සිරිමාන්න මහත්තයාගෙන් කියැවෙන්නේ රජයේ සේවකයන්ගේ කාර්යභාරයයි -සරත් කුලාංග




මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන "කෝලම් කුට්ට්ම" ටෙලිනාට්‍යයේ "සිරිමාන්න මහත්තයා"ගේ චරිතයට ජීවය දෙන සරත් කුලාංගයන් ප්‍රේක්ෂකයා අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූයේ නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ "දූදරුවෝ" ටෙලිනාට්‍යයේ "විරිඳුකරු"ලෙසයි. ටෙලි, සිනමා, වේදිකා නළුවකු මෙන්ම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු, රචකයකු, සංගීත අධ්‍යක්ෂවරයකු , ගීතනු නිර්මාණ ශිල්පියකු සේම බොහෝදෙනෙක් නොදත් කාටුන් ශිල්පියකු ලෙස ද තමන් පැමිණි ගමන්මඟ පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් හෙතෙම සරසවිය හා මෙසේ එක්විය.


ඔබේ රංගන දිවියේ ආරම්භය සිහිකළොත්..?


මගේ රංගන දිවිය ආරම්භය 1970 දශකය තෙක් දිවයනවා. ඒකාලයේ පානදුරේ හිටියා ලෙස්ලි ෆොන්සේකා කියලා ප්‍රසිද්ධ නාට්‍යකරුවෙක්. ඔහුගේ "අරගලය, සියලුම ගංගා ඇදට ගලන්නේ" වගේ වේදිකා නාට්‍යවල මම රඟපෑවා. ඊට පස්සේ මමම රචනා කර මමම නිෂ්පාදනය කළ "අන්ධභූත" නමින් නාට්‍යයක් කළා. ඒ විදිහටයි මගේ කලා දිවියේ ආරම්භය සිද්ධවුණේ


ඔබලා පිහිටවූ හොරණ නාට්‍ය කණ්ඩායම ගැන සිහිපත් කළොත්...?


මේ කාලයේ හොරණ විද්‍යාරතනයේ ඉගෙනුම ලැබූ ජනක් ප්‍රේමලාල්, ශ්‍රීපාලි මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සද්ධා උත්පලකන්දගේ, මගේ පාසලේ ඒ කියන්නේ හොරණ තක්ෂිලාවේ ඉගෙනුම ලැබූ විනී වෙත්තසිංහ, රවින්ද්‍ර යසස් වගේ අයත් එක්ක එකතුවෙලා අපි නාට්‍ය කළා. හොරණ විද්‍යාරතනයේ, හොරණ තක්ෂිලාවේ, ශ්‍රීපාලි මහා විද්‍යාලයේ යන පාසල් තුනේම දක්ෂ පිරිස හැන්දෑ කාලයේ එකතුවෙලා නාට්‍ය කළා. ඒඅනුව අපි එකතුවෙලා "හොරණ නාට්‍ය කණ්ඩායම " නමින් කණ්ඩායමක් පිහිටුවාගත්තා. එසේ පිහිටුවාගෙන අපි නාට්‍ය නිර්මාණය කළා. ඒ අනුව නිර්මාණය වුණු වේදිකා නාට්‍යයක් තමයි "ගිරි දිවයින" නම් වේදිකා නාට්‍යය .ඒක ජනක් ප්‍රේමලාල් අධ්‍යක්ෂණය කළා, ඔහුගේ තාත්තා ඒක ලියන්නේ. මම සංගීතය නිර්මාණය කරමින් එහි ප්‍රධාන චරිතයක් කළා. මේක ජාතික තලයේ නාට්‍යයක් වුණා. මේ නාට්‍ය කළේ හොරණ නාට්‍ය කණ්ඩායම නමින් එකක් හදාගෙනයි. ඊටපසු අපි "රාජකපුරු" වගේ නාට්‍ය කරනවා.


මේ කාලයේ ඔබ සංගීත කණ්ඩායමකටත් එකතුවෙනවා නේද...?


ඔව්. මේ කාලයේ බටහිර සංගීත කණ්ඩායමකත් මම සේවය කළා. "පානදුර රේජන්ස්" නමින් සංගීත කණ්ඩායමක් තිබ්බා. ඒකෙ අනිල් භාරතී, වර්නන් පෙරේරා, ප්‍රසිද්ධ ශබ්ද පරිපාලක දයානන්ද පෙරේරා ආදී පිරිසත් එක්ක මගේ අයියාත් සිටියා.


