මගේ කකුලෙන් ඇදපු අයට මම මගේ ගමන ගිහින් පෙන්නුවා-මනීෂා පියුමලී




මේක තමයි ජීවිතේ’ මේ දවස්වල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන පුංචි තිරයේ නිර්මාණයක්. ගමෙන් කොළඹට ඇවිත් ජීවිතේ දිනන්න උත්සාහ කරන අය මුණගැහෙන අපූරු නිර්මාණයක්. උමාරා අපිට මුණගැහෙන්නෙත් මේක තමයි ජීවිතේ නාට්‍යය තුළින්. උමාරා ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට එන්නෙ ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයට එකතු වුණ අලුත් මුහුණක්. ඇය රංගනයට අලුත් වුණත් වෙළෙඳ දැන්වීම් හරහා ප්‍රේක්ෂකයන් අතරට ආ චරිතයක්. නමින් මනීෂා පියුමලී. මනීෂා උමාරා ගැන  කිවුවෙ මෙහෙම


මනීෂා, උමාරා වුණේ කොහොමද?


මම කලා ක්ෂේත්‍රයට එන්නෙ 2017 වසරේදි. ඒ බ්‍රයිඩ්ල් මොඩ්ලින්වලින්. මම වෘත්තියෙන් බැංකු නිලධාරිනියක්. නේෂන් ට්‍රස්ට් බැංකුවේ වැඩ කරන්නෙ. මොඩ්ලින් වලට අමතරව ලංකාවේ ජනප්‍රිය වෙළෙඳ සන්නාමවල වෙළෙඳ දැන්වීම් වලට පෙනී ඉඳලා තියෙනවා. ඔය අතරේ රංගනයට ඇරැයුම් ලැබුණත් වෘත්තීය කටයුතු එක්ක නිර්මාණ භාරගෙන ඒ වෙනුවෙන් කැපකරන්න කාලයක් නොතිබුණ නිසා මඟහැරුණ අවස්ථා තියෙනවා. උමාරා වෙන්න ලැබුණේ අහම්බයකින්. බ්‍රයිඩ්ල් ශුට් එකකට යන අතරතුර ජගත් ඇපලදෙණිය අයියා මඟදි හමුවෙලා මට කිවුවා, මෙහෙම නාට්‍යයක ඔඩිශන් එකක් තියෙනවා. ඒකත් කරලා බලමු කියලා. මම එතැනට යද්දී ලක්මිණි අමරදේව අධ්‍යක්ෂතුමාත් හිටියා. තව ගොඩක් අය ඔඩිෂන් ඇවිත් තිබුණා. කොහොමහරි අධ්‍යක්ෂ ලක්මිණි අමරදේව මාව තෝරාගෙන තිබුණා උමාරාගේ චරිතයට. නාට්‍යයේ මම තමා ඉන්න ආධුනිකම රංගන ශිල්පිනිය. අනිත් අය නාට්‍යවල වැඩ කරලා තියෙන අය. ඔය විදිහට තමයි මම උමාරා වුණේ.


පළමු රංගනයට මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්…


මුල ඉඳන්ම පොසිටිව් කමෙන්ට් තමයි ලැබුණේ. මම නාට්‍ය ක්ෂේත්‍රයට අලුත් වුණත්, මාව යම් පිරිසක් උමාරාගේ චරිතය නිසා හඳුනා ගන්නවා. මගේ රංගනය තුළ හදාගන්න ඕනේ තැන් පෙන්වලා දෙනවා. ඒ හැර නරක ප්‍රතිචාර හම්බෙලා නැහැ.


“මේක තමයි ජීවිතේ” උමාරා වෙන්න හිතුණේ ඇයි?


මම ඔඩිෂන් එකෙන් තේරුණාට පස්සෙ මට පිටපතේ කොටසක් එවලා තිබුණා. ඒක කියවලා බැලුවම මට ආස හිතුණා උමාරාගේ චරිතය කරන්න. හැබැයි මගේ රැකියාවත් එක්ක වැඩ ගොඩක් එකවර කරන්න අමාරුයි. මේ නිර්මාණයට උපරිම සාධාරණය කරලා, එතැනින් පස්සෙ එන ඇරියුම්වලින් හොඳ නිර්මාණයක් භාර ගන්නවා කියන තැන තමයි මම ඉන්නෙ.


