රාජසිංහ රජ්ජුරුවන්ව වෙනස් කෝණයකින් කියවන්න නම් ශ්‍රී වික්‍රම චිත්‍රපටය බලන්නම වෙනවා -අකිල ධනුද්දර




මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකින් වගේම ගුත්තිල, ශ්‍රී වික්‍රම වැනි චිත්‍රපට කිහිපයකින් ඔබ හමුවට එන මේ අපූරු රංගන ශිල්පියා නමින්, අකිල ධනුද්දර. උපන්ගෙයි සිටම කලාවට නෑකම් කියන මේ සො¾දුරු කලාකරුවා  අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


කොහොමද මේ දිනවල ගෙවන ජීවිතේ?


සාමාන්‍ය විධියටම මේ දින කිහිපයත් ගෙවිලා යනවා. විශේෂයක් නැහැ. මේ වසරේදී මගේ තුන්වැනි චිත්‍රපටයත් තිරගත වෙනවා. චිත්‍රපටයක ප්‍රචාරණ කටයුතු කියන්නේ ලොකු වැඩක්. ඉතින් චිත්‍රපටයක් කරලා ඉවරයි කියලා අයින් වෙලා ඉන්න බැහැ. ඒ නිසා තිරගත වුණ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුත් එක්ක මේ දිනවල වැඩකටයුතු ගෙවිලා යනවා.


මේ දිනවල ඔබ නිරත වන කලා කටයුතු ගැන කතා කරමු?


අලුතෙන් භාරගත්ත ටෙලි නාට්‍යයක රූගත කිරීම් නොබෝ දිනකින් ආරම්භ වෙනවා. ඒ වගේම දැනට කරගෙන යන ටෙලිනාට්‍ය කිහිපයකුත් තිබෙනවා. ඒත් සමඟම කලාකරුවන්ට වෙන්වුණු 31 වැනිදාට යෙදෙන රැයවල් කිහිපයේම නර්තන පුහුණුවීම් ආරම්භවෙමින්  තිබෙනවා. ඉතින් මේ විවිධ වැඩකටයුතුත් එක්ක කාලය ගෙවිලා යනවා.


“සිදාදියේ සමනලියෝ” ටෙලිනාට්‍යයේ විශ්වට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


පසුගිය මාස එකහමාරක කාලය ටිකක් අපහසු කාලයක්. ඉතින් ඒ කාලයේ මම ටෙලිනාට්‍යයේ පෙනී සිටියේ නැහැ. නමුත් විශ්ව අයියා වෙන මිෂන් එකකට ගිහින් නොබෝ දවසකින් ආපහු එනවා. මම චිත්‍රපට නළුවෙක්. ඒ නිසා ටෙලිනාට්‍යවලට අඩු අවධානයක් දීලා චිත්‍රපටවලට වැඩි අවධානයක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා.  කොහොම නමුත් විශ්වට ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර  ලැබෙනවා. ඒ වගේම අකිල ධනුද්දර කියන කෙනාව ප්‍රේක්ෂකයන් හොඳටම දන්නවා. මිනිස්සු මාව චරිතයකට වඩා මගේ නමින් හොඳටම දන්නවා.


ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ චරිතයට පණ පොවන ඔබ මේ චිත්‍රපටය ගැන දකින්නේ කොහොමද?


මේක අපි හැමෝම දන්න කතාවක්. ලංකාවේ අවසාන පාලකයා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ. මේ පාලකයාගේ කාලයේ ලංකාව ඉංගී්‍රසි ජාතිකයන්ට යටත් වෙනවා. පරාදීන නායකයෙක් ලෙස ඉංග්‍රීසීන් රාජසිංහ රජුව හ¾දුන්වනවා. ඉතිහාසයට අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එතරම් හොඳ පාලකයෙක් නෙවෙයි. ඉතින් මේ චිත්‍රපටයේදී අපි බලන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දෘෂ්ටිකෝණයෙන්.  ඉතින් මේ කතාව බලන්න එන්න. ඇවිත් රාජසිංහ රජ්ජුරුවන්ව වෙනත් කෝණයකින් කියවන්න උත්සාහ කරන්න.


ඔබ සිනමාවේදී වැඩිපුර දකින්නේ රජ චරිතවලින්. ඒකට විශේෂ හේතුවක් තිබෙනවාද?


ඇත්තටම එහෙම විශේෂ හේතුවක් නැහැ. ඒත් මම හිතන්නේ මගේ පළමු චිත්‍රපටයම රජ කතාවක්. ඒ චිත්‍රපටයෙදී මම ඉතාම සාර්ථකයි. ඒ නිසා වෙන්න ඇති මාව රජ චරිතවලටම තෝරාගන්නේ.