මේ දිනවල ඔබේ රංගන කාර්යයන් ගැන කිව්වොත්...?


"කෝලම් කුට්ටම" ටෙලිනාට්‍යයේ දිගටම රංගනයේ යෙදෙනවා. වේදිකාව පැත්තෙන් ගත්තොත් ජනක් ප්‍රේමලාල්ගේ "රාජකපුරු, අබුද්දස්ස කෝලම" නාට්‍යවලත් ප්‍රියන්ත රංජන්ගේ "මල්වඩම් අනවශ්‍යයි, රූකඩ රාජ්ජේ, අන්ත:පුරය හොරුකඩයි" නාට්‍යවලත් අතුල වී සමරවීරගේ "සූටිගමරාල සහ රයිගම් බණ්ඩා" නාට්‍යවලත් මගේ "දෙයියොත් දන්නේ නෑ" නාට්‍යයත් සමඟ රට වටා යනවා.


කෝලම් කුට්ටමේ ඔබේ චරිතය ගැන කිව්වොත්....?


ඇත්තෙන්ම මම ආසාවෙන් රඟපාන චරිතයක් තමයි කෝලම් කුට්ටමේ සිරිමාන්න මහත්තයාගේ චරිතය. ඔහු රජයේ සේවකයෙක්. මේ චරිතයට මට මෙහි තිර රචක සද්ධාමංගල සූරියබණ්ඩාර ආරාධනා කළේ. මම මේ චරිතයට සමාන චරිතයක් මීට වසර කිහිපයකට කලින් රඟපාලා තිබ්බා. ඒ මතකය එක්ක ඔහු මට ආරාධනා කරන්නේ. මේ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් . ඔහු අපට සිටින දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. මේ චරිතය සමාජ ශෝධනයක් කළ හැකි චරිතයක් කියා කියන්න පුළුවන්. මේ රටේ යම් අවගමනයක් තිබේනම් එයට රජයේ නිලධාරීනුත් වගකියන්න ඕන. රජයේ සේවකයන්ගේ අකාර්යක්ෂමතාවන්ට අපි මුහුණදීලා තියෙනවා. සිරිමාන්න මහත්තයාගේ චරිතයෙන් ඒ ගැන හොඳීන් විග්‍රහ කරනවා..රජයේ සේවකයෙක්ගේ කාර්යභාරය ගැන කියවෙනවා. ගෙදර ආවම බිරිඳ ලතා ඉන්නේ මළගිය ප්‍රාණකාරයෝ එක්ක..ලෝකය දියුණුවෙද්දී , ඉදිරියට යද්දී අන්ධ විශ්වාසයන් බිෙඳනවා.


විශිෂ්ට නාට්‍යවේදීන්ගේ වේදිකා නාට්‍යවල ඔබේ රංගනයන් අපි දැක්කා. ඒ සොඳුරු මතක යළි ආවර්ජනය කළොත් ...?


මට ඒ ගැන සතුටට පත්වෙන්න පුළුවන් . මහාචාර්ය සරච්චන්ද්‍රගේ , ලලිතා සරච්චන්ද්‍රගේ , දයානන්ද ගුණවර්ධනගේ සිට සිසිල් ගුණසේකර නමැති වාණිජ ගණයේ නාට්‍යකරුවන් අතරත් ජනක් ප්‍රේමලාල් , අතුල වී. සමරවීර වගේ විවිධ මට්ටමේ අය සමඟත් මම නාට්‍යකරණයේ යෙදී තිබෙනවා. ඒ අතර මට අමතක නොවන චරිත තමයි "රාජකපුරු" සහ "අබුද්දස්ස කෝලම" නාට්‍ය දෙකේ චරිත . අබුද්දස්ස කෝලමේ මම පඬිතුමාගේ චරිතය රඟපානවා . එය වයස අවුරුදු 80ට වැඩි චරිතයක් .මෙය 1981දී වගේ මම රඟපෑවේ . ඒකාලයේ මට අවුරුදු 21ක් 22ක් වගේ. අදටත් මම ඒ චරිතය වේදිකාවේ රඟපානවා . ඒවගේම "රාජකපුරු" වේදිකා නාට්‍යයේ පුරෝහිතගේ චරිතයත් විශේෂයි. ඒ වගේම ලලිතා සරච්චන්ද්‍ර මැතිනියගේ "යෙර්මා" නාට්‍යයේ චරිතය මට අමතකම නොවෙන චරිතයක්. ඔබේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණ භූමිකාව ගැන කතා කළොත්.....?


