දේහය ආදාහනාගාරයට ඇතුල් කරද්දී තාත්තගෙ අචිකා කඩන් වැටුණා-මධුමාධව අරවින්ද



ලාංකීය කලා ක්ෂේත්‍රයට පහන් තරුවක් වූ ප්‍රවීණ ගායකයෙක්, සංගීතඥයෙක්, සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් සිරිවර්ධනයන් පසුගිය සතියේ සිය දිවි සැරිය නිමා කළා. ඔහුගේ අවසන් කැමැත්ත පරිදි අභාවප්‍රාප්ත වූ (28) දිනම සවස 6.00ට වැලිසර පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු වුණේ පවුලේ සහ ළඟම හිතවතුන්ගේ සහභාගීත්වය ඇතුව.


“කිසිම මාධ්‍යකට හෝ නෑදෑයින්ට හෝ නොකියන්න…පසුව ඇසුවොත් පමණක් කියන්න…මා සන්තකයේ ඇති, පුතාලට අවශ්‍ය නැති දේවල්, නැති – බැරි අයට දෙන්න..වේලක් හොයාගන්නට බැරි, අසරණයින් 50කට පමණ, කෑම වේලක් දෙන්න..දින 3, දින 7, තුන් මාසේ දාන ‘එපා’ .. එය ඔහුගේ අවසන් කැමැත්ත විය.


විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ සොයුරා වන සුනිල් සිරිවර්ධනයන්ගේ ආදරණීය පුතණුවන් චිත්‍ර ශිල්පී මංජුල සිරිවර්ධන, මධුමාධව අරවින්ද සහ ධනංජය සිරිවර්ධනගේ. ආදරණීය තාත්තාගේ මතකය ගැන අපි කතා කළේ මධුමාධව අරවින්ද සමඟින්…


“අපි තුන්දෙනා තාත්තට නම් තුනක් කිව්වේ. හැබැයි මල්ලි කියපු නම තමයි ලස්සනම නම. මල්ලි කිව්වේ සමනල කන්ද කියලා. “මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා…” කියලනේ කියන්නේ. ඒ වගේ එක පුතෙක් රස්සාව හැටියට කළේ චිත්‍ර අඳින එක, අනිත් පුතා සින්දු කිව්වා. බාලම පුතා රඟපෑවා. හැබැයි අපේ සමනල කන්දට අපිට වඩා හොඳින් මේ තුනම කරන්න පුළුවන්. අයියාට වඩා හොඳට චිත්‍ර පුළුවන් වුණත් අයියාට ඉඩ දීලා බලන් හිටියා. මට වඩා හොඳින් සින්දු කියන්න පුළුවන් වුණත් මට සින්දු කියන්න ඉඩ දීලා බලන් හිටියා. රඟපෑම වුණත් එහෙමයි. මල්ලිට වඩා තාත්තට පුළුවන් වුණත් මල්ලිට ඉඩ දීලා බලන් හිටියා. ඒ තමයි සමනල කන්ද.


එයාගේ ජීවිත කතාවේ අවසන් හරිය වෙද්දී අපිට දැනගන්න ලැබුණා, එයා අපිට ජීවිතේ හුරු කළා කියන එක. තාත්තා නැති වුණාට පස්සේ අපිට ආරංචි වුණේ තාත්තා මෙහෙම අවසන් කැමති පත්‍රය ලියලා තිබූ බව. කාටවත් කරදර නොකර ඔයාලගේ කරෙන්ම ගෙනියන්න කියන එක ඔහු අවසන් කැමැත්තේ ලියලා තිබුණා. මම හිතන්නේ තාත්තා අපිට දුන්න ගෞරවයක් ඒක. තාත්තා නැතිවෙනකම්ම අපි තාත්තව කරේ තියන් ගියේ. අපි එයත් එක්ක හැම තැනම ගියා. මුහුදු වෙරළේ ඇවිදින්න, කන්න අපි එක්කන් ගියා. තාත්තා අපේ ජීවිතේ කොටසක් වෙලා හිටියේ. ඒක තමයි අපි හදාගන්න ඕනේ එකම දේ. මේ ලිපිය කියවන අයටත් කියන්නේ හැමෝටම ඉන්නවා සමනල කඳු. ඒවා අතපත ගාන්න. ජීවිතේ ඔවුන් ගියාට පස්සේ දුක හිතෙන්න පුළුවන්. බෙහෙත් පෙත්තක් දුන්නද, සතියකට සැරයක් දෙසැරයක් හෝ බලන්න ගියාද, දරුවන්ට ලෝබ නැතුව කෑම අරන් දුන්නට දෙමාපියන්ට අරන් දෙද්දී ගාණ බැලුවද, නැද්ද කියලා හිතුවම තමන්ට දැනෙනවා කොතනක හරි වැරදිලා කියලා. එහෙමනම් ඒ ගැන හිතලා හදා ගන්න පුළුවන්.


