මේ මගේ පළමු ටෙලි නාට්‍ය රංගනය -චන්ද්‍රිකා සිරිවර්ධන






දශක හයකටත් වඩා වැඩි කාලයක් මෙරට සංගීත ක්ෂේත්‍රයේ රැදී සිටිමින් ඇය ක්ෂේත්‍රයට සිදුකළ මෙහෙය අපමණය. එදා සිට මේ දක්වා තම ජනපි‍්‍රයත්වය එලෙසම රදවා තබා ගැනීමට තරම් ඇය හැමවිටම සමත් වී හමාරය. ගායන ශිල්පිනියකගේ භූමිකාවෙන් ඔබ්බට ගොස් ඇය රංගනයට ද පිවිසුණාය. රංගන ශිල්පිනියක් ලෙස එවකට චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් ඇය මේ දිනවල පුංචි තිරය තුළින් ද අපේ ආලින්දය සරසන්නීය. ඒ හිරු රූපවාහිනි සේවයෙන් සතියේ දින පහේම රාතී‍්‍ර 8.00 ට විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ වජිරා මැඩම් හෙවත් රයිසින් ස්ටාර්ස් නම් ගායන රියැලිටි වැඩසටහනේ විනිසුරු චරියකගේ චරිතයට පණ පොවමිනි. මෙය ඇගේ ප්‍රථම ටෙලි නාට්‍යය රංගනය වීමද සුවිශේෂී වන්නීය. මෙවර අපේ කතා බහට එක්වූයේ ප්‍රවීණ හා ජනපි‍්‍රය ගායන මෙන්ම රංගන කලා ශිල්පිනියක් ද වන විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියයි.


ඔබ සංගීත ක්ෂේත්‍රයට ඇවිත් දැන් කොච්චර කල් වෙනවද ?


අවුරුදු හැටක් හැට පහක් පමණ වෙනවා කියලා දාන්නකෝ.


හෙළ ගී කෙතේ පෝෂණය උදෙසා ඔබ විශාල ගීත සංඛ්‍යාවක් දායාද කළ කෙනෙක් මේ දක්වා ගීත කීයක් විතර ගායනා කරලා තියෙනවද ?


ඇත්තටම මම තවම ඒවා ගණන් බැලීමක් කරලා නෑ, කොච්චර ගීත සංඛ්‍යාවක් මම ගායනා කරලා තියෙනවද කියලා.


මෑත පරපුරට දැන ගන්න අපි ඔබේ ආරම්භය ගැනත් මතක් කරමු.


ඔව්, මම ඉගෙන ගත්තේ මහනුවර පුෂ්පදාන බාලිකා මහා විද්‍යාලයේ. ඒ කාලයේ අන්තර් පාසැල්, අන්තර් පළාත්, සමස්ත ලංකා මට්ටමෙනුත් සංගීත හා ගායනා තරඟ රැසකටම ඉදිරිපත් වෙලා මම එවයින් ජයග්‍රහණය ලැබුවා. ඒත් එක්කම මගේ ගෙදර දොර තිබුණ සංගීත කලා පසුබිම තමයි මගේ ගමනට බෙහෙවින් බලපෑවේ. මොකද මගේ තාත්තා පීටර් පීරීස්. ඔහු විශ්ව විද්‍යාලයක සංගීත කථිකාචාර්යවරයෙක් ලෙස වැඩ කළා. ඔහුගේ දැන හැඳුනුම්කම මත තමා එවකට මට ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ විදියට තමයි සංගීත කලා දිවියේ මගේ මේ ගමන් මගේ ආරම්භය සිදු වුණේ. මේ අතරේ මගේ අයියා ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් බවට පත්වුණා. මං ගායන ශිල්පිනියක් ලෙස සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට අවා. එහෙම තමයි ආරම්භය සිදු වුණේ.


එතකොට ඔබ රංගනයට එකතු වුණේ කොහොමද ?


මගේ අම්මයි, තාත්තයි එවකට ඉන්දියාවට ගිහින් තිබුණා. අශෝකමාලා චිත්‍රපටයේ රංගන කලා කටයුත්තක් වෙනුවෙන්. ඔවුන් ඉන්දියාවේ ගිහින් මෙහෙ අවාට පස්සේ එවකට මට රත්තරං අම්මා, රන් ඔංචිල්ලා, දෙව් දුව වැනි චිත්‍රපට රැසකම රඟගපාන්න අවස්ථාව ලැබුණා. මම ටෙලි නාට්‍යයකට කියලා ප්‍රථම වරට රංගනයෙන් දායක වුණා නම් ඒ මේ දිනවල හිරු ටී.වී එකේ යන දිවිතුරා කියන ටෙලි නාට්‍යයෙන් තමා.


