ගැහැනු කියන්නෙම සියල්ල දරා සිටින කඳු -නිරෝෂා පෙරේරා



“අපේ විවාහය කෙරෙන්නේ ගිනිකන්දක් උඩ නැඟපු පෝරුවක. මගේ ස්වාමියාගේ රටේ සකුරා මලින් පිරිච්ච හරි ලස්සන මාලිගාවක් තියෙන්න පුළුවන් තමයි. ඒත් ඉතින්…” මේ කන්දක් සේමා සිනමා පටයේ දෙබසක්, ඒ සමඟම මේ දිනවල ක¾දු ගැන නිතර අපට අසන්නට ලැබෙනවා. ඒ ගැහැනු සිත කියවූ අපූරු සිනමා නිර්මාණයක් පසුගියදා තිරගත වීමත් සමඟයි. සම්මානනීය ලේඛිකාවක් වන සුමිත්‍රා රාහුබද්ධගේ තිර රචනයක් වගේම අසෝක අතාවුදහෙට්ටියේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ කන්දක් සේමා සිනමා කෘතියේ නූපාගේ චරිතයට පණ පොවන නිරෝෂා පෙරේරා මෙවර හදගැස්ම සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්. මේ දවස්වල මොකද වෙන්නේ?


මේ දවස්වල මම පුදුම කාර්යබහුලයි.  කන්දක් සේමා ෆිල්ම් එකත් සමඟ මගේ දවසේ පැය විසිහතරම ගත වෙනවා. මම වැඩක් භාර ගත්තම ඒ වැඩේ මුල  ඉඳලා අග වෙනකල්ම උපරිම දායකත්වය ලබා දෙන කෙනෙක්. කන්දක් සේමා චිත්‍රපටයේ කතා නායිකාව නූපා. රංගන ශිල්පිනියක් ලෙස  නූපාව රඟදක්වන්නේ මම. ඉතිං මගේ වගකීම බොහොම සන්තෝශයෙන් වගේම මට හැකි උපරිමයෙන් මේ නිර්මාණයට ලබා දෙනවා.


වසර ගණනාවකට පස්සෙ ලංකාවේ කලාව තුළ යළිත් ඔබේ නම කියැවෙනවා. ඒ ගැන මොකද හිතන්නේ?


කන්දක් සේමා චිත්‍රපටය කරලා වසර නවයකින් තමයි තිරගත වෙන්නේ. නමුත් පසුගිය වසර නවයම ෆිල්ම් එක ආවා හා සමානවම ෆිල්ම් එක ගැන කතාබහක් තිබුණා. ඒක තමයි මේ ෆිල්ම් එක ගැන මට තියෙන විශේෂත්වය. මුලින්ම එළිදක්වපු ඡායාරූපයේ සිටම කවද ද මේ ෆිල්ම් එක එන්නේ කියන කතාබහක් ප්‍රේක්ෂකයන් තුළ තිබුණා. වසර ගණනක්ම ඒ කුතුහලය අඩුවක් නැතිව හැමෝටම තිබුණා. මම ගොඩක් රටවල සංචාරය කරද්දි පවා හමුවූ ඇතැම් අය ඇහුවා ෆිල්ම් එක ඇවිත් ගියාද කියලත්. ඒ තරම් උනන්දුවක් මේ ෆිල්ම් එක ගැන හැමෝටම තිබුණා. ෆිල්ම් එක ගැන මම මේ වන විටත් කිහිප සැරයක්ම කතා කරලා තියෙනවා. ඒ සෑම අවස්ථාවකම මට නැවත නැවතත් කතා කරන්න බොහෝ දේ තිබෙනවා.


නූපාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මේ චිත්‍රපටය රූගත කරන කාලයේ ඒ රංගනය දැකපු අයගේ පටන් තිරගත වීම දක්වා ලැබුණු ප්‍රතිචාර ගොඩක් ඉහළයි. ඒ ගැන බොහොම සන්තෝසයි. මම නූපාගේ චරිතය ඇහිපිල්ලමේ ඉඳලා, හුස්මේ ඉඳලා හොඳින් අධ්‍යයනය කරලයි රඟපෑවේ. ඒ නිසා මට මේ රංගනය ගැන ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නිරෝෂා පෙරේරාටත් ෆෑන් බේස් එකක් ඉන්නවා. ඒ වගේම නූපාටත් ෆෑන් බේස් එකක් ඉන්නවා. ඉතින් මේ ගැන වඩාත් උනන්දුවක් ඇති අය තමයි පළමු දවසේ පළමු දර්ශන වාරය නරඹන්නට එන්නේ. ඉතින් ඒ අයගෙන් ලැබුණු ප්‍රතිචාර බොහොම හොඳයි.


