ඇය එදාට තාත්තාගේ ආසාව ඉටුකරයි - ගයාන් ගුණවර්ධන




 'තාත්තයි පුතයි' ප්‍රසංගය නැවතත් වේදිකාගත වෙනවා. හැබැයි එහි වෙනසක් තියෙනවද?


ඔව්.. මුලින්ම තාත්තයි පුතයි ප්‍රසංගය පැවැත්වුවේ 2018 දෙසැම්බර් 9 වැනිදා. තාත්තා මිය යාමට පෙර අපි 'තාත්තයි පුතයි' ප්‍රසංග දෙකක් පැවැත්වුවා. මුලින්ම මහරගම තරුණසේවා රඟහලේදීත් දෙවැනි වතාවට අනුරාධපුරයේදීත් අපි ප්‍රසංග පැවැත්වුවා. ඉතින් මෙවර තුන්වැනි ප්‍රසංගය නොවැම්බර් මස 18 වැනිදා කොළඹ BMICH රඟහලේදී පැවැත්වීමට සියල්ල සූදානමින් තියෙනවා. මුල් ප්‍රසංග දෙකට තාත්තා සහභාගි වුණත් තාත්තගේ වියෝවත් සමඟ මේ ප්‍රසංගයේදී තාත්තගේ අඩුව දැනේවි.


මෙය නුවන් ගුණවර්ධනයන්ට උපහාර ගී උළෙලක් ලෙස පවත්වන බව තමයි ආරංචිය?


ඔව්. අපි මේ ප්‍රසංගය නම් කළේ 'තාත්තයි පුතයි Present tribute to Nuwan' ලෙසයි. අවාසනාවන්ත ලෙසින් මේ ප්‍රසංගයට තාත්තට සහභාගි වෙන්න ලැබෙන්නෙ නැහැ. නොවැම්බර් 18 වැනිදා රාත්‍රී 7ට අපි ප්‍රසංගය ආරම්භ කරනවා. මේ ප්‍රසංගයෙන් නුවන් ගුණවර්ධන කියන කලාකරුවා, නිර්මාණවේදියා, සැමියා, තාත්තා, සහෝදරයා වගේම ඒ මිනිසා ගැන ඇගයීමක් කරනවා. අපේ ප්‍රසංගය පුරාවට ඔහු ජීවමානව අපි සමඟ සිටීවි.


 මේ ප්‍රසංගයට සම්බන්ධවෙන අනෙකුත් කලාකරුවන් කවුද?


මේ ප්‍රසංගයට අපිත් සමඟ කලාකරුවන් කිහිප දෙනෙක්ම සම්බන්ධ වෙනවා. ඒ අතරින් සජිත ඇන්තනී, කාවින්ද්‍යා අධිකාරි, ගයාන් උඩවත්ත, පියත් රාජපක්ෂ, දිමිත්‍රි රාජසිංහ ඇතුළු කලා ශිල්පීන් ශිල්පිනියන් එදිනට නුවන් ගුණවර්ධනයන්ගේ ගීත ඔවුන්ගේ ශෛලයෙන් ගායනා කරනවා.


 'තාත්තයි පුතයි' ප්‍රසංගයට 'පාර දිගේ' කණ්ඩායම එකතු වෙනවා නේද?


ඔව්. මේ ප්‍රසංගය සුන්දර කරන්න ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ පාර දිගේ ටෙලිනාට්‍යයට මාත් එක්ක එකතු වුණු ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් වෙන කුසල් මධුරංග (බණ්ඩා), සචින් චතුරංග (අභියා), ඉඳුවර සූරියබණ්ඩාර (ජූඩා) එදාට එකතු වෙනවා. එදාට ගයාන් ගුණවර්ධන (භානු) එක්ක ඔවුන් 'තාත්තයි පුතයි' ප්‍රසංගය හැඩ කරාවි, තාත්තා ආදරය කරපු ටෙලිනාට්‍යයක් තමයි 'පාර දිගේ' කියන්නෙ. ඔහු අපි හතරදෙනා රඟපෑ චරිත හතරට පුදුම විදිහට ආදරේ කළා. ඒ නිසා තාත්තගේ උපහාර ප්‍රසංගයේදි අපි හතරදෙනා 'පාර දිගේ' පොඩි සැමරුමක් කරමින් ලස්සන වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා.


