මීට දශක කිහිපයකට පෙර මෙරට කලා අඹරට පැයූ දීප්තිමත්ම තාරකාවක් වූ ඇය අදටත් ඒ හා සමානම එළියක් විහිදුවමින් ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ රැඳී සිටින්නීය. ඇය සතු වූ සහජ දක්ෂතාව හා කැපවීම හේතුවෙන් එදා මෙදා තුර සම්බන්ධ වූ සෑම නිර්මාණයක්ම පාහේ අතිශය ජනප්‍රිය වූ අතර ඒ හා සමානවම ලබා ගත් සම්මාන ගණනද අති විශාල වේ. ජීවිතය හමුවේ කොතරම් බාධා පැමිණියද අන් අයටද ආදර්ශයක් වෙමින් පෞද්ගලික ජීවිතයේ මෙන්ම කලාව තුළද සාර්ථකත්වයේ උපරිමය කරා පැමිණ සිටින ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන්ය.
අලුත් තොරතුරු ටිකක් කියලම පටන් ගමු?
තිළිණ බොරලැස්සගේ අධ්‍යක්ෂණය කරන ටෙලි වෘත්තාන්තයක රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. තව මේ දවස්වල නුවර ප්‍රදේශයේ රූගත කිරීම් සිදු කරන නිර්මාණයකටත් සම්බන්ධ වෙලා ඉන්නේ. ඊට අමතරව චිත්‍රපට දෙකකට දායක වෙන්න තිබෙනවා ඉදිරියේදී. ඔය දේවල්වලට අමතරව මම අලුතෙන් ආරම්භ කරන්න ඉන්න ව්‍යාපාරයේ වැඩ කටයුතුයි, මගේ දුවගේ වැඩ කටයුතුයි එක්ක කාර්යබහුල වෙලා සිටින්නේ.
කදිර දිව්‍ය රාජ අති සාර්ථක සිය වැනි දිනයත් පසු කළා. එහි ඔබේ සුවිශේෂී භූමිකාව ගැනත් කතා කරමු?
මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රවි ලියනගේ මට ඒ චරිතයට කතා කළාම මම බොහොම කැමැත්තෙන් එය භාර ගත්තා. වල්ලි අම්මාව සොයා ගත්ත මෑණියන්ගේ චරිතය මම කළේ. මට මේ චිත්‍රපටය ඇතුළේ ලොකු වගකීමක් තිබුණා. මොකද චිත්‍රපටයේ ආරම්භක දර්ශනය කළේ මම සහ රෝෂාන් පිලපිටිය. ප්‍රේක්ෂකයාව රඳවාගන්න පුළුවන් වෙන්නේ පළමු දර්ශනය තුළින්. මම හිතනවා මම ඒක බොහොම සාර්ථකව කළා කියලා. චිත්‍රපටයේ ප්‍රොමෝෂන්වලට සහභාගි වෙද්දි ප්‍රේක්ෂකයන්ගේ සතුට, ආදරය, කදිර දිව්‍ය රාජ මොනතරම් සාර්ථකද කියන දේ මම දුටුවා. පරිණත කලාකාරිනියක් හැටියට අපි සම්බන්ධ වුණා හෝ නොවුණා හැම චිත්‍රපටයක්ම, හැම ටෙලි නාට්‍යයක්ම, හැම වේදිකා නාට්‍යයක්ම මේ වගේ සාර්ථක වෙන්න අවශ්‍යයි කියන දේ තමයි මගේ ප්‍රාර්ථනාව. මේ වෙද්දි කදිර දිව්‍ය රාජ චිත්‍රපටය අපේ අනෙකුත් නිර්මාණවලට හොඳ බැට්ල් එකක් අරන් දීලා තිබෙනවා. ඒක ප්‍රයෝජනයට අරගෙන අනෙකුත් නිර්මාණත් ඒ වගේම සාර්ථක වෙනවා දැකීම තමයි මගේ සතුට.
ඔබ හිතන විධියට ප්‍රේක්ෂකයා සිනමාවෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?
සිනමාවට තිබෙන්නේ සීමිත ප්‍රේක්ෂකාගාරයක්. මම හිතන විධියට සිනමා නිර්මාණයක් අවසානයේ ප්‍රේක්ෂකයාට ප්‍රශ්නයක් ඔළුවේ තබාගෙන එළියට එන්න දෙනවට වඩා සතුටක් හිතේ තබාගෙන එළියට එන්න අවස්ථාවක් දෙනවා නම් ගොඩක් හොඳයි. මොකද අපේ රටේ මිනිස්සු ගොඩක් ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්නේ. මම හිතන්නේ අපිට සිනමාව වේවා, ඕනෑම කලා මාධ්‍යයක් හරහා ප්‍රේක්ෂකයාට යහපත් පණිවුඩයක් සමඟින් සතුටත් දෙන්න හැකි වෙනවා නම් ඒක තමයි විය යුතු.
