්ට තියෙන්නේ සමාජය යන රැල්ලේ ගමනක්. ස්වභාව දහමේ ආලෝකය ළමයට දීල ළමයා ගේ පාට ලෝකය අපි දකින්න තමයි අපේ පරමාර්ථය. ලෝකයේ මෙතෙක් භාවිත වන නමුත් ලංකාවේ මෙතෙක් භාවිත නොවන ක්‍රමයක් තමයි අපි ක්‍රියාවට නගන්න උත්සාහ ගන්නේ. ළමයින්ගේ මනස විවෘත සිනිදු තැනක්. ළමා මනස කියන්නේ අවුරුදු පහක් හයක් යනකන් ලියපු නැති පොතක්. ඒ තුළ අපිට ඕනෙ දෙයක් ලියන්න පුළුවන්. මම කියන්නේ අපි දෙමව්පියෝ හැටියට මේ පොතේ මොනවද ලියන්නේ කියල දෙමව්පියෝ හැටියට අපි ඒ ළමයි ගේ පොතේ ලියපු දේවල් වල තියන වැරදි දේ නිසා තමයි අද මේ සමාජයේ දුර්විපාක අපිට දකින්න තියෙන්නේ. සාම්ප්‍රදායික අච්චුවේ ඉන්න දෙමාපියන් අතර වෙනස් වෙන්න කැමති දෙමව්පියෝ අපිත් එක්ක ඉන්නවා. ඒ අයට දරුවාගේ පිබිදීමේ වෙනස හොඳින් දකින්න තියනවා.


මේ දවස් වල ඔබගේ කැමරා අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කළ ආසු තිරගත වෙනවා?


සංජීව පුෂ්පකුමාරගේ අධ්‍යක්ෂණයක් වූ ආසු චිත්‍රපටය අපි කළේ 2021 වසරේ. මේ දවස් වල ආසු සාර්ථකව පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගතවීම සම්බන්ධයෙන් එහි කැමරා අධ්‍යක්ෂ හැටියට මට ගොඩක් සතුටුයි.


කැමරා අධ්‍යක්ෂණයෙන් විචිත්‍රවත් වූ තවත් සිනමා නිර්මාණ ඇති ඉදිරියේදී තිරගත වෙන්න?


මගේ කැමරා අධ්‍යක්ෂණය එක් වූ සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු, උදාර අබේසුන්දරගේ සෙවණැලි, අශෝක අතාවුදහෙට්ටිගේ තුන්පත් රෑන දනුශ්ක රේමන්ඩ්ගේ බරතලී, සේනක විජේසිංහගේ මේඝ, ප්‍රසන්න ජයකොඩිගේ කොරෝනා කාලයේ ආලය චිත්‍රපට නිර්මාණ ඉදිරියේ දී තිරගත වෙන්න තියනවා.


සාම්ප්‍රදායික සිනමා කැමරාකරණයට ලාංකේය සිනමාව තුළ වෙනසක් ඇති කළ පුද්ගලයෙක් නේද ඔබ? නවීණ තාක්ෂණික කැමරා භාවිතය සමඟ නොවේද ඔබ සිනමා කැමරාකරණයට අත්පොත තබන්නේ?