ඒ කියන්නේ දිවිතුරා කියන මේ ටෙලි නාට්‍යය ඔබේ ප්‍රථම ටෙලි නාට්‍යය රංගනය ද ?


ඔව් මට ඒ කාලේ චිත්‍රපටවල තමා ගොඩාක්ම රඟගපාන්න අවස්ථාව ලැබුණේ. ටෙලි නාට්‍යවල රඟගපාන්න අවස්ථාව ලැබුණේ නැති තරම්. මේ දවස්වල හිරු රූපවාහිනියේ රාතී‍්‍ර 8.00 ට යන දිවිතුරා ටෙලි නාට්‍යයෙන් තමයි මම ප්‍රථමයෙන්ම ටෙලි නාට්‍යකට කියලා රංගනයෙන් එක් වෙන්නට මෙලෙසින් අවස්ථාවක් ලැබුණේ.


දිවිතුරා ටෙලි නාට්‍යයේ වජිරා මැඩම් නම් විනිසුරුවරියට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳයි.


ටෙලි නාට්‍යයේ රඟපෑවට පස්සේ ඔබට මේ වන විටත් ටෙලි නාට්‍යය සදහා රංගනයට ආරාධනා ලැබිලා තියෙනවද ?


තවම නෑ.ඉස්සරහට එහෙම අවස්ථාවක් ආවොත් සලකලා බලනවා.


දිවිතුරා එකේ රංගනයට මේ අවස්ථාව ලැබෙන්නේ කොහොමද ?


හිරු රූපවාහිනියේ අධ්‍යක්ෂකවරයකු වන විරාජ් වැලිවත්ත මහත්තයා තමයි මට මේ ටෙලි නාට්‍යයේ රංගනයට එකතු වෙන්න කියලා කතා කරලා කිව්වේ.


එහි ඔබ රගපාන වජිරා මැඩම්ගේ චරිතය ගැනත් යමක් කියමු.


වජිරා මැඩම් කියන්නේ ජනපි‍්‍රය ගායන ශිල්පිනියක්. ඒ වගේම රයිසින් ස්ටාර් ගායන රියැලිටි වැඩසටහනේ විනිසුරුවරියක්. ඇගේ පෞද්ගලික ජීවීතේ හා ඒ වටා ගෙතුණු කතාවක් තමයි මා මේ චරිතයෙන් නිරූපණය කරන්නේ.


ඔබ මේ රටේ හොද නමක් දිනාගත් ප්‍රවීණත්වයෙන් පිරිපුන් ගායන ශිල්පිනියක්. එදා සහ අද සංගීත ක්ෂේත්‍රයේ වෙනස ඔබ දකින්නේ කොහොමද ?


අද ගුණාත්මක බවින් අඩු නිර්මාණ තමයි බිහිවෙලා තියෙන්නේ. ගුණාත්මක බවින් ඉහළ දේවල් ලබාදෙන්න පුළුවන්නම් ඒක හැමෝගේම යහපැවැත්මට ලොකුරුකුලක් ශක්තියක් වෙනවා වගේම හැම අතින්ම සාර්ථක බවක් පෙන්නුම් කරනවා.


ඔබ සැබෑ ජීවිතයේදීත් විනිසුරුවරියක් ලෙස රූපවහිනි වැඩසටහන්වල හිටියා නේද ? දැන් ඒ වැඩසටහන්වල පේන්න නැත්තේ ඇයි ?


ඔව් මම සිරස ටී.වී එකේ සුපර් ස්ටාර්ස් ඒ වගේම දෙරණ ඩ්‍රීම් ස්ටාර් ජාතික රූපවාහිනියේ රණවිරු රියල් ස්ටාර්ස් යන ගායන රියැලිටි වැඩසටහන් වල විනිසුරුවරියක් ලෙස කටයුතු කළා. ඒවායෙන් පස්සේ මට ඒ වගේ වැඩසටහන්වලට මෙතෙක් ආරාධනා ලැබුණේ නෑ.


