මම දැන් ධනාත්මකව හිතන සංකීර්ණ මනුස්සයෙක් - මලිත් පෙරේරා




ඔහු ලාංකික රියැලිටි වේදිකා තුළින් තම සංගීත දිවිය ආලෝකවත් කරගත් කලාකරුවෙකි. පෙරදිග – අපරදිග සංගීතය පිළිබඳව විසල් හැදෑරීමකින් තම අනන්‍යතාව නිර්මාණය කරගත් මේ කලාකරුවා ප්‍රේක්‍ෂකයන්ගේ නොමඳ හරසර ලබන්නෙකි. සිහිල් මාරුතේ, මතක මන්දිර වැනි ගීත ඇහෙන විට ඔහුගේ රූපකාය පවා ප්‍රේක්ෂක මනසෙහි මැවේ. අද එක්වන්නේ ජනප්‍රිය ගායන ශිල්පී මලිත් පෙරේරා. 


මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දිනවල මගේ මතක මන්දිර කොන්සට්ටුව පැවැත්වෙනවා. මේ වන විට මේ කොන්සට්ටුව පිළිබඳව සමාජ මාධ්‍යවල පවා විශාල කතාබහක් නිර්මාණය වෙලා. ඒ වගේම මගේ අලුත් ගීතය නිකුත් වුණා. එය මේ වන විට ට්‍රෙන්ඩින් වී තිබෙනවා. ඒ වගේම නවතම ඇල්බමයේ වැඩකටයුතු කරගෙන යනවා වගේම ව්‍යාපාරික වැඩකටයුතුත් කරගෙන යනවා.


ඔබේ නවතම ගීතය ‘ත්වරකය’ ගැන කතා කරමු?


ත්වරකය කියන එකේ තේරුම ඇක්සලරේටර් කියන එක. අපේ අය ඒක ගැන දන්නෙ නැහැ. දන්නෙ ඉංගී්‍රසි නම විතරයි. ගොඩක් අය අහනවා මොකක්ද මේ ත්වරකය කියලා.


මේකෙ මෙලඩි එක මගේ. මම මුලින්ම මේ ගීතය ලිව්වා. ඉන්පසුව මම මෙය ලියන්න යශෝදා අධිකාරි නංගිට දුන්නා. මේකෙ මියුසික් ඇරේන්ජ් කරන්න මම භාර දුන්නෙ සජිල හිමල මල්ලිට. මේ ගීතයේ තේමාව නිර්මාණය කළේ  මම.


මේකෙ වීඩියෝව නිර්මාණය කළේ රංග බණ්ඩාර. මෙහි අර්ථය ප්‍රේක්ෂකයාට අවශ්‍ය විධියට සිතාගැනීමට අපි ඉඩ තබා තිබෙනවා. මේක රාගයත් ආදරයත් අතර තනි වුණ තරුණයෙක්ගෙ කතාවක්. ඉතිරි හරිය ප්‍රේක්‍ෂකයාට භාරයි.


රඟ මඬල තාම තරුණයි යුග ගීය නිර්මාණය වුණේ කොහොමද?


එක සැරයක් අභිෂේකා ආවා ඕස්ට්‍රේලියාවේ කොන්සට්ටුවකට. කොන්සට්ටුවේ සංවිධායකයා මගෙන් ඇහුවා අභිෂේකා සමඟ ඩුවට් එකක් ගායනා කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපි යුග ගීතයක් කිව්වා. ඊට පස්සේ අපි අපේම ඩුවට් එකක් කරන්න තීරණය කළා. අභි නංගි වචන ටික දාලා එව්වා. මම ඒකට මියුසික් කළා. මේක සති තුනක් විතර No 1 ට්‍රෙන්ඩින් තියාගන්න පුළුවන් වුණා.


සිහිල් මාරුතේ ඇල්බමයෙන් පසුව නිකුත්වීමට නියමිත ඇල්බමය ගැන කතා කරමු?


මම මේ දිනවල ඒ සඳහා වැඩ කටයුතු කරගෙන යනවා. මේ ඇල්බමයේ ගීත බොහොමයක් නිර්මාණය වෙලා තිබෙන්නේ සැබෑ ජීවිතයේ අත්දැකීම් සමඟ. මේ ඇල්බමය නිතුත් වුණාම ප්‍රේක්ෂකයන් මේ ගීත ආදරයෙන් වැලඳ ගනී කියා මම සිතනවා.


ඔබේ සංගීත ශානරය ගැන කතා කරමු.


