මම පහළට වැටුණේ නෑ හෙමින් හෙමින් දියුණු වුණා-මේධා ජයරත්න




සිංහල ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ සිටින රූපිනියන් අතර සුරූපිනියක් වන ඇය, ජීවිතයේ මැදිවියට එළඹුණද තවමත් නව යොවුන් තරුණියක් මෙන් සිටින්නියකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව රූපවාහිනි නිවේදිකාවක් ලෙසින් මාධ්‍ය ක්‍ෂේත්‍රයට පය තැබූ ඇය ඉන් අනතුරුව ටෙලි නාට්‍ය හා සිනමාවටද එක් වෙමින් මෙරට කලාවේ සුවිශේෂී ස්ථාන කිහිපයකම තම නමද සලකුණු කරන්නට සමත් වූවාය. මේධා ජයරත්න නම් වූ ඇය මෙවර හදගැස්ම සමඟින් කළ හෘද්‍යංගම කතාබහයි මේ.


 ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ?


මේ දවස්වල දෙවෙනි ඉනිම ෂූටින් පටන්ගෙන තිබෙන්නේ. ඒ වගේම ලොක්කි නාට්‍යයෙත් ෂූටින් තිබෙනවා. ඊට අමතරව මගේ ව්‍යාපාර දෙකක් තිබෙනවා. ඒ දෙකත් කරගෙන සාමාන්‍ය විධියට කාලය ගත කරනවා.


ඔබේ ව්‍යාපාර කටයුතු ගැනත් කියමු?


මේ වෙද්දි මම ජේ ෆැෂන් සහ ජේ ෆෙයාර්නස් නමින් ව්‍යාපාර දෙකක් පවත්වාගෙන යනවා. මේක ඔන්ලයින් බිස්නස් එකක්. මුලින්ම පටන් ගත්තේ ජේ ෆෙයාර්නස්. ඒකට ලැබුණු හොඳ ප්‍රතිචාර නිසා තමයි ජේ ෆැෂන් නමින් තවත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතුවේ.


මේ දිනවල වැඩිය නිර්මාණ හරහා පේන්න නැත්තේ ඇයි?


එහෙම විශේෂ හේතුවක් නැහැ. නමුත් ගොඩක් වෙලාවට  නිර්මාණයකට කතා කරලා මගේ ගාණ ඇහුවට පස්සේ නිර්මාණයට ආරාධනා කරන්නේ නැහැ. ලොකු ගණන් කියන්නේ නැහැ. සාධාරණ ගාණක් තමයි කියන්නේ. නමුත් දැන් තිබෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක හැමෝම බලන්නේ අඩු වියදමින් වැඩේ කරගන්න. ඉතින් කලාකරුවන් නිර්මාණවලට සම්බන්ධ කරගනිද්දිත් එහෙම බලනවා. නමුත් හැමෝටම එහෙම කරන්න බැහැ. ඔවුන් කියන මිලට වැඩ කරන කලාකරුවොත් ඉන්නවා. ඉතින් මම හිතන්නේ අපිට කතා කරලා අපේ වටිනාකම වැඩි වුණාම ඔවුන් එයාලව නිර්මාණවලට සම්බන්ධ කරගන්නවා ඇති. ගොඩක් වෙලාවට වැඩකට කතා කරලා ගණන් ඇහුවම අපිට වැඩේ ලැබෙන්නේ නැත්තේ නිර්මාණකරුවන්ට ඒ ගාණ දරාගන්න අමාරු ඇති. නමුත් ගැටලුව ඔවුන්ගේ මිලටත් අපිට එකඟ වෙන්න බැහැ.


කලාකරුවන්ට ගෙවන වටිනාකම් සම්බන්ධයෙන් නියාමනයක් නොමැති වීම ගැන මොනාද කියන්න තිබෙන්නේ?


කොහොමත් මේ වෙද්දි ඩේ පේමන්ට්ස් තමයි කරන්නේ. කර්මාන්තයක් විධියට ගත්තම කලාව එන්න එන්න වැටෙනවා. ඇත්තම කිව්වොත් අනිත් හැමදේම ඉහළ ගියාට ආර්ටිස්ලට චැනල්වලින් ටෙලි නාට්‍යයකට ගෙවන ගාණ වැඩිවෙලා නැහැ. සමහර වෙලාවට කිව්වම  ගාණ වැඩි කරලා දුන්නත් එපිසෝඩ් විශාල සංඛ්‍යාවක් එක දවසක් ඇතුළත කරගන්නවා. මම දන්නේ නැහැ අතීතයේ කොහොමද කියලා. නමුත් මෑතක නම් මේක ඛේදවාචකයක් බවට පත් වෙලා තිබෙන්නේ. කිසිම තැනකින් නියාමනයක් වෙන්නේ නැහැ. මම හිතන්නේ  ඉස්සරහටත් එහෙම එකක් හදන්න බැරි වෙයි. අඩු මුදලට නිර්මාණවලට දායක වෙනවා කියලා අපිට මොකුත් කියන්නත් බැහැ. මොකද වෘත්තිය ඒක නම් අනිවාර්යෙන්ම මොනවාහරි කරන්න වෙනවා. නැත්තම් වෙන්නේ අපිට වගේ වැඩ නැතිව ගෙදරට වෙලා ඉන්න. ඇතැම් නිර්මාණකරුවෝ ඉන්නවා ඔවුන් අපේ මිලට එකඟ වෙනවා. එහෙම අය සමඟ වැඩ කරනවා.


