මමත් පෙම්බරාට ආදරේ කළා -දිනෙත් ද සිල්වා




දිනෙත් ද සිල්වා ගැන ආයෙමත් කතා කරන්න පටන් අරගෙන. , ඒ කන්දක් සේමා චිත්‍රපටය අවුරුදු නවයකට පසුව තිරගත වීමත් එක්ක. දක්ෂ නිරූපණ ශිල්පියෙක් වූ දිනෙත් සිනමාවෙන් වගේම පුංචි තිරයේදිත් දකින්න ලැබුණු චරිතයක්. ඒ නිසා කන්දක් සේමා චිත්‍රපටයේ පෙම්බරා ගැන කතා කරන්න මේ විදිහට ඔහුව එකතු කරගත්තා


කන්දක් සේමා පසුගියදා තිරගත වීම් ආරම්භ කළා, දිනෙත්ව වැඩිය දකින්න ලැබුණේ නැහැ, කැපිල්ලක්ද..?


අවුරුදු නවයකට පස්සේ කන්දක් සේමා චිත්‍රපට ය තිරගත වුණා. මෙතනින් මතක් කරන්න ඕන මම නිරූපණයේදී පරණ වුණාට රංගනයට මම නවකයෙක් කියන එක. පෙම්බරාට රඟපාද්දි මට එක දෙබසක්වත් කියන්න තිබ්බේ නැහැ. නූපා හිතෙන් ආදරේ කරන භූමිකාවකට මට රඟපාන්න තිබ්බේ. කොහොම නමුත් ප්‍රධාන චරිතයක් සඳහා මම දායක වුණා. ප්‍රචාරණ කටයුතු සඳහා මහන්සි වෙන්න සිදු වුණේ මටයි නිරෝෂාටයි. එහෙම කැපිල්ලක් මම දැක්කෙ නැහැ.


අතිශය ජනප්‍රිය නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වූ කන්දක් සේමා චිත්‍රපටයට ඔබට ආරාධනා ලැබෙද්දි එය කියවා තිබුණාද..?


මම ඊට කලින් සුමිත්‍රා රාහුබද්ධගේ පොත කියවලා තිබ්බා. නව කතාව කියවලා මගේ හිතේ මැවිලා පෙනුණු නූපා හා පෙම්බරා මීට වඩා වෙනස්. මමත් පුද්ගලිකව ආදරේ කරපු චරිතයක් තමයි පෙම්බරා කියන්නේ. එහෙම චරිතයක් මටම කරන්න ලැබීම වාසනාවක්.


පෙම්බරාගේ චරිතයට සුමිත්‍රා රාහුබද්ධයන්ගේ හිතේ ඔබට ඉඩක් තිබ්බෙ නැහැ ..?


කන්දක් සේමා සිනමාවට ගෙන එද්දී නූපාගේ චරිතයට ගන්නේ නිරෝෂා පෙරේරා කියලා ඇයගේ හිතේ තිබිලා තියෙනවා. පිටපත ලියවෙන්නේ නිරෝෂා හිතේ තියාගෙන. ඒත් පෙම්බරා ව ලියලා තියෙන්නේ වෙන නළුවෙක් හිතේ තියාගෙන. මම අධ්‍යක්ෂ අශෝක මහත්මයා එක්ක කලින් වැඩ කරලා තිබ්බා. එතුමා තමයි මාව එක්කගෙන සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය ළඟට ගිහිං මාව හඳුන්වලා දුන්නෙ. එතකොට මම ජනතාව අතරට ගිහිං නැහැ. රඟපෑමෙන් ආධුනිකයි. ඇය අහලා මේ පොල් ගහක් වගේ උස කොල්ලා කොහෙන්ද හොයා ගත්තේ කියලා. ඇයගේ හිතේ හිටපු නළුවා වෙනුවට අවසානයේ ඇය මාව ගත්තා. නිර්මාණය අවසන් වුණාට පස්සෙ සුමිත්‍රා අක්කා සතුටු වුණා මාව ගත්ත එකට. මුලින් කැමැත්තක් තිබ්බෙ නැහැ ඒක ඇත්ත.


සයිමන් නවගත්තේගමගේ සංසාර ආරණ්‍ය‍ අසබඩ කෘතියෙන් බිහි වූ ටෙලිනාට්‍යයෙත් ඔබ හිටියේ දෙබස් නැති අාගන්තුකයාට..?


ඔව්, ආගන්තුකයා වගේම පෙම්බරා කියන්නේ දෙබස් නැතුව යන චරිත දෙකක්, ඒක ටිකක් අසීරු වැඩක් නමුත් නිර්මාණ දෙකටම මට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවා.


නිරෝෂා පෙරේරා කියන්නේ නිරන්තරයෙන්ම නිර්මාණවලට සම්බන්ධ වෙන චරිතයක් නෙමෙයි, ඇයත් එක්ක වැඩ කරන්න පහසු වුණාද..?


