මට හොඳම නළුවා සම්මානය හත් වතාවක්ම ලැබුණා-ජනක් ප්‍රේමලාල්



ලාංකේය සිනමාව, වේදිකාව සහ රූපවාහිනියේ සිය රංගන හැකියාව මැනවින් ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබන දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස ජනක් ප්‍රේමලාල් පෙන්වාදෙන්න පුළුවන්. ඔහු මේ වනවිට රූපවාහිනි කතාමාලා බොහෝ ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා. එමෙන්ම දක්ෂ නළුවෙක්, නාට්‍යකරුවෙක්, අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ගුරුවරයෙක් ලෙස සිය වගකීම කලා ක්ෂේත්‍රයට ඉටුකරමින් සිටිනවා. ඉතින් මේ අපූරු නිරහංකාර රංගන ශිල්පියා මෙවර ‘හදගැස්ම’ සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්.


කොහොමද මේ දිනවල ගෙවන ජීවිතේ?


ටිකක් කාර්යබහුලයි. නමුත් භාරගත්ත නිර්මාණවල වැඩ කටයුතුත් කරගෙන, මගේ වැඩ කටයුතුත් කරගෙන පාඩුවේ ඉන්නවා.


මේ දිනවල ඔබ නිරත වන කලා කටයුතු ගැන කතා කළොත්?


මේ දිනවල භාරගත්ත නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායකත්වය ලබාදෙනවා. සික්ස් පැක් ටෙලි නාට්‍ය නම් මේ වනවිටත් විකාශය වෙනවා. අනෙක් ටෙලි නාට්‍ය දෙක ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. ඒ වගේම වසර දහනවයකට පසු මගේ අතින් නිර්මාණය වූ ‘ආ¾ඩි හතයි කැඳ හැළියයි’ නම් වේදිකා නාට්‍යයේ පනස් වැනි දර්ශනය දෙසැම්බර් මාසයේ 16 වැනිදා වේදිකාගත වෙනවා.


සික්ස් පැක් ටෙලිනාට්‍යයෙන් ඔබට ලැබෙන ප්‍රතිචාරය කොහොමද?


ඇත්තටම හිතුවට වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර මට මේ ටෙලිනාට්‍යයෙන් ලැබෙනවා. මල්ෂා නම් දැරියගේ පියාගේ චරිතයටයි මම රංගනයෙන් දායක වෙන්නේ.


ඔබ දක්ෂ නළුවෙක්, නාට්‍යකරුවෙක්, අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ගුරුවරයෙක්. ඔබේ මේ භූමිකා දෙස හැරී බැලුවම මොකද හිතන්නේ?


මගේ ජීවිත කාලයෙන් හතරෙන් තුනක්ම මම ගෙවා අවසන්. ඉතින් මම ආපු ගමන්මඟ දිහා ආපහු හැරිලා බැලුවම ගොඩාක් සතුටු හිතෙනවා. මම ඉගෙනගත් දෙයින්, ලබාගත් අත්දැකීම්වලින් කලාව වෙනුවෙන් යමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම කලා ක්ෂේත්‍රයට පා තබන්නට කැමැති පිරිසක් වෙනුවෙන් ක්‍රමානුකූලව නාට්‍ය පුහුණුවක් ලබාදීමට මම කටයුතු කරනවා.


රූපවාහිනියෙන් නිතර ප්‍රේක්ෂකයන්ගේ නෙත ගැටෙන ඔබ සිනමාවෙන් අෑත්වෙලාද?


මම බොහෝ නිර්මාණ කළේ පුංචි තිරයත් සමඟ. නමුත් රිදී තිරයටත් යම් යම් අවස්ථාවල සහභාගි වුණා. තවමත් ඒ සඳහා ආරාධනා ලබෙනවා. නමුත් මගේ වයස, නිර්මාණය කරන අධ්‍යක්ෂවරයා වැනි සාධකත් නිර්මාණයක් භාර ගැනීමේදී හේතු වෙනවා. මගේ වයසත් එක්ක මම දැන් බොහෝ නිර්මාණ භාරගන්න කෙනෙක් නෙවෙයි. මේ වසරේදීත් මම නිර්මාණ තුනයි භාරගත්තේ. ඒ තුනම ටෙලිනාට්‍ය. භාරගත් වැඩ අතරමඟ දාලා අලුත් නිර්මාණ භාරගන්න කෙනෙක් නෙවෙයි මම. ඒ නිසාම සිනමාව ටිකක් දුරස් වුණා.