මේ වෙනසට මම මුලික වෙනවද කියල නම් මම හරියට දන්නේ නම් නෑ. නමුත් ලංකාවට ඩිජිටල් කැමරා තාක්ෂණය හඳුන්වා දෙන්න පෙරමුණගත් පුද්ගලයෙක් හැටියට ලංකාවට ඩිජිටල් කැමරාකරණය හඳුන්වා දීමේ පුහුණුවට යන පුද්ගලයා තමයි මම ඩිජිටල්කරණයට පරිවර්තනය වන රෙඩ් එපික් කැමරාව තමයි ලංකාවට මේ පරිවර්තනය රැගෙන එන මුල්ම කැමරාව වන්නේ. ඒ කැමරාව උපයෝගී කරගෙන මුලින්ම කැමරාකරන්නේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛශ්නාවී චිත්‍රපටය. ඒ සඳහා මුලික වන්නේ ඒෂියා ඩිජිටල් ආයතනය. මේ ආයතනය තමයි මාව තෝරාගෙන මේ පිළිබඳ හැදැරීමට අමෙරිකාවට පිටත්කර හරින්නේ. ඒ පිළිබඳ මම පුහුණුවක් ලබා ලංකාවට ඇවිත් ඩිජිටල් කන්සල්ටන්ට් කෙනෙක් හැටියට වැඩ කළා. මේ වෙනස්වීම සම්බන්ධව සියලු දෙනා දැනුම්වත් කිරීමේ කාර්ය්‍යයේ ඒ අනුව තමයි ලංකාවේ ඩිජිටල් සිනමාවේ මාරුව සිද්ධ වෙන්නේ. එතෙක් පැවති සිනමා රිල් එක ඩිස්ක් එකක් බවට පත් වීම සිද්ධ වන්නේ මෙන්න මෙතනදී ඒ කාර්ය සිද්ධ කරන සම්බන්ධීකාරක වන්නෙත් මම.


විශ්වා මුල්වරට කැමරා අධ්‍යක්ෂණයෙන් මෙන්ම මුල්වරට චිත්‍රපට නිෂ්පාදනයෙන් එක් වූ සෙවනැලි චිත්‍රපටය අද වනතුරුත් තිරගත නොවුණේ ඇයි?


සිනමාකරණය ඉගෙන ගෙන දැනුම තිබුණට නවකයෙක් හැටියට කාටවුණත් චිත්‍රපට කැමරාකරණය දෙන්න ක්ෂේත්‍රයේ අය මැලිකමක් දැක්වීම සමාන්‍ය දෙයක්. ඒ නිසාම මගේ හැකියාව පෙන්වන්න මට චිත්‍රපටයක් කරන්න අවශ්‍ය වුණා. ඒ අනුව මගේම චිත්‍රපට නිෂ්පාදනයක් ලෙස මගේම කැමරා අධ්‍යක්ෂණයෙන් කළ එළි බහින්න. මට අවශ්‍ය වූ නිසාවෙන්. මමත් සමඟ ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගත්ත. උදාර අබේසුන්දරගේ අධ්‍යක්ෂණයෙන් මගේ නිෂ්පාදන දායකත්වයෙන් හා කැමරා අධ්‍යක්ෂණයෙන් 2013 දී සෙවණැලි චිත්‍රපටය නිර්මාණය කළා. ඒත් අද වෙන තුරුත් එය තිරගත කරගන්න බැරි වෙලා තියනවා. මම තිරගත කරන්න ට්‍රයි කරනවා. එත් හෝල් අයිති කාරයෝ මට දෙන්න හදන්නේ අතරමැදි කාලයක් සතියකට රිලීස් කරන්න වගේ මම දන්නෑ ඇයි. ලංකාවේ තිබුණා අන්තර්ජාතික සම්මානයක් ලැබුණාම ප්‍රයරෝටි දෙනවා කියලා. ඒත් මට නෑ. මට මේ චිත්‍රපටයට හොඳම කැමරාකරණයට අන්තර්ජාතික සම්මානය ලැබුණා. ඒත් මට ඒ ප්‍රමුඛතාව නෑ. මම දන්නෑ ඇයි මට එහෙම කරන්නේ කියලා. දෙනවා නම් දෙන්නම් සතියකට දෙකකට කියල කියනවා. එහෙම දාල තේරුමක් නෑ. ඉතිං කැටේ මාරුවෙනව වගේ මේතාක් රිලීස් නොවී ආව මේ අවුරුද්ද වෙනකන්.


ඔබගේ නිෂ්පාදනයෙන් මුල්ම කැමරා අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ සෙවණැලි චිත්‍රපටය අන්තර්ජාතික සම්මානයට පවා පාත්‍රවෙනවා නොවේද?