'තාත්තයි පුතයි' ප්‍රසංගයට සංගීතය සපයන්නෙ කවුද?


'පාර දිගේ' නාට්‍යයෙන් RAWDS කියන සංගීත කණ්ඩායම බිහි වුණා. වීදි සංගීතවේදීන් විදිහට 'පාර දිගේ' රඟපාපු ඒ නාට්‍යයෙන් අපේ 'RAWDS' කියන සංගීත කණ්ඩායම නිර්මාණය වුණා. ඒ නිසා ප්‍රසංගයේදි සංගීතය සපයන්නෙ මේ සංගීත කණ්ඩායමයි. නුවන් ගුණවර්ධන 'තාත්තයි පුතයි' අවසන් ප්‍රසංගයේදි ගීත ගායනා කළෙත් මේ සංගීත කණ්ඩායමටයි. ඒ වගේම ඔහුගේ අවසාන කාලයේදි ඔහු ගීත ගායනා කළෙත් මේ සංගීත කණ්ඩායමටයි. ටෙලිනාට්‍යයකින් සංගීත කණ්ඩායමක් නිර්මාණය වෙන දුර්ලභ අවස්ථාවට RAWDS සංගීත කණ්ඩායමට ලැබුණා. අපිට අමතරව තවත් ශිල්පීන් කිහිප දෙනකුත් එකතු කරගෙන ප්‍රසංගය පවත්වන්න බලාපොරොත්තු වෙනවා.


 ප්‍රසංගයේ සංගීත මෙහෙයවීම සිදු කරන්නෙ කවුද?


මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවන්නෙ ශම්මික ඩිල්ෂාන්. ඔහු කීබෝඩ් වාදනයෙන්ද සහයෝගය ලබා දෙනවා. ශම්මික මගේ ශබ්දාගාරයේ ප්‍රධාන ඉංජිනේරුවා විදිහටත් කටයුතු කරනවා. ඔහුට තාත්තා සමඟ ලොකු බැඳීමක් තියෙනවා. ඔහු නුවන් ගුණවර්ධනට තාත්තෙකුට මෙන් සලකපු කෙනෙක්. ඔවුන් දෙදෙනා අතර ලොකු බැඳීමක් තිබුණා. ඒ නිසා ඔහු මෙහි සංගීත මෙහෙයවීම් කටයුතු කරනවා.


 නුවන්ගේ දියණිය වන ඔබේ සහෝදරියටත් ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා නේද?


මගේ පියා හින්දි ගීත නිසියාකාරව උච්චාරණය කළ, ගායනා කළ කලාවේදියෙක්. මගේ සහෝදරියටත් හොඳටම හින්දි ගීත උච්චාරණය කරන්න, හින්දි ගීත ලියන්න, කියවන්න, කතා කරන්න, තේරුම් ගන්න පුළුවන්. ඇය ගායනයට යොමුවුණේ නැහැ. මගේ සහෝදරිය ගායනයට යොමුවෙනවා දකින්න මගේ පියාට ආසාවක් තිබුණා. ඒ කැමැත්ත මේ ප්‍රසංගයේදි ඉටු කරන්න මට ඕනෑ වුණා. ඒ නිසා තාත්තගේ ආසාව ඉටු කරන්න ඇය කැමති වුණා. තාත්තා වෙනුවෙන් ඇය එදාට මාත් එක්ක එකතුවෙලා තාත්තා ගායනා කරපු යුග ගීත, තාත්තගේ ගීත වගේම චිත්‍රපට ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම ප්‍රසංගයේ නිවේදනය කරන්නේ ධනංජය සිරිවර්ධනයි. මේ ප්‍රසංගයෙන් නතර නොවී ලංකාව පුරාම, ලෝකය වටේම නුවන් උපහාර ගී ප්‍රසංග පවත්වන්න අපි සූදානම් වෙනවා.