ලිංගික ආශාවේ ගොදුරක් බවට පත්වන නූපා වැන්නියන් සහ ඔවුන්ව සම්ප්‍රධායික සමාජය තුළ ස්ථානගතවන ආකාරය සම්බන්ධයෙන් ඔබේ ආකල්පය?


සෑම ගැහැනියකටම නූපාගේ ජීවිතයේ සිදු වූ හෝ සිදුවෙමින් පවතින කුමන හෝ සිදුවීමක්, අවස්ථාවක් සමඟ කුමන හෝ සම්බන්ධයක් තිබෙනවා. ඒ නිසයි නූපා කියන චරිතය ඒ තරම් විශාල. නූපා වගේ අයත් ඕනෑ තරම් සමාජයේ ඉන්නවා. මේ නූපා කියන ගැහැනියත් කන්දක් වගේ. කන්දක් කියන්නේ කඩා වැටෙන දෙයක් නෙවෙයි. සියල්ල දරා සිටින දෙයක්. නූපා කියන්නෙත් සියල්ල දරා සිටින ගැහැනියක්. මෙම චරිතයේදී මට තියෙන්නේ නූපාගේ චරිතය ඇතුළේ ජීවත් වීම. නූපාගේ චරිතය තුළ නිරෝෂා කොතැනකවත් නැහැ කියන එක තමයි මට ලැබුණු හොඳම ප්‍රතිචාරය. මම නූපාව කියවන්න උත්සාහ කළේ ලියපු කෙනාගෙ ඇසෙන්. මොකද ලියපු කෙනා තමයි මාව මේ චරිතයට තෝරා ගත්තේ. ඒ වගේම ලියපු කෙනා තමයි නූපා ගැනත් හොඳටම දන්නේ. මට මේ අවස්ථාව ලැබුණ දා ඉඳලාම උත්සාහ කළේ, කොහොමද මම මේ නූපාට පණ දෙන්නෙ කියන දේ අධ්‍යයනය කරන්න.


නූපා කියන්නේ සෑම අතකින්ම සාම්ප්‍රදායිකත්වයට හසුවුණු ගැහැනියක්. ළිඳට වැටුණු මිනිහා ගොඩ එන්න ඕන ළිං කටෙන්මයි. මොකක් හරි පලුද්දක් ඇති වුණාම කාන්තාවක් secondhand වෙනවා වැඩියි. පොඩි දේත් ඇති කාන්තාවකගේ ජීවිතය වෙනස් කරන්න. නූපාට වෙන්නෙත් ඒ වගේ දෙයක්. තමන් වෙනුවෙන් පෙනී සිටින්න වෙන්නෙත් තමන්ටමයි. කෝප්පයක අඬුව කැඩුණට පස්සේ ඒ කෝප්පෙන් වැඩක් නෑ කියන තැන තමයි සාම්ප්‍රදායික ගැහැනියට ලැබිලා තියෙන්නේ. නමුත් අපි හිතන විධිය වෙනස් කරපු දවසට යැපුම් මානසිකත්වයෙන් බැහැරවුණු දවසට, ස්වාධීන ගැහැනියක් ලෙස නැඟීසිටින්නට පුළුවන්. නිරෝෂා විධියට මම හිතන්නේ එහෙම.


කන්දක් සේමා රූගත කළේ මීට බොහෝ කාලයකට කලින්. එය තිරගත වනතුරු බලා සිටීම මොන වගේ අද්දැකීමක්ද?


ෆිල්ම් එකක් රිලීස් වෙනකල් බොහෝ කාලයක් බලා සිටීම නිෂ්පාදකවරුන්ගේ පැත්තෙන් විශාල ඛේදනීය තත්ත්වයක්. මොකද ඔවුන් නිර්මාණයකට ලොකු පිරිවැයක් දරනවා. ඒ වගේම නිර්මාණකරණයේ යෙදුණු හැමෝටම මේ තරම් කාලයක් බලා සිටින්න වීමම ඒ අයට කරන ලොකු අසාධාරණයක්. කවුරුහරි කෙනෙක් මගෙන් කන්දක් සේමා ෆිල්ම් එක ගැන අහද්දී මම රාහුබද්ධ මහත්මියගෙන් අහනවා ෆිල්ම්එක ගැන. මම පොසිටිව් විධියට හිතන කෙනෙක්. ඒ නිසා මම නම් හිතන්නේ මේ ෆිල්ම් එකේ ප්‍රමාදවීමම එයට ලැබුණු ඇඩ්වාන්ටේජ් එකක් කියලා. පමාවෙලා හෝ වසන්තය එනවා.


