මාව කවදාවත් කාටවත් වට්ටන්න බැහැ – පියුමි ශ්‍රීනායක



පසුගිය කාලයේ විකාශය වුණු අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වුණු පාරදිගේ ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවට ආ පියුමි ශ්‍රීනායක ඔන්න දැන් ආයෙමත් ඇවිදින්. ඒ අරුණ ජයවර්ධනගේ අධ්‍යක්‍ෂණයෙන් හිරු නාලිකාවේ සතියේ දින පහේම සවස 6.30 ට විකාශය වෙන ධණ බොස් ටෙලි නිර්මාණයේ ‘අරුණි. ලෙසිනි. ඉතින් අපි කාලෙකින් පියුමි එක්ක ඒ ගැන කතා කළා.


 පියුමි කොහොමද ඉතිං?


හොඳයි. මගේ අලුත්ම ටෙලි නාට්‍ය ධණ බොස්. ආරම්භ වුණා. පළමු කොටසින්ම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉදිරියේදී තවත් හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා හිතනවා.


අරුණි. මොනවගේ චරිතයක්ද?


අධ්‍යක්‍ෂවරයා සහ පිටපත් රචකයා කියන විදිහට ‘අරුණි. කියන්නෙ පිළිගැනීමේ නිලධාරිනියක්. තමන්ගෙ කාර්යාලයේම ඉන්න තරුණයන් දෙදෙනෙකුට ආදරය කරන තරුණියක්. ඉතිං ඔය ආදර කතා දෙකම සමබරව කරගෙන යන කෙල්ලෙක් තමයි ඇරුණි කියන්නේ. ඔෆිස් එකේ ඉන්න ලස්සනම කොල්ලො දෙන්න එක්ක යාළුවෙලා දෙන්නවම ෂේප් එකේ රවට්ටනවා.


පියුමි මේ දවස්වල කොල්ලො දෙන්නෙක්ම රවට්ටනවා?


දෙන්නෙක් තියා එක්කෙනෙක්වත් නැතුව තමයි මේ ඉන්නෙ.


පියුමිට ‘අරුණිව. හම්බවුනේ කොහොමද?


ජනක සම්පත් තඹරවිල තමයි මාව මුලින්ම මේ ක්‍ෂේත්‍රයට අරගෙන ආවේ. ඔහුගේ ටෙලි නාට්‍ය රැසක මම රඟපාලා තියෙනවා. මෙහි අරුණ ජයවර්ධන අධ්‍යක්‍ෂවරයාට මාව මුණගස්වන්නෙත් ජනක අයියා. අන්තිමේ මට මේ චරිතය දෙන්න ඔවුන් කැමති වුණා.


 අරුණි ‘පියුමිට. සමානද?


සමාන නැහැ. ඒක වෙනම චරිතයක්. අරුණි කියන්නෙ හරිම සැහැල්ලුවෙන් ඉන්න කෙල්ලෙක්. ඒ වගේ චරිතයක් මට කිසිසේත්ම සමාන වෙන්නේ නැහැ. මම හරි සීරියස් කැරැක්ටර් එකක් කියලා හිතනවා.



රංගනයට ලැබෙන ආරාධනා ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම මට ගොඩක් සතුටුයි. අද වෙනකොට මේ ක්‍ෂේත්‍රයට නවකයෝ ගොඩක් එනවා. නමුත් පියුමි ශ්‍රීනායක කියන නම හැමෝටම මතක තියෙන එක ගැන ගොඩක් සතුටුයි. මම තව ටෙලිනාට්‍ය තුනක රඟපාලා තියෙනවා. තවමත් මට රඟපෑමට ආරාධනා ලැබෙනවා කියන්නේ මම යමක් කරන හින්දනේ.


පසුගිය දවස්වල පාර දිගේ ටෙලි නාට්‍ය හින්දා හරියට බැණුම් ඇහැව්වා නේද?


ගොඩක් බැණුම් ඇහැව්වට අනෙක් පැත්තෙන් මට ලැබුණු ගොඩක් දේවල් තිබෙනවා. ඒකට සිවා සර්ට වගේම චාමර අයියාට” සද්දා අයියාට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෑ. පාර දිගේ ටෙලි නාට්‍යයෙන් ලැබුණු දේවල් ගොඩයි.


මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?