ඔව්, මම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයට


පිවිසෙන්නේ 1970 ගණන්වල පාසල් වේදිකාවෙන් .එහෙත් මම ජාතික තලයේ නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නේ 2011දී. ඒ "දෙයියොත් දන්නෙ නෑ" වේදිකා නාට්‍යය . මේකට මට ආරාධනා කරන්නේ ජූඩ් ශ්‍රීමාල් නමැති දක්ෂ නාට්‍ය සංවිධායකවරයා. එහි පිටපත ලියාදෙන්නේ අජිත් මෙන්ඩිස්..ඔහු ඉතා ලස්සන පිටපතක් මට කියලා දෙනවා..මෙහි සංගීත නිර්මාණය කරමින් අධ්‍යක්ෂණය කරමින් රඟපෑවා..මුල්ම අවධියේ විජය නන්දසිරි, කුමාර තිරිමාඳුර, මිහිර සිරිතිලක වගේ අය එක්ක මම මේ නාට්‍යය කළේ . දැනට දර්ශනවාර 600කට ආසන්නව මෙය වේදිකාගත කර තිබෙනවා . ලංකාවේ පමණක් නෙවෙයි. ඕස්ට්‍රේලියාව, නවසිලන්තය යන රටවලත් වේදිකාගත වුණා. ඉන්පසුව මම වේදිකා නාට්‍ය රැසක්ම සම අධ්‍යක්ෂණය කළා..ඒ "මල්වඩම් අනවශ්‍යයි , රූකඩ රාජ්ජේ, අන්ත:පුරය හොරු කඩයි." වැනි වේදිකා නාට්‍ය. ඒ වගේම මේ වසරේ අගභාගයේ මම නවතම වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා..තවම එයට නමක් යොදා නැහැ.


වීදිනාට්‍ය කලාවට ඔබේ දායකත්වය ගැන සඳහන් කළොත්....?


ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවේගම නමැති වීදියේ නාට්‍ය රජ්ජුරුවෝ සමඟ 1970 ගණන්වල සිට මම වැඩකළා. ඒක අමතක නොවන අත්දැකීමක්. එතුමා සමඟ නාට්‍ය නිර්මාණ කාර්යයේ යෙදෙද්දී අපිට විශාල දැනුමක් ලැබෙනවා. ඔහු නාට්‍ය ගැන පමණක් නොව එවකට පැවැති චිත්‍රපට , ගීත, චිත්‍ර ආදී කලාවේ අනෙකුත් විෂය ක්ෂේත්‍රයන් ගැන ද කතා කරනවා . එය මගේ ජීවිතයට වඩාත් වැදගත් වෙනවා. අපට ගායනය, රංගනය පිළිබඳ කුසලතා තිබෙන්න පුළුවන්..එහෙත් ජීවිත පරිඥානය අපට අත්‍යවශ්‍යම දෙයක් තමන්ගේ නිර්මාණයට. එයට බොහෝ ඇසූපිරූ තැන් ඇති බවක් තිබිය යුතුයි. මට බොහෝ ඇසූපිරූ තැන් ලැබුණේ වීදියේ රජ්ජුරුවෝ වුණු ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවේගම සමඟ වැඩකරන කාලයේ...


වේදිකා නාට්‍යයන්හි සංගීත අධ්‍යක්ෂණයට ඔබ යොමුවෙනවා වගේම සම්මානයටත් ලක්වෙනවා...?