ඔබේ කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය පිළිබඳව කතා කරනවා නම්?


මගේ පවුලේ අය නැත්නම්, අකිල ධනුද්දර කියලා කෙනෙක් නැහැ. මොකද මගේ අම්ම, අප්පච්චී ඇතුළුව සෑම කෙනෙක්ම කලාවට ආදරය කරන අය. ඉතින් ඒ අයගෙන් ලැබෙන සහයෝගය ඉතාම ඉහළයි.


මේ වන විට ඔබ දෙවැනි වරටත් පියෙක් වෙන්න සැරසෙමිනුයි ඉන්නේ. ඉතින් ඒ අද්දැකීමත් බෙදාගත්තොත්?


කාලය යනකොට, වයසට යනකොට එකම අත්දැකීම දෙවැනි පාරට ලැබුණත් ඒ අත්දැකීම වෙනස් වෙනවා. මේක මට පළමුවැනි අද්දැකීම වගේම අලුත් අද්දැකීමක්. දැන් ඉන්න දරුවට ආදර්ශවත් වෙලා, එයාට අඩුවක් නොදැනෙන්න වැඩ කරන ගමන් ඉතාම සතුටින් අලුත් සාමාජිකයා එනකල් බලාගෙන ඉන්නවා.


පියාගේ අඩිපාරේ ඉදිරියට යන්න ලැබීම ගැන මොකද හිතන්නේ.?


අප්පච්චිගෙන් ලැබුණු ඒ ආදර්ශය ගොඩාක් වටිනවා. ඒ වගේම අප්පච්චි ගිය පාරේ යන්න ලැබීමත් මට ලැබුණු වාසනාවක්. අප්පච්චී කියන්නේ මට විතරක් නෙවෙයි මුළු රටටම යෝධ පියවරක් තියපු පුද්ගලයෙක්. ඔහු පසුපස යන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ ගැනත් නිහතමානී සතුටක් තිබෙනවා. මුල් කාලයේදී මම කලාවට සම්බන්ධ වුණේම නැහැ. අප්පච්චිට ඕනේ වුණේ මම ආස දේවල් කරවන්න. ඉතින් මගේ දෙයක් කරනවාට අප්පච්චී ගොඩක් කැමති වුණා. අම්මත් එහෙමයි.


ඔබේ ඉදිරි කටයුතු කෙසේද? ඒ ගැන කතා කරමු?


අලුත් නිර්මාණ කිහිපයක්ම එන්න තිබෙනවා. ඒ වගේම අලුත් ටෙලිනාට්‍යයක රූගත කිරීම් නොබෝ දවසකින් ආරම්භ වෙනවා.  මම රංගනයෙන් දායකත්වය සැපයූ සිනමා නිර්මාණ කිහිපයකුත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට නරඹන්න හැකිවේවි.


කලා කටයුතු අතරතුර ඔබට සිදුවුණු අමතක නොවන සිදුවීමක් ගැන මතක් කරමු?


සෑම කලා නිර්මාණයකම මට නම් අමතක නොවන සිදුවීම් වෙලා තිබෙනවා. මෑතකදී වුණ අමතක නොවන සිදුවීම මතක් කළොත් සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම් කරගෙන යන අතරතුර මගේ අප්පච්චි අනතුරට ලක්වෙනවා. ඉතින් අප්පච්චී තමයි සිංහබාහුගේ වයසක අවධිය රඟ දක්වන්න සිටියේ. මේ සිදුවීමත් එක්ක මමම සිංහබාහුගේ තරුණ විය, මැදි විය සහ මහලු විය රඟපානවා. මේ වේශ නිරූපණයට විශාල කාලයක් ගතවුණා. කොහොම වුණත් මට රඟපන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි මම හිටියේ. ඒත් අප්පච්චී නිසා මේ චරිතය බොහොම අමාරුවෙන් බාධක ගොඩක් මැද සිදු කළා. මම හිතන්නේ නැහැ මීට වඩා කරදරයක් මගේ ජීවිතයට එයි කියලා. ඒක තමයි මට මෑත කාලයේ සිදුවුණු අමතක නොවන සිදුවීම.


ඔබේ අනාගත බලාපොරොත්තු ගැන කියමු?


මගේ ජීවිතයේ ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. මට හැම මොහොතකම සතුටින් ඉන්නයි අවශ්‍යය. මම හිතන්නේ නැහැ සතුට සල්ලිවලින් මනින්න පුළුවන් කියලා. මම පුංචි කාලේ ඉඳලම සතුටින් ඉන්න උත්සාහ කරපු කෙනෙක්. ඉතින් එදත්, අදත් හෙටත්, මතුවටත් සතුටින් ඉන්න එක තමයි මගේ බලාපොරොත්තුව.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post