මම මගේ සංගීත දිවියේ මුල් කාලයේ පෙරදිග සංගීතය වසර 17ක් 18ක් යනතුරුම ඇසුරු කළා. ඕස්ට්‍රේලියාවට ගිය පසුව මම අපරදිග සංගීතය හදාරන්න ආරම්භ කළා. ඒ අනුව තමයි Folk සහ Contemporary ගැන හැදෑරීමට යොමුවන්නේ.


මම මේ වන විට මගේම අනන්‍යතාවයෙන් යුතු ශෛලියක් නිර්මාණය කරගෙන තිබෙනවා. මට මේ අන්ත දෙකෙහිම සංගීතමය හැදෑරීමක් තිබෙන නිසා මගේම අනන්‍යතාවක් නිමවා ගන්න විශාල පිටිවහලක් වුණා. මම විවිධ ශෛලීන්වල ගීත නිර්මාණය කර තිබෙනවා. මම තවමත් ඒ පිළිබඳව පර්යේෂණ කරමින් නව නිර්මාණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.


ඔබව අභිප්‍රේරණය කර නිර්මාණකරුවා කවුද?


මම සංගීතඥයෙක් හැටියට Bruno Marsට මාර විධියට ආසයි. ඔහුගේ සංගීත ශෛලිය සහ ගායනයට මම කැමැතියි. ඒ වගේම ඔහු හොඳ Entertainer කෙනෙක්. ඔහුගේ ගීත වලින් මට විශාල ආලෝකයක් ලැබිලා තිබෙනවා.


මම Sam Smithටත් කැමැතියි. ඉන්දියාවෙන් Arjith Sing ටත් කැමැතියි.


රියැලිටි වේදිකාවට පැමිණෙන නවක පරපුරට මොකක්ද කියන්න තිබෙන්නේ?


මට කියන්න තිබෙන්නේ පුළුවන් තරම් Original ගීතම ගායනා කරන්න කියලා. Cover Songs කියන එක නවත්වන්න කියලා මම කියනවා. මට කියන්න තිබෙන එකම දෙයක ඒක.


මතක මන්දිර ගැන කතා කරමු ධ්පචණ අයියා, සමිත අක්කා මුලින්ම මතක් කරන්න ඕන. ඒ මොහොතෙ තිබුණු වාතාවරණය අනුව මම මොන ගීතය කළත් ජනතාව ඒක ආදරයෙන් වැලඳ ගන්නවා. මම ඉතාම Peak එකක සිටියේ. ගීතය මේ නිසාම ජනප්‍රිය වුණා. මම මගේ කොන්සට්ටුවට පවා නම තිබ්බේ මේ ගීතයෙන්. මලිත්ට ගහනකොට ඇයි චංචලා අඬන්නේ කියන එක අදටත් වීව්ස්වලට යොදාගන්නවා. ඒක මාරම දෙයක්. මේක සදාකාලික වචන පෙළක් කියලා මට කියන්න පුළුවන්.


මේකට wide Angle එකට ස්තූතියි කියන්න ඕන. මම දැක්කා විද්‍යා ගුරුවරයෙක් පවා මේ ගැන කතා කරනවා. ඒක මාරයි කියන්න පුළුවන්.


නොනවතින ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ තරම් තිබියදීත් මේ රටින් ගියේ ඇයි?


මේක මම මගේ දිවියේ ගත්ත අභියෝගාත්මක තීරණයක්. නමුත් හැරිලා බලන විට ජීවිතයේ මට ලැබිලා තිබෙන බොහෝ දේ ඒ අත්හැරීමෙන් ලැබුණු දේවල්. මම සිතන්නෙ ඒක ඒ වෙලාවේ මට අමාරු තීරණයක් වුණත් ඒක මම මගේ දිවියේ ගත්ත ඉතා හොඳ තීරණයක්. මම දැන් සංකීර්ණ මනුස්සයෙක් වෙලා. මම හැමදෙයම ධනාත්මකව සිතන මනුස්සයෙක්.


ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරමු?


මතක මන්දිර කොන්සට්ටුව ඉදිරියේදී නගර කිහිපයකම පවත්වන්න කටයුතු සූදානම් කරගෙන තිබෙනවා. ඒ වගේම මගේ සංගීත නිර්මාණ කිහිපයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි.


මම ලංකාවේ සිටියත් නැතත් මගේ රසික රසිකාවියන්ට මගේ යූටියුබ් චැනලය හරහා ඒ ගීත රස විඳින්නට මම අවස්ථාව ලබාදී තිබෙනවා. මතක මන්දිර බලන්න හැමෝටම ආරාධනා කරනවා. මේක අපි ගොඩක් ආදරයෙන් කරන වැඩක්. මතක ගොඩක් මතක් කරන වැඩක්. අවසන් වශයෙන් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මට මේ අයුරින් ආදරය කරනවාට ස්තූතිවන්ත වෙනවා.




Previous Post Next Post