කෝලි – අනුෂ්කා පවුලට තවත් සාමාජිකයෙක් එන ලකුණු



ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි විවාහ වී සිටින්නේ ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන අනුෂ්කා ෂර්මා සමඟයි. 2017 වසරේ යුග දිවියට එළැඹුණු මේ දෙදෙනාට මේ වන විට සුරතල් දියණියක ද සිටිනවා. ඇයගේ වයස අවුරුදු දෙකක්. මේ අතර ඉන්දියානු මාධ්‍ය තුළ මේ දිනවල ඉතා ජනප්‍රිය වී ඇති ආරංචියකින් පැවසෙන්නේ විරාත් සහ අනුෂ්කා දෙවැනි වතාවටත් මවුපිය පදවි ලැබීමට සූදානම් වෙමින් සිටින බවයි. අනුෂ්කා නැවතත් ගැබ්බරව සිටින බවක් දැනගන්නට ඇතැයි මේ මාධ්‍ය වාර්තාවලින් පැවසෙනවා. කෙසේ නමුත් විරාත් සහ අනුෂ්කා දෙදෙනා නම් තවම මේ ගැන නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ. එහෙත් ඇතැම් පාර්ශව පවසන්නේ තව නොබෝ දිනකින් ඔවුන් ඒ ගැන හෙළි කරනු ඇති බවයි. මේ වන විට ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙමින් ඇති නිසා කෝලි ඉතා කාර්යබහුල තත්ත්වයක සිටින බව රහසක් නොවෙයි. සමහර විට තරගාවලිය අවසන් වූ පසු ඔවුන් ඉහත කී ආරංචිය සනාථ කරනු ඇති බවයි ඇතැමුන් පවසන්නේ.


අනුෂ්කා ගැබ්බරව සිටින බවට පළවන කතාවලට යම් විශ්වසනීය බවක් ලබා දෙන සිදුවීමක් මෙයට ටික දිනකට පෙර සිදු වුණා. එනම් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර පුහුණු තරගයක් සඳහා ඈත ප්‍රදේශයකට යමින් සිටි කෝලි හදිසියේම ගුවන් යානයකින් නැවත මුම්බායි වෙත පැමිණීමයි. ඔහුගේ නිවස පිහිටා තිබෙන්නේ මුම්බායි නගරයේ යි. කෝලි කිසියම් පෞද්ගලික හදිසි තත්ත්වයක් නිසා එසේ පැමිණි බවයි මාධ්‍ය හරහා අනාවරණය වුණේ. මෙම හදිසි කාරණය බොහෝ දුරට අනුෂ්කා පිළිබඳ කාරණයක් විය හැකි බවට අනුමාන කෙරුණා. ඇය කිසියම් බරපතළ ගැටලුවකට මුහුණ දී තිබුණා ද යන්න ගැන බොහෝ දෙනාගේ කුතුහලය යොමු වී තිබෙනු ද දැකගන්නට ලැබුණා. කෙසේ හෝ වේවා, විරාත් පසුව නැවතත් ක්‍රිකට් තරග සඳහා නික්ම ගිය අතර ඉහත කී හදිසි කාරණය එතරම් බරපතළ කාරණයක් නොවූ බවයි පෙනුණේ.


මෙම සිද්ධිය සිදු වීමට දින කිහිපයකට පෙර මේ දෙදෙනා මාතෘ සායනයක සිටිනු දක්නට ලැබුණු බවටත් කතාවක් පැතිරුණා. ඡායාරූප නොගන්නා ලෙස එහිදී විරාත් සහ අනුෂ්කා ඡායාරූප ශිල්පීන්ගෙන් ඉල්ලා තිබූ බවකුත් පැවසුණා. කෙසේ හෝ වේවා, ඔවුන් දෙදෙනා මෙම කාරණය ගැන නිල ප්‍රකාශයක් කරන තුරු ඔවුන්ගේ බොහෝ රසික රසිකාවියන් නොඉවසිල්ලෙන් බලා සිටින බවක් පෙනෙනවා.