වර්තමානයේදි සංගීත ප්‍රසංගයක් පවත්වන්න විශාල මුදලක් වැය වෙනවා. මේ අත්දැකීමට ඔබත් මුහුණදෙන්න ඇති?


ඔව් අනිවාර් යෙන්ම. ප්‍රසංගයක් පවත්වන්න මුදල් වගේම මිනිසුන් අවශ්‍ය වෙනවා. ඒ නිසා මට මුදල් එකතු කරන්න, මිනිසුන් එකතු කරන්න සිදු වුණා. මගේ පියා බොහෝ දෙනා වෙනුවෙන් මුදලක් නොගෙන ගීත ගායනා කළ අවස්ථා තිබුණා. ඒ වෙනුවෙන් ඔවුන් අදටත් මගේ තාත්තට ආදරෙයි. ඒ නිසාම නුවන් ගුණවර්ධන කොයි තරම් නිහතමානී මනුස්සයෙක්ද කියලා මම තේරුම් ගත්තා. තාත්තා කළ දේ මමත් කළ යුතුයි කියලා මට හිතෙනවා. මේ ප්‍රසංගය නිසාම මම බොහෝ දේවල් ඉගෙන ගත්තා.


 නුවන් ගුණවර්ධනගේ ගීත අද වෙද්දි බොහෝ දෙනා ගායනා කරනවා?


ඔව්. ගීතමය අයිතිය තියෙන්නෙ පද රචකයා සහ සංගීතවේදියා අතරයි. ඉතින් නුවන් ගුණවර්ධන සංගීතවත් කළ, පද රචනා කළ ගීතවල අයිතිය දැන් තියෙන්නෙ මටයි. ඒ ගීත ඕනෑම කෙනෙක්ට ගායනා කරන්න, 'කවර්' කරන්න, නුවන් ගුණවර්ධන ගායනා කළ වෙනත් පද රචකයන් රචනා කළ ගීත ඔවුන්ගෙන් අවසරය ගෙන ගායනා කරන්න, ඒ නිර්මාණවේදීන්ටත් සලකලා මේ ගීත ඉදිරියට ගෙනියන්න, රියැලිටි තරගවලට ගායනා කරන්න, කන බොන තැන්වලදි ගායනා කරන්න මේ ගීත මම ජනතාවට බාර දෙනවා.


'තාත්තයි පුතයි' මුල් ප්‍රසංග දෙකෙන් පසුව නුවන් ගුණවර්ධන ඒ පිළිබඳව දැක්වූ ප්‍රතිචාර කොහොමද?


2018 අපි මුල් ප්‍රසංගය කරද්දි තාත්තයි මමයි සහෝදරයෝ දෙන්නෙක් වගේ යාළුවෝ දෙන්නෙක් වගේ ප්‍රසංගය කළා. අපි දෙන්නා අතර පුදුමාකාර යාළුකමක් ආදරයක් තිබුණා. ඔහුගේ අත්දැකීම් තුළින් සියලුම දේවල් මට කියලා දුන්නා. ජීවත්වීම, ගීත ගායනය සහ සමාජ ආශ්‍රය ගැන ඔහු මට කියලා දුන්නා. මට තාත්තා 'ගයි' කියලා කියන්නෙ. &ගයි.. හෙමින් ඉබි ගමන හොඳයි. හෙමින් දැහැමින් සෙමින් ඔයා ගමනක් යන්න. ආදරය හිතේ තියාගෙන ගමන යන්න* කියලා තාත්තා මට හැමදාම කිව්වා. ප්‍රසංග දෙකම අවසානයේදි තාත්තා ගොඩක් සතුටු වුණා. මේ ප්‍රසංගයේදි තාත්තා නැති අඩුව දැනේවි. නමුත් තාත්තා වෙනුවෙන් බොහෝ දෙනා ඒවි යැයි මම විශ්වාස කරනවා.


I දිශානි




Previous Post Next Post