මම හරිම ආසාවෙන් ඇයත් එක්ක වැඩ කළේ. අපි ජපානයට කාර්තු කිහිපයක් රූගත කරන්න ගියා. ගියේ පොඩි කණ්ඩායමක් එක්ක සමහර වෙලාවට මට හෝ වෙන කෙනෙකුට රූගත කිරිම් නැති නම් සෙට් එකට අපි උදව් කරා. අපේ නවාතැනේ ඉඳලා අපිට පැයක් දෙකක් දුරකින් රූගත කිරිම් ස්ථාන තිබ්බේ, පහට යන්න පිටත් වෙනවා. නිරෝෂා උදේ හතරට විතර ඇහැරිලා පෙර සූදානම් වෙනවා. සෙල්සියස් අංශක 12ක උෂ්ණත්වය ඇති හිමේ රූගත කිරිම් කරද්දී නිරෝෂා කොහොමද ඒ සීතල දරාගත්තෙ කියලා හිතුණා. පිරිමි කෙනෙක් වෙලා මට දරාගන්න අපහසු වෙද්දී, සීතලට කොන්ද රිදෙද්දි ඇය රූගත කිරීම් විනාඩියක් දෙකක් නතර කළ සැණින් බිම වාඩි වෙනවා. නමුත් අපහසුතා කැමරාව ඉදිරියේ දකින්න නැති තරම් හොඳට ඇය රඟපෑවා. ඉතිං ඒ වගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබීම සතුටක්. හරි පහසුයි වැඩ කරන්න. සුහද චරිතයක්.


අවුරුදු නවයකට පසුව තිරගත වූ කන්දක් සේමා ජනතාව වැලඳ ගනීවිද.?


අපිට තිබ්බ එකම බය ඒක. ලොකු කාලයකට පස්සේ තිරගත වෙද්දී වෙනස්කම් පෙනෙයි කියලා, රුවන් කොස්තාගේ දක්ෂ කැමරාකරණය කාලයේ වෙනස සඟවා දමන්න තරම් දක්ෂ වෙලා. ඒ නිසා කියන්න පුළුවන් මේ චිත්‍රපටය වසරකට දෙකකට පෙර වගේ රූගත කළා කියලා. ප්‍රතිචාර වල කිසිම වෙනසක් නැහැ.


පුළුල් තිරයෙන් නිර්මාණය රස විඳිද්දි හිතට දැනුණු හැඟීම කොහොමද ..?


ඕනෑම කෙනෙකුට එන හැඟීම මීට වඩා මට මෙතැනදි කරන්න තිබ්බා කියන එක. ඒ හැගීම් මටත් ඇති වුණා. නමුත් මම අවුරුදු නවයකට පස්සේ ජපානයේ සුන්දර අත්දැකීම් චිත්‍රපටයක එක්ක රස වින්දා. ඒත් එක්ක මම අතීතයට ගියා.


දිනෙත් 2003 වර්ෂයේ නිරූපණයට සම්බන්ධ වුණේ. රඟපාන්නේ 2015දි. ඔබ එංගලන්තය අතහැර කලාවට සම්බන්ධ වූ කෙනෙක් ..?


මම බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රිය කරන්න එංගලන්තයේ හිටියේ. නැවත යන අදහසින් ආවට අහම්බෙන් ලැබුණු නිරූපණ ශිල්පයට මම ආදරේ කරන්න පටන් ගත්තා. ඒත් එක්ක වැඩ ලැබුණා. මේ වෙද්දී චිත්‍රපට 7, ටෙලි නාට්‍ය 6ක් විතර කරලා තියෙනවා. මම ඉස්සර ආසාවෙන් ආදරේ කරපු කලාකරුවන් දැන් ළඟින් ආශ්‍රය කරන්න පුළුවන්. මම එංගලන්තයේ හිටියා නම් මේ ලැබෙන ජනතා ආදරේ ලැබෙන්නේ නැහැ. කලාකරුවෙක් වෙන්න අවස්ථාව ලැබෙන්නෙත් නැහැ, ඒ නිසා එංගලන්ත ජීවිතය අහිමි කරගත්ත එක ගැන දුකක් නැහැ.


නළු නිළියන්ට වයස් සීමාව බල නොපෑවාට නිරූපණයේදී වයස බලපානවා, කොහොමද ශරීරය නඩත්තු කරන්නේ කියලම කතාබහට සමු දෙමු..?


මම හිතන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්න වයසකම නිරූපණ ශිල්පියා මම වෙන්න ඇති. ඒත් තවම ආරාධනාවලින් අඩුවක් නැහැ. මම හිතන්නේ ව්‍යායාම වැදගත්, ශරීරය නඩත්තු කරන්න කෑම බීම වගේම. මම පාසල් කාලෙ දක්ෂ රගර් හා මලල ක්‍රීඩකයෙක්. අදටත් මම මගේ කාලසටහනේ කාලය වෙන් කරලා තියෙන්නේ ක්‍රීඩාවට හා ව්‍යායාම්වලට. ඒක තමයි රහස


හර්ෂණී වීරරත්න





Previous Post Next Post