ඔය කියන්නෙ කලා ක්ෂේත්‍රයේ කොයිතරම් ඇරියුම් ලැබුණත් මනීෂා මුල් තැන දෙන්නෙ බැංකු ක්ෂේත්‍රයට කියලනේ..


අධ්‍යාපනික පැත්තෙන් ලොකු කැපකිරීම් කරලා බැංකු ක්ෂේත්‍රයේ අද ඉන්න තැනට ආවේ. කලාවට මම පොඩි කාලේ ඉඳන් ආදරේ කරපු කෙනෙක්. මම රඟපාන නාට්‍යයේ අනිත් අය දිහා වුණත් අදටත් මම බලන්නෙ ඒ අයගේ ෆෑන් කෙනෙක් විදිහට. මම දැකපු දෙයක් ඒ ආටිස්ලට මීට වඩා වටිනාකමක් දිය යුතුයි කියන එක. ඇත්තටම කලාකරුවන්ට නිසි වටිනාකමක් දෙනවා නම් අපි වුණත් වෘත්තීය කලාකරුවෙක් වෙන්න දෙපාරක් හිතන්නෙ නැහැ. කලාවට මම උපරිමම ආදරේ කරන කෙනෙක්. ගැටලුවකට තියෙන්නේ ආදරේ කළාට ලංකාවේ වගේ රටක කලාකරුවෙක් විදිහට ස්ථාවර පැවැත්මක් හදාගන්න පුළුවන් ද කියන එක. ඒ නිසා අස්ථාවර බව නිසා තමා රැකියාව කරන ගමන් කලාව කරන්නෙ.


මනීෂාගේ පවුලේ විස්තර ටිකක් කිවුවොත්


මගේ උපන් ගම කුරුණෑගල. මම පොඩි කාලෙ ඉඳන්ම හැදුණේ පොලොන්නරුවේ. මගේ පවුලේ ඉන්නෙ අම්මා තාත්තා මල්ලි.


පෞද්ගලික ජීවිතේ ගැන තොරතුරු කිවුවොත්…


මම මේ වෙද්දී විවාහකයි. මගේ මහත්තයාගෙ නම රුවන් ප්‍රදීප් බණ්ඩාර. අපිට ඉන්නවා පුංචි පුතෙක්. එයාගෙ නම ටිමෝන්. හස්බන්ඩ් එකවුන්ටන් කෙනෙක්. එයාව මැරි කළාට පස්සෙ මට කලාවට එන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා මගේ වෘත්තීය සහ කලා ජීවිතේට එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.


කටකතා ගොසිප් වගේ දේවල් මනීෂා දකින්නෙ කොහොමද ?


ඒ දේවල් මම පොසිටිව් විදිහට භාර ගන්න කෙනෙක්. මම පොලොන්නරුව වගේ ගමක ඉදන් මේ ක්ෂේත්‍රයට ආව අලුත මටත් කටකතා හැදුණා. එක එක අයගේ අධ්‍යාපනික සහ මානසික මට්ටම් වෙනස් නිසා අපිට වෙනස් කරන්න බැහැ. අපි ගමනක් යන නිසයි මිනිස්සු ගල් ගහන්නෙ. නැත්නම් එහෙම වෙන්නෙ නැහැ. ඒක තේරුම් අරන් අපි අපේ ගමන යන්න ඕනේ. මගේ ජීවිතේ මාව වට්ටන්න වට්ටන්න මම නැගිටපු කෙනෙක්. මගේ කකුලෙන් ඇදපු අයට මම මගේ ගමන ගිහින් පෙන්නුවා. හරිම අමාරුවෙන් 2017 ඉඳන් එන ගමනක් මට තියෙන්නේ. මම හැමෝටම ගරුකරගෙන බොහොම නිහතමානිව මගේ ගමන ඉදිරියට අරගෙන යනවා.


 අනුෂා රණසිංහ




Previous Post Next Post