මට හිතාගන්න බෑ මේ මමමද කියලත්. මම ගොඩක් අය හීන මවන චරිතයක් වෙලත් තිබෙනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළයි.


මේ තැනට එන්න ගොඩක් දුක් වින්ද ද?


ගොඩක් කටුක අත්දැකීම් තිබෙනවා. දැනටමත් ගොඩක් සාකච්ඡාවලදී ඒ ගැන කියලත් තිබෙනවා. රඟපානවා කියන එකත් ලේසි නෑ. හැමදාම ඉගෙන ගන්න දෙයක් තිබෙනවා. මම ඒක ඉගෙන ගනිමින් ඉන්නවා.


 නිළියක්වීම ගැන මොකද හිතන්නේ ?


ගොඩක් සතුටුයි. මම පුංචි කාලේ ඉඳලා හීන මැව්වේ නිළියක් වෙන්න. ඉතින් අද වෙනකොට ඒ හීනය සැබෑ කරගෙන තිබෙනවා.


ලැබෙන ආරාධනා ගැන තෘප්තිමත්ද?


ඔව්. ඇත්තටම තෘප්තිමත්. මොකද දැන් කාලේ හැමදාම අලුත් කෙනෙක් ක්‍ෂේත්‍රයට එනවා. ඒත් මට ආරාධනා ලැබෙනවා. ඒ කියන්නේ මගේ ජනප්‍රියත්වයේ අඩුවක් නැහැ කියන එකනේ. පාර දිගේ ටෙලි නාට්‍ය ඉවර වුණාට පස්සෙ අලුත් ටෙලිනාට්‍ය හතරක රඟපෑවා.


මේ වෙලාවේ විකාශනය වෙන්නේ ධණ බොස්. විතරද?


ඔව්” ධණ බොස් විතරයි. තව නාට්‍ය තුනක් එන්න තියෙනවා.


 විලාසිතාවලට තියෙන නැඹුරුව?


විලාසිතාවලට මම ගොඩක් ආසයි. එන එන විලාසිතා බලලා මම කරනවා. මටම ආවේණික වූ විලාසිතා තියෙනවා. නැත්නම් මම පිටරට කට්ටිය ෆලෝ කරනවා. කාලෙන් කාලෙට විලාසිතා එක්ක අලුත් වෙනවා.


පියුමි ෆලෝ කරන කවුරු හරි ඉන්නවාද?


මම ඉන්දියානු නිළියන් ගොඩක් ෆලෝ කරනවා. දීපිකා පදුකෝන්” ජාන්වී කපූර්” ආලියා භාත් යන නිළියන් කරන විලාසිතාවලට මම කැමතියි.


ටැටූවලට අකමැතිද?


මම ටැටූවලට ගොඩක් කැමති කෙනෙක්. නමුත් මම නිළියක් හින්දා මට ඒක බලපානවා. මගේ අතේ ටැටූ එකක් තියෙනවා. සමහර චරිතවලදී මට ඒක මකන්න සිද්ධ වෙනවා. එතකොට ඒක අනෙක් අයට කරදරයක්. ටැටූවලට කොච්චර ආස වුණත් මට ගහන්න බැහැනේ. මොකද මම ඇක්ට්‍රස් කෙනෙක් හින්දා. චරිතවලට අසාධාරණයක් සිද්ධවෙන හින්දා.


 ජීවිතයේ ගත්තු තීරණ ගැන මොකද හිතන්නේ?


ජීවිතයේ වෙච්ච දේවල් මම කවදාවත් පසුතැවීම් විදිහට ගත්තේ නැහැ. මම ජීවිතයේ එකම පසුතැවීම විදිහට හිතන්නේ මගේ මල්ලි මට නැතිවීම. අපේ ලෝක ධර්මතාවය එක්ක අපිට ඒකට මුහුණදෙන්න සිද්ධ වුණා. මගේ ජීවිතයට වුණු හැම දෙයක්ම මම ආදරයෙන් භාර ගන්නවා. මොකද මගේ ජීවිතයට නරක දෙයක් වුණා කියන්නෙ මම ඒකෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්නවා කියන එකයි. මාව කවදාවත් කාටවත් වට්ටන්න බැහැ. මොකද මම ඒතරම් ශක්තිමත් කියලා මම දන්නවා.


දිනේෂ් විතාන





Previous Post Next Post