සරත් කුමාර නාට්‍යකරුවාගේ "ගිනි", ජගත් මුතුකුමාරණගේ "ආටානාටිය", විජය නන්දසිරිගේ "ශ්‍රී ගජබා" , අනුර දහනායකගේ " මම තාමත් පණපිටින් " , ඩී.කුමාරගේගේ " රූකඩ රාජ්ජේ" , ප්‍රියන්ත රන්ජන්ගේ ",මල්වඩම් අනවශ්‍යයි" , "අන්ත:පුරය හොරුකඩයි"වැනි නාට්‍ය සඳහා මම සංගීත අධ්‍යක්ෂණයෙන් දායකවෙනවා . වේදිකා නාට්‍ය සංගීතය යනු කුමක්ද යන්න වෙනම හැදෑරිය යුතු සංගීතයක් කියා මා සිතනවා. එහෙම නැතිව නාට්‍යයකට තනුවක් යොදන එක වේදිකා නාට්‍ය සංගීතය නෙවෙයි.."සුවඳ සබන්" ගීතය මම නිර්මාණය කළේ. අදටත් එය බොහෝ ජනප්‍රියයි. "මල්වඩම් අනවශ්‍යයි" නාට්‍යයේ එන "ෆෝමලින් සුවඳ නැතිනම් ජීවත්වෙන්න බෑ" යන ගීතය උසස්පෙළ නාට්‍ය හා රංගකලාව ප්‍රායෝගික පරීක්ෂණවලදී භාවිත වෙනවා.නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කරන්නේ කෙසේදැයි හදාරන්න නම් ඒක වෙනමම හැදෑරිය යුතු කලාවක්.


1990 දශකයේ ඔබව රටම හඳුනාගත්තේ "දූදරුවෝ" ටෙලිනාට්‍යයේ විරිදුකරු ලෙසයි. ඉතා ජනප්‍රිය වූ එම චරිතය සහ ටෙලිනාට්‍යය ගැන යමක් කිව්වොත්....?


"දූදරුවෝ" නාලන් මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයක්. සන්ධ්‍යා මෙන්ඩිස්ගේ නිෂ්පාදනයක්. මෙය 1991 වර්ෂයේ අගභාගයේ වගේ විකාශනය වුණේ. එකල සිටි දැවැන්තයන් වුණු අයිරාංගණී සේරසිංහ , හෙන්රි ජයසේන වගේ අය මෙන්ම සමකාලීන එච්.ඒ. පෙරේරා, සුනේත්‍රා සරච්චන්ද්‍ර , නීල් අලස්, චාන්දනී සෙනෙවිරත්න , දීපානි සිල්වා වැනි පිරිස එක්ක රඟපාන්න ලැබුණා . මෙහිදී මම දීපානි සිල්වා සමඟ ප්‍රේම සම්බන්ධයකින් විවාහවෙනවා.මෙහි විරිඳුකරු ලෙසයි මම රඟපෑවේ . මෙහි අපි දෙන්නා බොහෝම අසරණ, අහිංසක යුවලක්. මගේ චරිතය ප්‍රධාන චරිත හා සමගාමීව ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා. වේදිකාවේදී දර්ශන වාර 1000ක් පෙන්නුවත් ලක්ෂ10ක් වගේ පිරිසක් බලන්නේ. රූපවාහිනියේ එහෙම නෙවෙයි.එක් රැයකට ලක්ෂ20ක් විතර බලනවා.


ඔබ කෙටි ටෙලිනාට්‍ය කිහිපයක් අධ්‍යක්ෂණය කළා. නැවත අධ්‍යක්ෂණයට යොමුවෙන්න අදහසක් නැද්ද...?


මම කෙටි ටෙලිනාට්‍ය 02ක් අධ්‍යක්ෂණය කළා. එකක් "සේලලතාවො අවුරුදු ගෙනත්" අනික "තුන්දෙනෙක්" කියලා ටෙලියක්. මේ ටෙලිනාට්‍ය දෙකම සිංහල අවුරුද්ද වෙනුවෙන් කළේ. ඊට අමතරව නත්තල් ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. ඒක මේ වසර අවසානයේ නත්තල් වෙනුවෙන් විකාශනය වේවි. මේක මට හොඳ අත්දැකීමක් වුණා. මේ වෙද්දී චිත්‍රපටයක් අධ්‍යක්ෂණය ට තිර රචනයක් කළා. එයට මට ලක්ෂ 100ක් විතර වැයවේවි. මට හොඳ අර්ථපතියෙක් ලැබුණොත් ඉතාම ප්‍රශස්ත මට්ටමේ චිත්‍රපටයක් කරන්න පුළුවන් වේවි මම මියයන්නට පෙර. මම හරිම ආසාවෙන් ඉන්නේ මේ චිත්‍රපටය නිම කරන්න.