මේ හේතුවෙන් වෘත්තීයමය කලාකරුවන්ට සිදුවෙන බලපෑම  මොන වගේද?


ඔවුන්ටත් ඔය කියන තත්ත්වයම තමයි උදා වෙලා තිබෙන්නේ. ගොඩක් වෙලාවට බජට් කතා කරන්නේ බොහොම අඩුවෙන්. එක්කෝ එකඟ වෙලා ඔවුන් සමඟ වැඩ කරන්න ඕනි. නැත්තම් මම කරන්නේ නැහැ කියලා අයින් වෙන්න ඕනි. ඔය දේ තමයි ප්‍රධානම ගැටලුව වෙලා තිබෙන්නේ. සමහරවිට ඔවුන්ගේ මිලට එකඟ වුණත් ඇතැම් ශිල්පීන් එපිසෝඩ් විශාල ගාණක් එක දවසින් රූපගත කරනවා. එහෙම බලද්දි මාසෙකට දවසයි, දෙකයි වැඩ තිබෙන්නේ.


ලොකු දරුවෝ ඉන්න මවක් වෙලත් තාමත් මේ තරම් හැඩට, ලස්සනට ඉන්නේ කොහොමද?


වැඩක් නැත්නම් අනිවාර්යයෙන් ජිම් යන එක කරනවා. ඒ හැරුණු කොට නිතරම සැලොන් යන කෙනෙක් නෙවෙයි මම. කවුරුහරි ෆ්‍රී ඔෆර් එකක් දුන්නොත් මිසක් ලේසියකට අනම් මනම් කරන්න සැලොන් යන කෙනෙක් නෙවෙයි මම. ජිම් යන එක තමයි මම හිතන්නේ මගේ ලස්සනට බලපාන ප්‍රධානම දේ. අපි නිරෝගිව ඉන්න එක වැදගත්. ඒ වගේම මම දැක්ක පළියට කන කෙනෙක් නෙවෙයි.


කලාව ඇතුළේ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා තිබීම කොයි තරම් දුරකට බලපානවද?


විශාල බලපෑමක් කරනවා. සමහරවිට ඒක බලපාන්නේ නිවේදනයට හෝ රංගනයට නොවෙන්න පුළුවන්. නමුත් විෂන් එකක් සහිත මනුස්සයෙක් ලෙස ගොඩනැඟීමේදී ඒක හරි වැදගත්. එහෙම මිනිස්සු අඩු නිසානේ අපි කියන්නේ මේ ෆීල්ඩ් එක එන්න එන්න වැටෙනවා කියලා. අධ්‍යාපනය කියන්නේ සහිතයක් පමණක් නෙවෙයි. මොනා හෝ දෙයක් පිළිබඳව නිසි අධ්‍යාපනයක් ලබා ගැනීම හරහා ඕනෑම ෆීල්ඩ් එකක වැඩ කරන්න  පහසු වෙනවා. අධ්‍යාපනය හරහා තමන්ගේ වෘත්තීය ගැන තිබෙන වගකීම, වටිනාකම පිළිබඳව හැඟීමක් එනවා.


රංගනය සම්බන්ධයෙන් පනවාගත් ස්වයං වාරණ තිබෙනවාද?


එහෙම ලොකුවට නැහැ. මොකද අපේ රටේ වෘත්තියක් විධියට ගත්තම ලොකුවට පාරවල් විවෘත වෙලා නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් උඩ සීමාවන් දාගත්තොත් අපිට වැඩ නොකර ගෙදර ඉන්නයි වෙන්නේ. සමහර පුද්ගලයෝ ඉන්නවනේ නිර්මාණයකට රංගන ශිල්පීන්ව යොදාගන්නේ වෙනත් දේවල් බලාපොරොත්තුවෙන්. ඉතින් ඒවගේ දේවල් මිස මේක සම්භාව්‍යද වගේ දේවල් බලන්නේ නැහැ. අපේ බජට් එකක ගැළපෙනවා නම්, සමාජයට හානියක් නොවෙන නිර්මාණයක් නම් කරනවා.


ඔබේ කලා ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් ගැනත් මතක් කරමු?


ඇත්තටම එහෙම ලොකු ටර්නින්ග් පොයින්ට් නැහැ. මම හිමින් ගමනක් ආවේ. ක්‍රමයෙන් ඉදිරියට ආපු ගමනක් මිස. එකපාර අති විශාල ජනප්‍රියත්වයක් අරගෙන ඉදිරියට ආපු කෙනෙක් නෙවෙයි මම. නිවේදිකාවත් විධියට මාධ්‍යට සම්බන්ධ වෙලා ක්‍රමයෙන් රංගනයට ආපු කෙනෙක්. නමුත් පහළට වැටුණේ නෑ. හිමි හිමින් පොඩ්ඩක් හෝ දියුණු වුණා.


ඉදිරි වැඩ කටයුතු ගැනත් කියලම අවසන් කරමු?


මේ දවස්වල ආයේ මොකුත් අලුතෙන් එන්න දෙයක් නැහැ. දෙවෙනි ඉනිම සහ ලොක්කි විතරයි මේ දවස්වල රංගන දායකත්වය ලබා දෙන නිර්මාණවලට තිබෙන්නේ. ඊට අමතරව අපේ මේ වයසත් එක්ක අම්මාගේ චරිතයට ගොඩක් ආරාධනා එනවා. ඒ වගේ චරිතවල ඇත්තටම කරන්න දෙයක් නැහැ. නිකම් පෙනී ඉන්න පමණයි තිබෙන්නේ. එහෙම දේවල් ප්‍රතික්ෂේප කරනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post