නිව්යෝක් අන්තර්ජාතික ලේක් චැම්ප්ලේන් සිනමා උලෙළේ දී හොඳම කැමරා අධ්‍යක්ෂණය සඳහා සෙවනැලි අන්තර්ජාතික සම්මානයෙන් පුද ලබනවා. මෙහි තියන විශේෂත්වය තමයි ලංකාවේ අන්තර්ජාතික සම්මානයක් ලබන මුල්ම ඩිජිටල් තාක්ෂණයෙන් නිර්මාණය වන චිත්‍රපටය සෙවණැලි වීම. ඒ වගේම තවත් විශේෂත්වයක් තියනවා. මෙවැනි සම්මාන උලෙළකදී ලංකාවේ ලාබාලතම කැමරා ශිල්පියෙකු මේ සම්මානය මුල්වරට ලබා ගැනීමත් ලංකාව ලැබූ ජයග්‍රහණයක්.


ලංකාවේ සිනමාකරුවා ලෝක සිනමාකරුවා සමඟ ගත්තොත් ?


අපි බොහොම අඩුපහසුකම් යටතේ තමයි ලෝක සිනමාවත් සමඟ හැප්පෙන්නේ. මම පිට රට වැඩකරන කොට ඒ සිනමාකරුවෝ කිව්වේ ඔය ගොල්ලන්ගේ දහදෙනෙක් මෙහි වැඩට ආවොත් අපෙන් සියදෙනෙක් එළියට යනවා කියලා. අපි අපිට තියන අඩු පහසුකම් මත නිර්මාණය කරනවා. නමුත් අවසානයේ අවුට්පුට් එකට ඒ කරපු විධිය අවශ්‍ය නෑ. නමුත් ලෝකෙට ලැජ්ජානැතුව පෙන්වන තැනක ඒ නිර්මාණය තියනවා. ඒක තමයි ලංකවේ සිනමාකරුවාගේ වෙනස. මම කැමරා ශිල්පියෙක් ලෙස දකින දෙයක් තමයි ලෝකයේ ඉන්නවා රැලි හදන කට්ටියක් සහ ඒ රැලි අනුගමනය කරගෙන යන පිරිසක් එතනදී තමන් තීරණය කරන්න ඕනේ තමන් ට්‍රෙන්ඩ් මේකර් කෙනෙක් ද ට්‍රෙන්ඩ් ෆලෝ කෙනෙක් ද කියලා. මම හැමවෙලාවේම ඉන්නේ ට්‍රෙන්ඩ් මේකර් කෙනෙක් ළඟ කළත් කරන්නේ උඩුගං බලායන එක තමයි. ඒවා සමාජගත කිරීම තමයි අමාරු. තමන් තමන් කවුද කියල හඳුනාගත්තොත් ඒ දේ කරන්න පහසුයි.


විශ්වා කැමරා අධ්‍යක්ෂණයේ අභියෝගාත්මක චරිතයක්?


ඔව්. මම අභියෝග භාරගන්න බොහොම කැමති කෙනෙක්. මල්ටි කැමරා දෙකකින් මුලු චිත්‍රපටයම ෂූට් කරපු ලංකාවේ පළමු චිත්‍රපටය තමයි. සරිගම චිත්‍රපටය. රෙඩ් කැමරා දෙකකින් තමයි ෂූට් කළේ. සංසාරේ දඩයක්කාරයා චිත්‍රපටය තමයි මම දන්නා තරමින් පවතින ආලෝකය යටතේ ෂූට් කරපු එකම චිත්‍රපටය කෘත්‍රිම ආලෝකය තියා රිෆ්ලෙක්ටර් බෝඩ් එකක්වත් නැතුව කළ ඒක ඇත්තෙන්ම අභියෝගයක්. ඒ සඳහා මුළු නිෂ්පාදන කණ්ඩායමක් හැඩ ගැහෙන්න ඕනේ. මම ආඩම්බර වෙනවා අනික් අයට වඩා රටේ පවතින ආලෝක තත්ත්වය යටතේ යමක් කරන්න පුළුවන් කෙනෙක් වීම ගැන. මම ස්වභාව දහමේ ආලෝකයට ගොඩක් කැමතියි. ඒක නිර්මාණයක් වෙත ගේන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ තරම් ලස්සන ආලෝකයක් වෙත කොහෙවත් නෑ. ඒ වගේ මුරණ්ඩු වැඩ ටිකක් කරන එක තමයි මගේ කැමැත්ත. මමත් එක්ක වැඩ කරපු අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු දන්නවා ඒක. කොච්චර වැඩේට උදවුවෙනවාද නිර්මාණය තුළ ඒ දේ කොච්චර ලස්සනට පිහිටවනවද කියලා.