කලාවට සම්බන්ධ වෙලා දශක ගණනාවක් ගතවෙලත් අදටත් ඔබට නිර්මාණ ජනප්‍රිය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
ඒකට හේතුව විධියට මම දකින්නේ මට ආරාධනා ලැබෙන හැම නිර්මාණයකටම දායක නොවීම. ඒ වගේම මම මට ලැබෙන චරිතයට උපරිමයෙන් දායකත්වය ලබාදෙනවා. මම අධ්‍යක්ෂ, නිෂ්පාදක වගේම පොදුවේ නිර්මාණය ගැනත් හිතලා චරිත තෝරා ගන්නා කෙනෙක්. තිරපිටපත දහ වතාවක් පමණ කියවන කෙනෙක් මම. මම මගේ චරිතය ගැන හොඳ අවබෝධයක් ලබාගන්නවා වැඩක් ආරම්භ කරන්න කලින්. මම හිතනවා මගේ ජනප්‍රියත්වයට ඒ දේවල් හේතුවක් කියලා. ඒ වගේම වාසනාවක් තිබෙන්නත් අවශ්‍යයි. ඒ වගේම වාසනාව අභිභවා ගිය දක්ෂකමක් හා කැපවීමක් අවශ්‍යයි.
දූ දරුවෝ හරහා ඔබ මෙරට ටෙලි නාට්‍ය ඉතිහාසයේ පළමු වතාවට රැල්ලක් ඇති කරනවා?
දූ දරුවෝ කියන්නේ ලංකාවේ ටෙලි නාට්‍ය ඉතිහාසයේ පළමු දීර්ඝතම ටෙලි නාට්‍යය. නමුත් මේක සතියකට එක දවසක් පමණයි විකාශය වුණේ. ඒ නාට්‍යයේ මම රඟදක්වපු දීප්තිගේ චරිතය එක රැයකින් ලංකාවේ ජනප්‍රිය වෙනවා. ඒ කොණ්ඩය, ඒ බාච්චු කලිසම, ඒ බෑග් එක, ඒ ස්ටයිල් එක, මේ හැමදේම එක රැයකින් හිට් එකක් වෙනවා. එතැනදි මගේ කොණ්ඩ විලාසිතාව දීප්ති කට් කියලා ලංකාව පුරාම ජනප්‍රිය වෙනවා. දූ දරුවෝ ටෙලි නාට්‍යයේ සෝමවීර සේනානායක මත්මයාට අවශ්‍ය වෙලා තිබුණේ කොට කොණ්ඩයක්. එතැනදි විග් එකක් දාන්න යෝජනා වුණත් මම මගේ කොණ්ඩය එක එක ආකාරයෙන් හදලා පෙන්නුවා. එහෙම පෙන්නද්දි ඔවුන් කැමැති වුණු එක විලාසිතාවක් තමයි නාට්‍යයට යොදා ගත්තේ. ඇත්තටම දීප්ති කට් කියලා ජනප්‍රිය වුණාට ඒක කට් එකක් නෙවෙයි. දීප්ති චරිතය හරහා ලංකාව පුරාම තරුණියන් අතර ඒ කොණ්ඩ විලාසිතාව, ඒ ඇ¾දුම් පැල¾දුම් සියල්ල ජනප්‍රිය වෙනවා. ඒ දිනවල රූගත කිරීම් කෙරෙන දවස්වල හැමදාම උදේට මම තනියම ඒ කොණ්ඩේ සකස් කරගන්නවා. කාලයක් ගියාම නම් ඒක බොහොම පහසු වුණා.
එදා දීප්ති චරිතය රඟදැක්වූ අතීතයේ හා වර්තමාන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝ වෙනස්කම් තිබෙනවා. ඒ ගැනත් කතා කරමු?