අපේ තාත්තා අපේ අම්මට කිව්වේ ආදරේට අචිකා කියලා. අපේ අම්මා කවදාවත් අඩන්නේ නැති කෙනෙක්. තාත්තා කිව්වා බලන්න පුතේ මම මැරුණ දවසටවත් මගේ අචිකා අඬන්නේ නැහැ. එයා කඩා වැටෙන ගැහැනියක් නෙවෙයි. අචිකා යකඩ ගැහැනියක් කියලා කිව්වේ. ඇත්තටම අම්මා මේ මුළු සිද්ධියම නිහඬවම බලන් හිටියා. හැබැයි අන්තිමට අයියා මම සහ මල්ලි ආදාහනාගාරයට තාත්තාගේ දේහය ඇතුළු කරද්දී, තාත්තට වැරදුණා. තාත්තගේ අචිකා කඩන් වැටුණා.


තාත්තා බොහොම සතුටින් සුබවාදීව ජීවිතේ ගත කරපු කෙනෙක්. ප්‍රශ්න කියන දේවල් ඔළුවට ගත්තේ නැහැ. හැට හැත්තෑවේදී පවා බොහොම තරුණ පෙනුමක් තිබ්බ කෙනෙක්. මම මොන කයිවාරු ගැහුවත් අම්මා තාත්තාගේ වෙන්වීමට තරම් මේ ලෝකයේ බය කිසි දෙයක් නැහැ. තාත්තා අපිට ජීවිතේ හැටි කියලා දුන්නා. අපේ තාත්තා මැරුණා නෙවෙයි. අපේ තාත්තා ඉවර වුණා. ඒ කියන්නේ එයාගේ ඇස් පෙනීම ඉවර වෙනකම්ම ඇස් වලින් බැලුවා. කන් ඇහෙන්නේ නැති වෙනකම් දේවල් ඇහුවා. ඇවිදගන්න බැරි වෙනකම් ඇවිද්දා. ඒ නිසා තාත්තා හැම දේම හොඳින් පාවිච්චි කරලා වයස 82ක් ජීවත් වෙලා හැමදේම ඉවර කර ගත්තා.


මගේ බිරිඳට ඔහු බොහොම ආදරෙයි. එයා දුකෙන් ඉන්නේ මේ මොහොතට එන්න බැරි වීමගැන. ඒ දෙන්නා යාළුවෝ වගේ. අපේ තාත්තට දුවලා හිටියේ නැහැ. එයාට තාත්තා අම්මා නැති නිසා ඒ දෙගොල්ලෝ අතර හොඳ බැඳීමක් තිබ්බේ.


තාත්තාගේ මරණෙන් අපි ඉගෙන ගත්ත දේ බොහෝයි. බොහෝ මිනිස්සු යම් යම් කාරණා කියනවා. නමුත් එහෙම කරනවා හරි අඩුයි. නමුත් ඔහු ඒක කළා. මගේ අවසන් කැමැත්ත නම් මෙහෙමවත් පෙන්වන්න එපා කියලා තියෙන්නේ. කවදා හෝ දිනෙක මිය ගිය සැණින් ඒ ආදාළ ස්ථානයේ ඉඳලා යා යුතුයි චිතකයට කියන එක ලියලා තියෙන්නේ. සමහර යාළුවො සැක කළා. ඔය කිව්වට ඔහොම වෙන එකක් නැහැ කියලා. තාත්තගේ මරණෙන් පස්සේ මගේ යාළුවො කිව්වේ උඹ හරි භයානක මිනිහෙක්. කවදා හරි උඹ ඔහොම යයි කියලා. මට දෙන්න තියෙන උත්තරේ මට විතරක් නෙවෙයි මළ ගෙදර නොගියට කමක් නැහැ, ජීවතුන් අතර ඉන්න කාලේ ආදරෙන් ඉන්න ආදරණීයන්ව බලන්න යන්න. එහෙම නැතුව මිනි බලලා වැඩක් නැහැ කියන එක.“