විශ්වා අවසන්වරට කැමරාකරණය කළ සිංහබාහු චිත්‍රපටය පවා ඔබට අභියෝගයක් වුණාද?


ඔව්. සිංහයාගේ කැරැක්ටර් එකට තෝරාගෙන හිටිය ජැක්සන් ඇන්තනී මහත්තයා රූපගතකිරීම් කීපයක් සිදුකර තිබියදී හදිසියේ අනතුරකට පත් වී ඔහුට රෝහල්ගත වෙන්න සිද්ධ වෙනවා. අවසානයේ කලක් බලා හිද එහි අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක සිංහයාගේ චරිතය කරන්න අකිල දනුද්ධරව යොදාගෙන චිත්‍රපටය රූපගත කරන්න පටන් ගන්නවා. එහිදී ඔහුට දාන්න තිබුණා. හෙව් කොස්මැටික් මේකප් එකක් ඒ මේකප් එකට සෑහෙන්න කාලයක් යනවා. ලංකාවේ ඒ මේකප් ඒක කරන්න හරියට අපිට මැටීරියල් තිබුණේ නෑ. ඒ කාලේ ලංකාවට පිටරටින් බඩු ගෙන්න දෙන්නෙත් නෑ. එහෙම තත්ත්වයක් තුළ මේ චිත්‍රපටය කරනකොට මේකප් එකට විතරක් පැය 12ක් විතර යනවා. ඒ පැය දොළහා යනකොට කැමරා ශිල්පියා හැටියට මට තියන ස්වභාවික ආලෝකය තමයි නැතිවෙලා යන්නේ. දවසින් භාගයක් ගිහින් ඒ චරිතය සෙට් එකට එනකොට. මට ලයිට් එක නැතිකොට අධ්‍යක්ෂක හා නිෂ්පාදක කණ්ඩායම මේක ගමු කිව්වහම මම එයාලට දෙයක් දිය යුතුයි. නමුත් එතනදී වෙච්ච දේ ගැන චිත්‍රපටය බලන කොට රූපරාමුව තුළ ඉඳගෙන විවේචන කළාට වැඩක් නෑ. අන්න ඒ විවේචනයට මම කැමරා ශිල්පියා ලෙස පිළිතුරක් සෙවිය යුතුයි. ඒකයි මම කියන්නේ සිනමා කැමරා අධ්‍යක්ෂවරයෙක් කියන්නේම කලාත්මකභාවය සියයට පණහක් තියන පරිපාලන හැකියාව සියයට පණහක් තියන පුද්ගලයකු විය යුතුයි කියලා. කැමරා අධ්‍යක්ෂවරයෙක් මේ සියලු වපසරියන් සියල්ල තුළ ඉඳගෙන වැඩ කළ යුතුමයි. එහෙම නැත්තම් නිර්මාණයක් කරගෙන යන්න බෑ සාර්ථකව.


