මිනිස්සු අඬන හැටි බලල සතුටු වෙන්න මං කැමැති නෑ -උදාරී




සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමාපටය ආසු නිර්මාණය වෙන්නේ අතිශය සංවේදී සිදුවීමක් පාදක කරගනිමිනි. එහි අභියෝගාත්මක රංගනයක නියැළෙන උදාරී වර්ණකුලසූරිය අපට හමුවන්නේ පිළිකාවක ගොදුරක් බවට පත්වී අප අතරින් වෙන්වුණු ඉන්දිරා ජයසූරියගේ අනුරුව ලෙසිනි. උදයකාන්ත වර්ණසූරියගේ පායා එන්න හිරු සේ සිනමාපටයෙන් කලා ලොවට පිවිසි උදාරී බොඳ මීදුම් ඔස්සේ පුංචි තිරය ද ස්පර්ශ කළාය. දෙවෙනි යුද්ධය, ක්ෂීර සාගරය කැලඹිණි, මිදුණු විශ්වය වැනි ජනප්‍රිය සිනමා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනූ ඇය පසුගියදා පැවැති බ්‍රිටිෂ් වේ පීපල්ස් අවෝර්ඩ් හි වසරේ ජනප්‍රියම සිනමා නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය. මේ ඇය හා කළ සොඳුරු කතාබහකි.


ආසු සිනමාපටයේ නෙළුම් කියන්නෙ ප්‍රේක්ෂකයා අතිශය සංවේදී කළ චරිතයක්?


පියයුරු පිළිකාවක් හේතුවෙන් අප අතරින් වියෝ වුණු හිටපු කථානායක කරූ ජයසූරිය මහත්තයගෙ ලොකු දුව ඉන්දිරා ජයසූරියගෙ ජීවිත කතාව තමයි මේකෙන් ප්‍රතිනිර්මාණය වෙන්නේ. ඇය මුළු කාන්තා සංහතියටම ආදර්ශවත්, ශක්තිමත් ගැහැනියක් වගේම ආදරණීය බිරියක්, මවක්. මරණය පවා සුබවාදීව පිළිගත් කෙනෙක්. සියල්ල ධනාත්මකව ගෙන ආදරය, මවු සෙනෙහස වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කළ මවක්. දරුවන් කාණුවලට විසි කරල යන කාලෙක මේක ආදර්ශවත්, කාලීන චිත්‍රපටයක් කියල හිතෙනවා.


ඔබ ප්‍රතිනිර්මාණය කළේ ජීවමානව සිටි චරිතයක්. කොහොමද ඒ අත්දැකීම?


නෙළුම්ගෙ චරිතයට ආරූඪ වෙන එක මට ලොකු අභියෝගයක් වගේ දැනුණ නිසා භාරගනිද්දි මුලින්ම බය හිතුණා. ජීවමානව සිටි චරිතයක් ප්‍රතිනිර්මාණය කරනව කියන්නෙම අභියෝගයක්. අධ්‍යක්ෂවරයා මට ගොඩක් උදවු කළා. පෞද්ගලිකව මං පිළිකා රෝහලට ගිහින් සැබෑ රෝගීන් එක්ක කාලය ගත කරලා කීමෝ තෙරපි දෙනවිට කොහොමද ඔවුන් ඒක දරාගන්නෙ, ඔවුන්ගේ ශරීරය දුර්වල වෙන හැටි, ඒ අභිනයන් මං අධ්‍යයනය කළා. සහෝදර ශිල්පීන්ගෙනුත් ලොකු සහායක් ලැබුණ නිසා චරිතය සාර්ථක කරගන්න පුළුවන් වුණා.


ඉන්දිරා ජයසූරිය කියන චරිතය ගැන ඔබ අධ්‍යයනය කරන්න ඇති?