35 වැනි වියෙහි පසුවන අනුෂ්කාත්, 34 හැවිරිදි කෝලිත් ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය යුවළක් බව රහසක් නොවෙයි. ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ආරම්භ වූයේ 2013 වසරේයි. මේ දෙදෙනා මුල් වරට එකිනෙකා හමුවී තිබුණේ ෂැම්පු වෙළෙඳ දැන්වීමක් රූපගත කරන අතරේ යි. තමාට මෙම වෙළෙඳ දැන්වීමෙහි රඟපාන්නට ඇත්තේ අනුෂ්කා සමඟ බව දැනගත් විට තමා තුළ මහත් නොසන්සුන්කමක් ඇති වූ බවත්, වෙව්ලන්නට පටන්ගත් බවත් වරක් කෝලි මාධ්‍ය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබුණා. ඒ ඇය එකල ඉතා ජනප්‍රිය සහ ඉහළම මට්ටමේ නිළියකව සිටි නිසයි. තමා වැනි ආධුනිකයකුට ඇය වැනි පළපුරුදු නිළියක සමඟ රඟපාන්නට සිදුවීම නිසා මේ නොසන්සුන්කම ඇති වූ බවයි ඔහු පවසා තිබුණේ.


‘මම ඇයට විනාඩි පහකට විතර කලින් රූපගත කරන ස්ථානයට ගියා. මොනවද ඇය සමඟ කතා කරන්නේ කියලත් මම කල්පනා කර කරයි හිටියෙ’ විරාත් සඳහන් කර තිබුණා. එසේ සිටිය දී අනුෂ්කා එහි පැමිණ තිබූ අතර ඇය පැමිණ තිබුණේ තරමක් උස අඩි සහිත පාවහන් යුවළක් පැලඳගෙනයි. ඒ නිසා ඇය ඉදිරියේ තමා මිට්ටෙකු සේ පෙනෙනු ඇතැයි යන හැඟීමකුත් ඔහු තුළ ඇති වුණාලු. ඉතින් කෝලි මුලින්ම ඇයට කියා තිබුණේ ඇයගේ පාවහන් ගැන කතාවක්. ‘ඔයිට වඩා උස සපත්තු දෙකක් තිබුණෙ නැද්ද?’යයි ඔහු පවසා තිබුණේ තරමක් සමච්චල් ස්වරයෙන්. කෝලිගේ මේ කතාවෙන් අනුෂ්කා ටිකක් විමතියට පත් වී තිබුණා. ඇය කෝලි දෙස බලා නළල රැලි කර ‘මොකක්ද?’යයි විමසා තිබෙනවා. තමාගෙන් කියැවුණේ වැරදි කතාවක් බව ඒ මොහොතේම තමාට වැටහුණු බව කෝලි සඳහන් කර තිබුණා.


කෙසේ හෝ වේවා, රූපගත කිරීම ඉදිරියට යද්දී ඔවුන් හොඳ මිතුරන් බවට පත් වුණා. කෝලි පවසන්නේ අනුෂ්කා ඉතාම නිහතමානී කෙනෙකු බව තමාට ඉක්මනින්ම වැටහුණු බවයි. තමුන් දෙදෙනාට පොදු දේවල් බොහොමයක් තිබුණු නිසා එකිනෙකා සමඟ කතාබස් කිරීම ඉතා පහසු වූ බව ඔහු පවසා තිබුණා. පසුකාලයේ ආදර සම්බන්ධතාවක් දක්වා දුරදිග ගොස් තිබුණේ එදා මේ ආකාරයෙන් ආරම්භ වූ මිත්‍රත්වය යි. කෝලි ඉතා හොඳ සහකරුවකු වනු ඇති බවක් ඔහු ඇසුරු කරන්නට පටන්ගත් මුල් කාලයේම තමාට වැටහුණු බවක් අනුෂ්කා ද කියා තිබුණා.


එකල ඉතා ජනප්‍රිය නිළියක වුවත් අනුෂ්කා පසුගිය කාලයේ නම් චිත්‍රපටවලට එතරම් සම්බන්ධ වුණේ නැහැ. ඇය රඟපෑ සිනමාපටයක් අවසන් වරට ප්‍රේක්‍ෂකයන් හමුවට ආවේ 2018 වසරේ යි. ඒ ෂාරුක් ඛාන් ප්‍රධාන චරිතය නිරූපනය කළ ‘සීරෝ’ චිත්‍රපටය යි. කෙසේ නමුත් කලකට පසු ඇය රඟපෑ සිනමාපටයක් තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිතයි. කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක පිළිබඳව නිර්මාණය වූ එම සිනමාපටයේ නම Chakda’Xpress.




Previous Post Next Post