මම තව දෙයක් කියන්න ඕනේ. මෙහි අධ්‍යක්ෂ සෝමරත්නයන් කියා සිටිනවා. වැස්සට පෙර ගස් ඇඹරෙන්න ඕනෙ කියලා. මගේ මව රේණුකා බලාසුරිය තමයි මෙහි නිෂ්පාදිකාව. මේ කතාව කිව්වේ කළුදිය පොකුණේ දී. ඒ පාර අපි නිකමට කිව්වා එහෙමනම් ඉතිං ඒකට හෙලිකෝප්ටරයක් ඕනෙ වෙයි කියලා. ඒ පාර රේණුකා බාලසුරිය ඇහුවා කවදට ද ඕනෙ කියලා. අපි විහිළුවට ඒ දේ කිව්වේ. නමුත් රේණු කා බාලසුරිය අපිට හෙලිකොප්ටරයක් ගෙනත් දුන්නා. ඒ වැඩේට අපිටත් හිතාගන්න බෑ. හෙලිකොප්ටරය ගෙනත් තමයි ඒ හුළං පාර අරන් ගස් ඇඹරෙන සීන් ගත්තේ. මට එදා තමයි තේරුණේ සෝමරත්න දිසානායක රේණුකා බාලසුරිය කොච්චර නිර්මාණයකට අවංක ද කියල ඒ දර්ශනය චිත්‍රපටය තුළ තියෙන්නේ තත්පර දහයයි. තත්පර දහයේ සීන් එකටත් හෙලිකොප්ටරය ගෙනවා. අපිට මුළු චිත්‍රපටයම අභියෝගයක් වුණා. මහ කැලේ තමයි අපි වැඩි හරියක් රූපගත කළේ. ස්වභාව දහමත් එක්ක තමයි අපි නිතර ගැටුණේ. එතකොට අපිට කාලය කියන දේ රත්තරං. අපිව වැහි වලට අහුවුණා. මට ආලෝකය කියන දේ අභියෝගයක් වුණා. චිත්‍රපටය එළහරකායි මීහරකයි විධියට නොකර එළහරකක් දෙන්නෙක් හරි මී හරක් දෙන්නෙක් හරි විධියට හදන්න මට අභියෝගයක් වුණා. කැමරාවට මොන ප්‍රශ්න ආවත් සිංහබාහු රූපරාමු කතාවේ තියන ලස්සන ඒ විිධියට අපි චිත්‍රපටය පුරාවට එකතු කරල තියනවා. දැවැන්ත චිත්‍රපටයක් වූ සිංහබාහු තුළට අපේ සියලු දෙනාගේම උපරීම කැපකීරිම ශ්‍රමය යොදලා තියනවා. ඒ හැම දෙනාගේම ශ්‍රමය මගේ රූපරාමු තුළින් දැනෙනකොට කැමරා අධ්‍යක්ෂවරයෙක් ලෙස එන පීඩනය සමනය වෙනවා. මම හොඳ රූපරාමුවක් චිත්‍රපටයට ගොනු කළා නේද කියලා හිතෙනකොට.


ජැක්සන් ඇන්තනී අනතුරට පත්වෙනකොට කොතරම් රූපරාමු ප්‍රමාණයක් අරගෙන ද තිබුණේ?


සීන් තුනක් අපි කරල තිබුණේ. මුල්ම රූපගත කිරිම කළේ කළුදිය පොකුණේ. මේ චිත්‍රපටයටත් අපි මල්ටි කැමරාතමයි යූස්කළේ. පවතින ආලෝකය යටතේ චිත්‍රපට කරන එක ගැන ජැක්සන් අංකල්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා මම කිව්වා ජැක්සන් අංකල් එන්න කොහොමද වෙන්නේ කියලා බලන්න කියලා. පළවෙනි දවසේ කළුදිය පොකුණේ එයාගේ දර්ශනය ගත්තේ. එක ටේක් එකෙන් මුල් දර්ශනය ඉවර කළා. ඒ පාර ජැක්සන් අංකල් ඇහුවා සෝමේ සීන් එක ඉවර ද කියලා. අපේ තාත්තා කිව්වා ඔව් ඉවරයි කියලා. ඒ පාර ජැක්සන් අංකල් කිව්වා ඒක මරුනේ බං කියලා. ඊට පස්සේ ඔහු එක මගේ පිටට තට්ටු කරල කිව්වේ මම හරි ආසයි උඹ කොල්ලෝ මේ කැමරාවේ කොන් හතර පාට කරන විධියට කියලා. ඒක මට ජැක්සන් ඇන්තනී මහත්මයාගෙන් හම්බ වෙච්ච හොඳ ඇගයීමක්. ඔහුගේ රාත්‍රි දර්ශනයේදීත් අපි ආලෝකය ගත්තේ පන්දම්වලින්. මම ජැක්සන් අංකල්ට පන්දම භාවිත කළයුතු අයුරු කියලා දුන්නා. ප්‍රොපෙෂනල් නළුවෙක් විධියට ඔහු මම කිව්ව දේ හරියටම කළා. සීන් එක අරන් අවසානයේ ප්ලේ බැක් එක බලලා ජැක්සන් අංකල් කියනවා පුතා මේ බලන්න මගේ ඇගේ හිරිගඬු පිපෙනවා. උඹ නම් මරු කොල්ලෙක්. අපි එහෙනම් රෑට පොඩි ජොලියක් දාමු කියලා තමයි අපෙන් සමුඅරගෙන ගියේ. ඒ යන අතරේ තමයි අනතුර ඔහුට සිද්ධ වෙලා තිබුණේ.