කරූ ජයසූරිය මහත්මයා වගේම ලංකා ජයසූරියත් චරිතය ගොඩනඟා ගන්න මට ගොඩක් උදවු කළා. ඉන්දිරාගෙ පොඩි කාලෙ ඉඳන් තිබුණු හැබිට්ස්, කොහොමද එයා පවුල එක්ක මුහුවුණේ, එයාගෙ හුරතල් වැඩ, එයාගෙ පෞරුෂය ගොඩනඟා ගත්තෙ කොහොමද, එයාගෙ විනෝදාංශ මොනවද, ඒ වගේ දේවල් එක්ක එයාගෙ ජීවන රටාව හොඳින් පැහැදිලි කරල දුන්නා. චරිතය ගොඩනඟා ගන්න ඒක මට ලොකු රුකුලක් වුණා. චරිතයේ සාර්ථකත්වය පිටිපස ඔවුන් දෙදෙනා වගේම මේකප් ඩිපාර්ට්මන්ට් එකත් හිටියා. නාරද ධනංජය තොටගමුව අයියට මේකප් එකේදි ලොකු කාර්‍යභාරයක් තිබුණා. අස්වාභාවික විරූපීකමක් නොවන විදිහට ලස්සනට හිටිය නෙළුම්ව දැක්කම බය හිතෙන තරමට රූපය වෙනස් කළා. පියවරෙන් පියවර පිළිකා රෝගියකුගේ සිදුවෙන ශාරීරික වෙනස්කම් පෙන්නුවෙ මේකප්වලින්. අන්තිම කාලෙ රූපය ගන්න පැය 12ක් විතර ගියා. සියුම් නහර පවා අඳින්න වුණා. හම ගැලවෙන, පොතු ගැලවෙන විදිහ වගේම මූණේ කටු පෑදිලා කෙට්ටු වෙලා ඇටකටු පේන තරමට පෙන්නුවෙ මේකප්වලින්. ඇත්තටම රංගනයෙන් විතරක් මේ චරිතෙ සාර්ථක කරගන්න බෑ. මේකප් එකත් කෙළින්ම බලපෑවා.


චරිතය සාර්ථක කරගන්න ඔබට සැබෑ රෝගීන් ඇසුරු කරන්න වුණා. කොහොමද ඒ අත්දැකීම?


මට ගොඩක් සංවේදී අවස්ථාවකට මුහුණදෙන්න වුණා. දැනුම එකතු කරගනිද්දි මගෙ යාළුවෙකුගෙ අම්ම කෙනෙක්ගෙන් ලොකු සහායක් ලැබුණා. මට ඒ අම්මව අධ්‍යයනය කරන්න, කෑම බීම දෙන්න, ආවතේව කරන්න අවස්ථාව ලැබුණා. මං ඇගෙන් චරිතෙට අවශ්‍ය කරන දැනුම අරන් අනිත් පැත්තට බලද්දි මං ෂූටින් කරන අතරතුරේ ඇය සැබැවින්ම ජීවිතෙන් සමු අරන් තිබුණා. ඒක මට ගොඩක් සංවේදී අවස්ථාවක් වුණා.


ආසු දැන් ප්‍රදර්ශනය ඇරඹිලා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


ප්‍රතිචාර ගොඩක් හොඳයි. කොළඹ සහ නුවර මංගල දැක්ම දෙකක් තිබුණා. මං කලින් දැකල තිබුණෙ නෑ මංගල දර්ශනයකදි මේ තරම් සෙනඟක් ඉන්නවා. හැමෝම නෙතේ කඳුළක් පුරෝගෙන එළියට එන්නෙ. මිනිස්සු අඬන හැටි බලල සතුටු වෙන්න මං කැමැති නෑ. චිත්‍රපටිය සංවේදී ලෙස තව කෙනෙකුට දනවන්න පුළුවන් වුණා කියන හැඟීමෙන් චරිතය සාර්ථකයි කියන සතුටයි තියෙන්නෙ.


පහුගිය දිනවල ඔබ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ ඔස්සේ එක දිගටම රිදී තිරයේ පෙනී හිටියා?


මේ අවුරුද්දෙ සම්බන්ධ වුණු හතරවෙනි චිත්‍රපටිය ආසු. වී. සිවදාසන්ගේ දෙවනි යුද්ධය, මහාචාර්‍ය සුනිල් ආරියරත්නගේ ක්ෂීර සාගරය කැලඹිණි, ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය වගේම සංජීව පුෂ්පකුමාරගේ ආසු. මේ චිත්‍රපටවලින් එකිනෙකට වෙනස් රංගන අත්දැකීම් ලබාගන්න හැකි වුණා. ලබන අවුරුද්දෙ තිරගත වීමට නියමිත චිත්‍රපටි හතරක් තියෙනවා. ඒ අතරින් තුනක්ම පසුගියදා අප අතරින් සමුගත් මහා රංගධර ජැක්සන් ඇන්තනී මහත්මයගෙ නිර්මාණ. ඔහුට මොක් සුවය ප්‍රාර්ථනා කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. ඔහු නිසා තමයි මට සිනමාව තුළ වටිනාකමක් ලැබුණෙ. ජැක්සන් මහත්මයා එකගෙයි සොකරි චිත්‍රපටයට මාව ගත්තෙ නැත්නම් සමහර විට මං ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ විතරක් රැඳිල ඉන්නත් ඉඩ තිබුණා. ඒකෙන් පස්සෙ තමයි එක දිගටම චිත්‍රපටි ගලා ආවෙ. ඔහුගේම දේවි සම්බුලා චිත්‍රපටය තමයි මට ලොකුම අභියෝගය වුණේ. ඊට පස්සෙ ආසු.


නාමලී ගමගේ





Previous Post Next Post