ඒ කියන්නේ ඔබට එවැනි වැඩසටහන්වලට නැවතත් විනිසුරුවරියක් ලෙස කටයුතු කරන්න ආරාධනා ලැබුණොත් වැඩ කරන්න භාර ගන්නවද ?


එහෙම අවස්ථාවක් ආවොත් සලකා බලනවා.


අපි ඔබේ පවුල් ජීවිතේ දෙසට හැරෙමු. දැන් මහත්තයා නැතිවෙලා කොච්චර කල් ද ?


අවුරුදු පහක් වෙනවා එයා නැතිවෙලා. ඔහු මාධ්‍යවේදියෙක් විදියට තමයි කටයුතු කළේ. නම ඇන්ටන් අල්විස්. මට ඉන්නේ දුවයි, පුතයි. ඒ අයගේ මුනුබුරු මිනිබිරියන් සමඟ දැන් මම සතුටින් කාලය ගත කරනවා.


ඔබේ මිනිබිරියක් මේ වන විට සංගීත ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා නේද ?


ඔව්, මගේ මිනිබිරියක් වන ඇය නමින් දුල්ෂාරා අල්විස් මේ වෙනකොට ගායන ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් දක්ෂතා ප්‍රකට කරමින් ඇය ඇගේම ගමනක යනවා.


එතකොට ඔබේ දුව සහ පුතා සංගීත ක්ෂේත්‍රයට යොමු වුණේ නැද්ද ?


මගේ දුවට හොඳට ගීත රචනා කරන්න පුළුවන්. මගේ පුතා වෙස්ටන් මියුසික් (බටහිර සංගීතය ) හොඳින් හදාරලා තියෙනවා. නමුත් ඔවුන් එක්කෙනෙක්වත් අද වන විට වෘත්තීය මට්ටමෙන් මේ සංගීත කලාවේ නිරත වෙන්නේ නෑ.


ඔබ සංගීත අධ්‍යක්ෂිකාවක්, ගායිකාවක්, සංගීත ගුරුවරියක්, සංගීත උපදේශිකාවක්, සහකාර අධ්‍යක්ෂිකාවක් ඊට පස්සේ අධ්‍යක්ෂිකාවක් වශයෙන් ඔබේ වටිනා දැනුම් සම්භාරය සහ අත්දැකීම් අනාගත පරපුර වෙනුවෙන් විශාල ලෙස ලබාදුන්නු කෙනෙක්, විශ්‍රාම ගියාට පස්සේ මේ වන විට ඒ වැඩ කටයුතු නවත්වලාද තියෙන්නේ ?


නැහැ මම ඒ තනතුරු වලින් විශ්‍රාම ගත්තාට පස්සේ පෞද්ගලික පන්ති පවත්වලා ඒ දැැනුම මේ රටේ ඊළග පරපුරට බෙදා හදා දුන්නා. පසුගිය කොරෝනා තත්වය අපු කාලේ ඒ කටයුතු ඔන්ලයින් (ධදතඪදඥ) ක්‍රමයට තමා කරගෙන ගියේ. මෑතක සිට එය නැවතත් පන්ති වශයෙන් පවත්වා ගෙන යනවා.


අවසාන වශයෙන් ඔබට යමක් කියන්න තියෙනවද ?


ඇත්තටම මම මේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට අවේ ශාස්තී‍්‍රය සංගීතය මනාව හැදැරීම තුළින්. මේ ක්ෂේත්‍රයට එන ඕනෑම කෙනෙක්ට මම කියන්නේ එහි රැඳී ඉන්නවා නම් ශාස්තී‍්‍රය සංගීතය හදාරන්නම ඕනේ කියන එකයි මගේ අදහස. ඒක ඒ හැමෝටම ගොඩක් හොදයි. හොඳ දැනුමක් ලබා ගන්නත් පුළුවන්. මෙලෙස එය හැදෑරීම මුළු ජීවිත කාලයටමත් ගොඩක් වටිනවා. ඒ වගේම අද හොඳ ගී පද රචනා, ගී තනු රචනා, සංගීත නිර්මාණ බිහි වෙනවා අඩුයි. වඩාත් හොඳ ගුණාත්මක බවින් යුත් ඒවා බිහිවෙනවා නම් ඉතාම වටිනවා. මේ ක්ෂේත්‍රයේ පැවැත්ම තියෙන්නේ එතන තමයි. වත්මන් පරපුරට මම ඒ පණිවිඩය ලබාදෙන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.


හේමන්ත බණ්ඩාර








Previous Post Next Post