ඔබට අභියෝග වූ චිත්‍රපට නිර්මාණ මොනවද?


හැම චිත්‍රපටයක්ම මට අභියෝගයක්. ඒවා මම භාරගත්ත හේතු කාරණා තිබුණා. සමහර චිත්‍රපට මම සල්ලි අරන් නැතිව වැඩ කළ අවස්ථා තිබුණා. චිත්‍රපටයට හොඳක් කරන්න ගිහින් තමයි මට අභියෝග ආවේ. එහෙම නැතුව මම නාගන්න ගිහින් අභියෝග ඇවිත් නෙමේ. අධ්‍යක්ෂවරයා ඔළුවේ දැකපු දේ මම රූපයට ගෙන්න පුදුමාකාර මහන්සියක් දරනවා.


ප්‍රවීණ අධ්‍යක්ෂවරු හැරුණුකොට නවක අධ්‍යක්ෂවරුන් සමඟ වැඩ කිරීමට ඔබ මැළිකමක් දක්වනවා ද?


නෑ. කොහෙත්ම නෑ. මට නවකද ප්‍රවීණ ද කියල නෑ. මගේ වෘත්තීයභාවය තුළ ඉදගෙන ඔහුට හෝ ඇයට අවශ්‍යය රූප රාමුව ලබාදීම මගේ අරමුණයි. ඔවුන්ගේ කුලුඳුල් දරුවා බිහි කරන්න මම උදවු කරනවා. මම කවදාවත් මිනිස්සු පිළිබඳ මතිමතාන්තර තල තියල නෑ. හැමෝටම සලකන්නේ මට හිතෙන විධියට තමයි ඒ හින්දම තමයි මට ජීවිතයෙත් වරදින්නේ කවුරුහරි අවංකව නිර්මාණයක් තුළ හිටගන්නවා නම් ඒ අවංකභාවය මට පෙනෙන්න තියනවා නම් මම අවංකව හිටගන්න ඕනෙ වෙලාවක ලෑස්තියි.


අද බිහිවන සිනමාකැමරා අධ්‍යක්ෂවරුන් ගැන ඔබට හැඟෙන්නේ?


ලංකාවේ දැන් බිහිවන කැමරා අධ්‍යක්ෂවරුන් තුළ හොඳ නිර්මාණ ශක්තියක් තියනවා. පරිණතභාවය දැනුම වර්ධනය සංයමයක් කියන දේ නිර්මාණය තුළ හදාගත්ත එක තමයි අමාරු කාර්ය. තරුණ සිනමාකරුවන්ගෙන් මම බොහෝ දේ ඉගෙන ගන්නවා. ඒක කැමරාකරණයට නොවෙයි. තරුණ සිනමාකරුවන්ට මම කියන්නේ මුලින්ම තමන් කවුද කියන දේ හඳුනාගන්න කියලා. ඊට පස්සේ තමන් දකින දේ ලෝකයට දාන්න හරි පහසුයි. වෙන කෙනෙක් ගේ දේ තමන් උකහා ගෙන ඒ දේ එළියට දාන එකේ පැවැත්මක් නෑ.


විශ්වා බාලසුරිය කියන සම්මානනීය සිනමා කැමරාඅධ්‍යක්ෂවරයා සොයාගත්තේ ඔබම කිව්වොත්?