ඇත්තටම එදා අපිට නාට්‍යයකට ආරාධනා කරන්න අධ්‍යක්ෂතුමා ගෙදරටම එනවා. අධ්‍යක්ෂතුමාට බැරි නම් අඩුම තරමේ සහාය අධ්‍යක්ෂවරයා හෝ ඇවිත් පැය ගාණක් අරගෙන චරිතය ගැන විස්තර කරනවා. ඒ වගේම ඉස්සර හරිම ලස්සනට මුහුරත් උළෙලවල් පැවැත්වූවා. කලා අධ්‍යක්ෂවරයා ඇ¾දුම් ගැන ඒ හැමදේම විස්තර කළා. අපිට කරන්න නොහැකි දර්ශන තිබෙනවා නම් ඒ දේවල් සුහදව කතා කරලා වෙනස්කම් කරගත්තා. නමුත් අද වෙද්දි ඒ තත්ත්වය වෙනස්. ඒත් මම සම්බන්ධ වෙන බොහෝ නාට්‍යවල නම් මම කියලම ලස්සන මුහුරත් උළෙලවල් පැවැත්වූවා. අද වනවිට චරිතය ගැන පවා විස්තර කරන්නේ රූගත කිරීම් කෙරෙන තැනට ගියාම. නමුත් මම නම් අඩුම කොටස් පහළොවක් ඉල්ලනවා. ඉල්ලලා අධ්‍යක්ෂවරයා සමඟ කතා කරලා චරිතය ගැන අවබෝධයක් අරගෙන තමයි සම්බන්ධ වෙන්නේ. සමහර කලාකරුවන්ට නිර්මාණවලට ආරාධනා කරන්නේ කෝල් එකක් දීලලු. කෝල් කරලා වැඩක් තියෙනවා ඔයාගේ ගාණ කීයද? කියලා අහනවලු. මට නම් එහෙම සිදුවෙලා නැහැ. නමුත් කලාකරුවෝ කියන්නේ භාණ්ඩ නෙවෙයි ගාණ අහලා මිලදී ගන්න. ඔවුන්ටත් වෘත්තීයමය ගරුත්වයක් තිබෙනවා. මේ දේවල් අපේ කලාව ඇතුළේ වෙනස් විය යුතුයි.
ඔබේ ආදරණීය දියණිය ස්වේතා ගැනත් මතක් කරමු?
ඇය මේ වෙද්දි උසස් අධ්‍යාපනය ලබමින් ඉන්නවා. සිනමා නිර්මාණවලටත් ගොඩක් ආරාධනා ලැබෙනවා. නමුත් ඇය ඊට සූදානම් නැහැ. මම බල කරන්නෙත් නැහැ. ඇය අකැමැති දේවල් කරන්න මම බලපෑම් කරන්නේ නැහැ. ඇයට හොඳට සින්දු කියන්න, රඟපාන්න පුළුවන්. නමුත් ඇය හැම වෙලේම කියන්නේ අම්මි මම කලාවට මාර ආදරෙයි හැබැයි ඒක මගේ ෆැෂන් එක නෙවෙයි කියලා. එයා එයාගේ පාරේ යනවා. මම ඇයව ආරක්ෂා කරන්නේ මගේ ඇස් දෙක වගේ. ඉතින් ඇගේ ගමනට ආශීර්වාද කරලා ශක්තියක් වෙන එක තමයි මම කරන්නේ.
අවසාන වශයෙන් ආදර්ශවත් තනි මවක් ලෙස සමාජයේ සිටින අනෙක් තනි මවුවරුන්ටත් පොඩි උපදෙසක් දෙමු?
තනි මවක් ලෙස ජීවත් වෙද්දි අපි බොහොම ශක්තිමත් වෙන්න අවශ්‍යයි. මොකද අපි කඩා වැටුණොත් අපේ දරුවෝ සම්පූර්ණයෙන් විනාශ වෙන්න පුළුවන්. එතැනදි මම කියන්නේ කාන්තාව කියන කෙනා පුළුවන් තරම් ආර්ථිකව ස්වාධීන විය යුතුයි. ඒ වගේම තනි මවක් ලෙස ජීවත් වෙද්දි අපේ ජීවිතයට තව පිට පිරිමියෙක් ළං කරගන්නවා නම් එක වතාවක් නෙවෙයි සිය දහස් වතාවක් සිතිය යුතුයි. මොකද සමහර වෙලාවට අපේ ගෙදර ෙදාර ඇරලා ගන්න කෙනා නිසා අපේ දරුවන් පවා විනාශ විය හැකි නිසා. විශ්වාසවන්ත කවුරුත් නැත්නම් තමාගේ යාළුවා තමා වෙන්න. මුලින්ම මනස ශක්තිමත් කරගන්න. එවිට ප්‍රශ්නවලට මුහුණ දීම පහසු වෙනවා.
අක්ෂි මාපා වීරසිංහ