ඔබ රයිගම්, සුමති, සිග්නීස්, රාජ්‍ය නාට්‍ය උළෙලවල සම්මානලාභියෙක්. ඒ ගැන මොකද හිතන්නේ?


වර්තමානයේ කලාකරුවා කියන්නෙම බොහොම කාර්යබහුල කෙනෙක්. ඉතින් මේ කාර්යබහුල බව එක්කම බොහෝ කලාකරුවන්ට ඒ නිර්මාණයට උපරිම සාධාරණයක් කරන්න බැරිවෙලා තිබෙනවා. නිර්මාණයක චරිතයක් කරන්න ඕනේ ඒකට සමාධිගත වෙලා. මට හොඳම නළුවා සම්මානය හත් වතාවක් හිමිවෙලා තිබෙනවා. මට ඒ වගේ සම්මාන ලැබුණේ ෂූටින් නොතිබුණු අවස්ථාවලදී පවා මම ඒ චරිත ඇතුළේ ජීවත් වුණු නිසා. ඒ වගේම ඒ ඒ චරිතවලට කරන කැපකිරීම මත තමයි අපට හොඳ චරිතයක් ප්‍රේක්ෂකයාට ගෙනයන්න හැකි වෙන්නේ.


ක්ෂේත්‍රයේ නවක නළු නිළියන් ගැන මොකද හිතන්නේ?


කලාවේ අනාගතය රැඳී පවතින්නේ නවක නළු නිළියන් මතයි. ඔවුන් මේ ක්ෂේත්‍රයට කරන කැපකිරීම මත ඔවුන්ගේ දක්ෂතාව ඉස්මතු වෙනවා වගේම කලා ක්ෂේත්‍රයේ අනාගතය තීරණය වනවා. අපි කලාව ඉගෙනගත්තේ ඒ කාලේ ප්‍රවීණයෝ රඟපාන දිහා බලලා. අද පරම්පරාවේ එහෙම ස්වභාවයක් නම් දැකගන්න නැහැ. බොහෝදෙනාට අවශ්‍ය වී තිබෙන්නේ සුලබ ජනප්‍රියත්වය පමණයි. ඉතින් මම නම් දකින්නේ කලාව යායුත්තේ එතැනට නෙවෙයි.


හොඳ තිර පිටපත් අඩුයි කියලා සමාජයේ මතයක් තිබෙනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?


හොඳ තිර පිටපතක් බිහිවෙන්න නම් හොඳ තිර පිටපත් රචකයෝ බිහි වෙන්න අවශ්‍යයි. හොඳ තිර පිටපත් රචකයෝ සිටියත් වර්තමානයේ බොහෝ ටෙලිනාට්‍ය පිටපත් ලියැවී ඇත්තේ රූපවාහිනි නාළිකාවලට අවශ්‍ය ලෙස මිස පිටපත් රචකයාට අවශ්‍ය ලෙස නෙවෙයි. හොඳ ටෙලිනාට්‍යයක් නිර්මාණය කරනවාට වඩා විකුණා ගැනීම මූලික වී ඇති නිසා තිරපිටපත් රචනය මේ වනවිටත් වාණිජමය කටයුත්තක් වෙලා.


වර්තමානයේ කලා ක්ෂේත්‍රය අර්බුදයකට ලක්වෙලාද?


මේ වනවිට කලා ක්ෂේත්‍රයේ පමණක් නොව සෑම ක්ෂේත්‍රයකම යම් යම් අර්බුද නිර්මාණය වෙලා තිබෙනවා. ඒ අර්බුදත් එක්ක කලාව ඉදිරියට යෑම අපහසු තත්ත්වයකට පත්වෙලා. ඉතින් හොඳ නිර්මාණ බිහි වෙනවා වෙනුවට ඉබාගාතයේ බිහි වන නිර්මාණවල වැඩිවීමක් සිදුවෙලා. ඒත් සමඟම කලාවේ යම් පසුබෑමක් ඇතිවෙලා.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


පවතින තත්ත්වයත් එක්ක අනාගතය ගැන සිහින දැකීම අපහසුයි. හෙට මොකක් වෙයිද කියලා කිසිම කෙනෙක්ට හිතාගන්න බැහැ. ඒත් කලාව තුළ යම් උන්නතියක් දකින්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කලාවේ අනාගතය වෙනුවෙන් මට කළ හැකි දෙයක්, මගේ වපසරිය තුළ කරන්න මහන්සි වෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post