මට මේ ගමන එන්න ගුරුවරු හිටියේ නෑ. මගේ බාප්පා ලලිත් පේ‍්‍රමතිලකයන් නෙගටිව් රිල් එකක් දමා ලබාදෙන කැමරාවකට ඇස තැබීමෙන් තමයි මේ ලෝකය මම දකින්නේ. මම ස්වයං අධ්‍යයනයක් තුළ තමයි මේ දේ ඉගෙන ගන්නේ. මට තිබුණු අභියෝගය තමයි මම කවුද කියන දේ හොයාගැනීම ඒක මම තවම හොයනවා. හැබැයි ඒක හොයන්න හොයන්න මේ ගමන යන්න මට හරිම ලේසියි.


ලෝක සිනමාව තුළ අද බිහිවෙලා තියන නවීණ කැමරා ඔබට අතපත ගාන්න ලැබිල තියනවාද ලෝක තලයේ චිත්‍රපට කැමරාකරණයට ඔබට ආරාධනා තියනවද?


මම දැනට ලෝකයේ භාවිත වන නවීණ චිත්‍රපට කැමරා අතපත ගාල මගේ ඇහැ තියල වැඩ කරල තියන කෙනෙක්. ඒ වගේම මම විදෙස් රටවල චිත්‍රපට නිර්මාණ වෙනුවෙන් ආරාධනා කීපයක් ලැබිලත් තියනවා. මගේ හීනය තිබුණේ ලංකාව තැනකට ගේන්න. මේ රටේ සිනමාව ලෝකයට ගෙනයන්න මට ඕනේ වුණා. මම ඉපදෙන්නේම ඇක්ෂන් කට් ඇතුළේ. කලකිරීම්, වේදනාවන් හිත් රිදීම් ආවත් තාමත් මගේ හීනය තියෙන්නේ ලංකාවේ සිනමාවෙන් යැපෙන පුද්ගලයන්ගේ ජිවිත මීට වඩා හොඳ තැනකට ගේන්න.


කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස සිනමාවේ රැඳෙන්න ද ඔබේ එකම බලාපොරොත්තුව?


නෑ. මගේ හීනය චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙස වැඩ කිරීම. ලංකාවේ චිත්‍රපට නිෂ්පාදකයකුට විතරයි. මේ සිනමාවේ වෙනස්කම කරන්න පුළුවන්. සිනමාවේ තියන තත්ත්වය ඉහළට ගන්න පුළුවන් නිෂ්පාදකයෙකුට පමණයි ඒක මම ඇස් පනාපිටම දැකල තියනවා. මගේ දෙමව්පියෝ කරනවා. මම මේ හැම අත්දැකීමක්ම අරගෙන යන්න හදන අන්තිම තැන තමයි නිෂ්පාදකවරයෙක් කියන තැනට. හැබැයි මට පේන තෙක්මානයක පේන්න නෑ. අපේ සිනමාව කොහෙද යන්නේ කියල හැමෝම බලන්නේ එදාවෙල ජීවත් වෙන්නේ කොහොමද කියන එක මත. අපිම තමයි මේක ගොඩගන්න ඕනේ. නොකා නොබී ඉඳලා හරි නැත්නම් වෙන කවුරුවත් එන්නේ නෑ මේක ගොඩගන්න. හැමෝම කැමතියි අපි වේදනාවෙන් ඉන්නවා දකින්න. අපි කුලල් කා ගන්නවාට කැමතියි. මේ වලේ වැටිල හැමදාම ඉන්නවාට කැමතියි. මම කියන්නේ හැම කලාකාරයකුටම මේකට හරි නියාමනයක් ගෙනත් තමන්ගේ පෞද්ගලික වාසි නොතකා පුළුවන්නම් ලංකාවේ සිනමාව හරි තැනකට ගොඩගන්න හිටගන්න පුළුවන්නම් මේක හොල්ලන්න බෑ.


කොහොමද දැන් පවුලේ තොරතුරු?


දැන් මම දරුවෝ තුන්දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. බිරිය ඉසුරි රාමනායක, ලොකු පුතා අගතිසි විශ්වජිත්, දුව යුගන්තා විශ්වපාලි, පොඩි පුතා තිවන්දර විශ්වනාත්


චන්දන දයාසිරිවර්ධන




Previous Post Next Post