එකම පවුලේ කොල්ලොම තුන්දෙනා කලාවේ මාධ්‍යයයන් තුනක නියැළිලා ඉන්නේ. තාත්තා මොනවගේ ඉල්ලීම් ද කරලා තියෙන්නේ


“එහෙම ඉල්ලීම් කරලා නැහැ. මම අවුරුදු 15න් ගායකයෙක් වුණේ. පළවෙනි අවුරුදු තුනේ මම ෂෝවලට ආවේ තාත්තා එක්ක. මම කවදාවත් වෙලාවට වැඩ කරන්නේ නැහැ. මොකද මම ඉපදුණේ කාටවත් ඕනේ වෙලාවට වැඩ කරන්න නෙවෙයි. මට ඕනේ විදියට ජීවත් වෙන්න කියලා හිතපු කෙනෙක්. ඒ නිසා මට ලෝකයේ තියෙන හොඳම රස්සාවක් හම්බුණා. හැමදාම එයා කිව්වේ මේ කන්ද මුදුනට නඟින්න එපා කියලා. එයා කිව්වේ නැහැ මට කවදාවත් හොඳම ගායකයා වෙන්න කියලා. එයා කිව්වේ නැහැ මල්ලිට හොඳම නළුවා වෙන්න, අයියාට හොඳම චිත්‍ර ශිල්පියා වෙන්න කියලා. තාත්තා කිව්වේ මේක නැවතිලා විඳින්න. තාත්තාගෙන් ඉගෙන ගත්ත දේවල් එක්ක මට කිසිම තරගයක් නැහැ කා එක්කවත්. තාත්තා කිව්වේ තරගයට ගියොත් ජීවිතේ විඳින්න බැරි වෙයි කියන එක. ඒ නිසා මමත් ගායකයෙක් කියන එක මතක් වෙන්නේ සින්දු කියන වෙලාවට විතරයි. අනිත් වෙලාවට මම රසිකයෙක්. තාත්තා කිව්වෙත් සින්දු කියන එකට වඩා අමාරුම දේ හොඳ රසිකයෙක් වෙන එක කියලා. මම හිතන්නේ මම ජීවිතේ හොඳ රසිකයෙක්.


සමනල කන්ද කඩා වැටුණත්, තවමත් ඒ කන්ද ආදරේ කරපු අචිකා, ඔබේ ආදරණීය මව ගැන එදාටත් වඩා ආදරෙන් බලන්න කාලය වෙන් කරන්න වෙනවා නේද?


ඒක ඇත්ත. ඒක අපේ පොරොන්දුවක්. ඒක එයා දන්නවා. අපි දෙන්නගෙන් කවුද ලොකු කියලා එයාලා අපෙන් අහද්දී අපි තුන්දෙනාටම කවදාවත් උත්තර තිබ්බේ නැහැ. ඒ දෙන්නව අපි දැක්කේ එක පිළිමයක් හැටියට. තාත්තා අන්තිම කාලේ අසනීප වෙද්දී අම්මා තව හයියෙන් හුස්ම ගන්නවා කියන එක අපිට දැනුණා. දරුවෝ කවදාවත් තමන්ව තනි කරන්නේ නැහැ කියන එක ඇය දන්නවා. තාත්තා මිය ගියාට පස්සෙත් අපි දැක්කේ බෝනික්කෙක් වගේ. අම්මත් හිතන්න ඇති “මාවත් මලක් වගේ උඹලා බලයි නේද පුතේ“ කියලා. ඒ හයිය තව අවුරුදු ගාණක් ඇයගේ ජීවිතේ දික් කරයි කියන විශ්වාසය අපිට තියෙනවා.



Previous Post Next Post