කන්දක් සේමා කියන්නේ ගැහැනුන්ගේ වැඩක්. ඒ ගැන කතා කළොත්?


ඇත්තටම හොඳ කාන්තා නියෝජනයක් තිබෙනවා. ගැහැනු කියන්නේම ක¾දු. සියල්ල දරා සිටින. නමුත් මේ නිර්මාණය ක¾දු වගේ ගැහැනු වගේම, ක¾දු වගේ පිරිමින්ගේත් වැඩක්. මොකද ගැහැනු පිරිමි දෙපිරිසම මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා.


සුමිත්‍රා රාහුබද්ධ ඔබේ රංගනය පිළිබඳව මොනවගේ අදහසක්ද දැරුවේ?


රාහුබද්ධ මහත්මිය මට එක් අවස්ථාවකදී මෙහෙම කියනවා. “නිරෝෂා ඔයා මට මගේ නූපාව දුන්නා. ස්තුතියි මට මගේ නූපාව දුන්නාට” කියලා. එයා බලාපොරොත්තු වුණ නූපාව මට දෙන්න පුළුවන් වීම ගැන ඇය ගොඩක් සතුටිනුයි ඉන්නේ. ඒක තමයි මට තියෙන ලොකුම සතුට.


ජපන් රංගන ශිල්පීන් සමඟ වැඩ කරන එක මොනවගේ අද්දැකීමක්ද?


එය වැඩ කරපු අපට වගේම ප්‍රේක්ෂකයන්ටත් වෙනස්ම අත්දැකීමක්. ඒ අයත් එක්ක වැඩකරන්න ලැබීමත් මට ගොඩක් ලොකු සතුටක්. ජපන් ජාතිකයෝ කියන්නේ මිත්‍රශීලී පිරිසක්. ජපන් රංගන ශිල්පීන් එක්ක වැඩකරපු එක පෞද්ගලිකව මට ලොකු සතුටක් වගේම හොඳ එක්ස්පීරියන්ස් එකකුත් වුණා. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා අපේ රංගන ශිල්පීන්ටත් ජපන් රංගන ශිල්පීන් සමඟ වැඩ කරන්න අවස්ථාව උදාවේවා කියලා. මොකද ඔවුන්ගේ තාක්ෂණය, අදහස් වගේම රංගනය පිළිබඳව අපට නැවත හදාරන්න පුළුවන්.


ලෝකයේ ස්ටීරියෝ ටයිප් කාන්තාවෝ නෙවෙයි දැන් ඉන්නේ. ඒ ගැන මොකද ඔබ හිතන්නේ?


අනෙක් හැම දේම වගේම කාලයෙන් කාලයට කාන්තාවත් වෙනස් වෙනවා. ඒ වගේම ඕනෑම දෙයක් හිර කරන්න, තද කරන්න උත්සාහ කිරීමෙන්ම ඒ දේවල් කඩාගෙන බිඳගෙන යනවා. කාන්තාවන්ගේ ඉවසීම සහ දරාගැනීම අවසන් වූ තැනත් ඔවුන් බැඳීම් කඩාගෙන ඉස්සරහට යන්න උත්සාහ කරනවා. දැන් කාන්තාවන් ගෙදරටම කොටු වෙලා ඉන්න උත්සාහ කරන්නෙ නැහැ. ඔවුන් බොහෝ දෙනෙක් ආර්ථික වශයෙන් නිදහස්.


ඇයි ඔබ පසුගිය කාලේ කලා ක්ෂේත්‍රයේ පේන්න හිටියේ නැත්තේ?


මම මගේ ජීවිතය බොහොම සමබරව ගෙනියන කෙනෙක්. මම පසුගිය කාලයේ කලා නිර්මාණවල පේන්න හිටියේ නැහැ. ඒ මගේ අධ්‍යාපන කටයුතු නිසා. කලා ක්ෂේත්‍රයේ වැඩිපුර පේන්න හිටියේ නැති වුණාට මගේ පෞද්ගලික ජීවිතයේ අධ්‍යාපනය සහ අධ්‍යාත්මික ක්ෂේත්‍රවලින් බොහෝ ඉදිරියට ගිහින්. ඒ වගේම නිතරම පේන්න ඉන්නවට වඩා පේන්න නැති වුණාම මින්ස්සු අපි ගැන හොයනවා වැඩියි. නිතරම දකින කුකුළගෙ කරමලෙත් සුදුවෙනවා කියලා කතාවටත් කියනවානේ.


නිශානි




Previous Post Next Post