මිනිස්සුන්ගෙ හිත්වල නැත්තේම සතුට - ඉෂිනි විජේසිංහ

 


මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ආදරයක් දිනා ගනිමින් විකාශය වන “ජානු” හි බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක් නෝරා වලාකුළු කියන්නේ. නෝරාට ඉන්නේ පුංචි තිරයට ආ අලුත් මුහුණක්. ඒ නිසාම ඇය සැබවින්ම කවුද යන්න දැන ගන්න ඔබත් කැමති ඇති. රසඳුන මේ කතාබහ නෝරා වලාකුළුට ජිවය දෙන ඉෂිනි විජේසිංහ සමඟ


පාසලේදි මොන වගේ චරිතයක් ද?


හරිම හුදකලා චරිතයක්. මට යාළුවො හිටියේ නැහැ. යාළුවො නැති නිසා පාසලේදී මම වැඩිපුරම හිටියේ පුස්තකාලේ. මම පොත් කියවන්න ගොඩක් කැමති කෙනෙක්. මම යාළුවො හම්බෙන්නේ උසස් පෙළ කරන කාලේදී. ඒ නිසා පාසලේදී නිහඬ චරිතයක්.


කලාවට ආස කළේ කොයි කාලෙදී ද?

මිට අවුරුදු දෙකකට විතර කලින් තමයි කලාවට යොමුවෙන්න ආස කළේ. පුංචි කාලේ ඉඳලා කිසිම හීනෙක තිබුණු ආසාවක් නෙවෙයි මේ ඉෂ්ට කර ගත්තේ. ගෙවුණු අවුරුදු දෙක ඇතුළත හිතුණ දෙයක් තමයි මම ජීවිතේට ළඟා කර ගත්තේ.


ඔබ කොහොමද කලාවට සම්බන්ධ වෙන්නෙ?


2023 ITN අවුරුදු කුමාරි තරගයට මම සහභාගි වෙනවා. එතැනදි මම අවසන් 12 දෙනා අතරට තේරුණා. ඒ තරගයේදී මට ස්ථානයක් ලැබුණේ නැහැ. ජීවිතේ මේ වගේ අවස්ථාවක් උදා වෙයි කියලා මම කවදාවත් හිතුවෙත් නැහැ. අවසන් 12 දෙනා අතරට ආව තරුණියන්ගෙන් පළමුවෙන්ම රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබුණේ මට.


අවුරුදු කුමරිය තරගයට එන්නෙ නිළියක් වෙන්න හිතාගෙනද?


එහෙම හිතාගෙන නෙවෙයි ආවේ. මම හරි කැමතියි වෙනස් දේවල් උත්සාහ කරලා බලන්න. අන්තිමට ඒ අත්දැකීම වෙනස් අත්දැකීමක් වෙලා ජීවිතේම වෙනස් වුණා.


මුල්ම රංගනය කළ නිර්මාණය මොකක් ද?


මගේ මුල්ම රංගනය ජානු නාට්‍යය. මට ඇත්තටම හරිම සතුටුයි කියන්න ජානු නාට්‍යයේ රංගනයට එකතු වෙන්න කලින් ඉඳන්ම මම එහි ප්‍රේක්ෂිකාවක්. පසුකාලීනව ඒ නාට්‍යය හරහාම රංගනයට එන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටු වුණා. ඒ වෙනුවෙන් මාව සම්බන්ධ කර ගත්ත අධ්‍යක්ෂක හසුන් සමීර සර්ට වගේම තිර පිටපත ලියපු සිනෙත් අයියාට සහ මාව මේ සඳහා සම්බන්ධ කර දුන්නු දුලින සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා.


කොහොමද ඒ අත්දැකීම?


ඒ අත්දැකීම හරිම සුන්දරයි. මට මගේ පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම වැඩ කරන්න ලැබුණේ ක්ෂේත්‍රයේ ගොඩක් ඉහළට ගිය රංගන ශිල්පින් සහ ශිල්පිනියන් එක්ක. එයාලා කිසිම අහිතකින් තොරව හරිම ආදරෙන් මාව ජානු ටෙලිනාට්‍යයේ පවුලට සම්බන්ධ කර ගත්තා. මම නොදන්නා දේවල් සහ මම කළ යුතු දේවල් කියලා දුන්නා.


කොහොමද නෝරා ට ලැබෙන ප්‍රතිචාර?


හිතාගන්න බැරි තරම් ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා. හිතුවේ නැහැ මේ තරම් ආදරයක් ලැබෙයි කියලා. නෝරා වලාකුළු චරිතය හැමදාම මට විශේෂ චරිතයක් වේවි. ජානු නාට්‍යයේ නෝරා වලාකුළු වගේම මේ වෙද්දී ඉෂිනි විජේසිංහගේ සුරතල් නාමය වෙන්නෙත් නෝරා වලාකුළු.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. දැනට ඒ දේවල් සර්ප්‍රයිස් එකක් විදියට තියා ගමු.


ආදරවන්තියක් ද?


ඔව්. මම ආදරවන්තියක්. මම හැමෝටම ආදරේ කරනවා සහ ආදරේ බෙදනවා. එහෙම බැලුවොත් මම ආදරවන්තියක්.


ගොසිප් කටකතා ගැන මොකද හිතෙන්නෙ


ඒවා ගැන හිත හිත හිටියොත් මම හිතන්නේ නැහැ අපිට ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ඒ දේවල් නොහිතා ඉන්න තරමටම අපිට සාර්ථක වෙන්න පුළුවන්.


ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


මගෙ පවුලේ ඉන්නේ අම්මා, ආච්චි සහ අක්කා. මට ගෙදරින් හොඳ සහයෝගයක් ලැබෙනවා. එයාලා දන්නවා මගේ ගමන ලස්සන විදියට සාර්ථක විදියට යනවා කියලා.


දිගටම රඟපාන්නද කැමැත්ත


අකමැත්තක් නැහැ. මම රඟපාන්න කැමතියි. මම ලේඛිකාවක්. ඒ හින්දා ලේඛිකාව කියන භූමිකාව මැරෙන්න නොදී ඒකත් පවත්වාගෙන දිගටම ඉස්සරහට යන්න.


ලේඛිකාවක් විදියට මොනවද ලියලා තියෙන්නේ


මම මුලින්ම ලියන්නේ මුහුණු පොතට. මේ වෙද්දී කතා 10ක් ලියලා තියෙනවා. ඉන් එකක් පොතක් විදියට දොරට වැඩුමක් කළා. පොතේ නම රාග වේදනා.


ජීවිතේ මේ කාලේ තියෙන අරමුණු මොනවද?


එකම අරමුණ සතුටින් ඉන්න එක. මිනිසුන්ගේ හිත්වල නැත්තේම සතුටනේ. ඒ හින්දා මගේ එකම අරමුණ සතුටින් හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න එක.


අනුෂා රණසිංහ




Previous Post Next Post