අද තිබෙන මෙගා රැල්ල ගැන මොකද හිතන්නේ...?


අද බොහෝසේ තියෙන්නේ නාලිකාවලින් නිපදවන සහ නාලිකාවල උපදෙස් මත නිපදවෙන ටෙලිනාට්‍ය . මේකට පරිබාහිර ටෙලිනාට්‍යය අධ්‍යක්ෂවරුන්ට යමක් කරන්න බැහැ. දිගු ටෙලිනාට්‍යවල අවසානයක් නැහැ. කාලානුරූපීව කතාව එහාට මෙහාට වෙනස් වෙමින් පවතිනවා . සමහර නළුනිළියෝ වෙනස් වෙනවා. "දූදරුවෝ" වගේ ටෙලිනාට්‍යත් දිගු නාට්‍ය. ඒත් ඒවායේ ජීවිත අත්දැකීම් රැසක් තිබ්බා එකතු කරගන්න. සමහර පිටපත් තිබෙනවා මුකුත්ම කරගන්න බැරි මට්ටමේ ඒවා. තිර රචනය කියන්නේ සාහිත්‍යයක්. සෝමවීර සේනානායක වගේ සාහිත්‍ය පරිචයක් තිබෙන අය ඉතා අලංකාරවත්ව පිටපත ලිව්වා වගේම ඒක කියවලත් බැලුවා මේ වචන කටට හුරුයිද කියලා . අද වෙද්දී මෙගා රැල්ල නිසා ඉක්මනින්ම ලියන්න ඕන. එවිට පොතක් කියවා ඒ ආශ්‍රයෙන් කරුණු ගන්න කාලයකුත් නැහැ. එහෙම ඉක්මනින් ලිවීමෙන් චරිතවල බර අඩු ගතියක් මම දකිනවා.


ප්‍රාසාංගික ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට අදහසක් නැද්ද...?


ඔබ කියන තෙක් මගේ ඔළුවට එහෙම අදහසක් නම් ආවේ නැහැ. බලමු. යම් ඇරයුමක් ආවොත් , හොඳ පිටපතක් ආවොත් දැන් තිබෙන ටෙලිනාට්‍යවලට වඩා හොඳ යමක් කරන්න හැකිවේවි කියා මම සිතනවා


රංගන දිවියේ ඔබට බලපෑමක් කළ, ඔබ කැමැති විශේෂ චරිතයක් තිබේද....?


මට රංගන දිවියේ විවිධ චරිත ලැබී තියෙනවා. ඒ චරිත එකකට එකක් වෙනස් වුණාට හැම එකකටම මම කැමැතියි. "අබුද්දස්ස කෝලම" නාට්‍යයේ පඬිතුමාගේ චරිතය , "සූටිගමරාල හා රයිගම් බණ්ඩා" නාට්‍යයේ රයිගම් බණ්ඩාගේ චරිතය, "මල්වඩම් අනවශ්‍යයි" හි මහතුන්ගේ චරිතය , මගේ "දෙයියොත් දන්නේ නෑ" නාට්‍යයේ කපුරුහාමිගේ චරිතය වගේ චරිතවලට කැමැතියි.. ඉහත කී චරිත මගේ වේදිකා රංගන දිවියේ සන්ධිස්ථාන. ටෙලිනාට්‍යවල නම් "දූදරුවෝ" හි විරිඳුකරුගේ චරිතයට ආසයි. කෝලම් කුට්ටමේ සිරිමාන්න මහත්තයාගේ චරිතයට කැමැතියි .


රංගන දිවියේ රඟපෑමට ආසාවෙන් සිටින චරිතයක් තිබේද...?


විවිධ චරිත මා රඟපා තිබෙනවා . මම හිතනවා මගේ චරිතවලට මම සාධාරණයක් කරනවා කියලා. ඒ සඳහා මම උපරිම සූදානම් වෙනවා , මහන්සි වෙනවා . එක් උදාහරණයක් කිව්වොත් මට අවුරුදු 21-22 වෙද්දී "අබුද්දස්ස කෝලම" රඟපාන්න ලැබුණා. ඒ කාලයේ මගේ වයස අවුරුදු 60ක් 70ක් වයසට ගියා වගේ වුණා. තරුණයෙක් වගේ ඉන්නවට වඩා මගේ ජීවිතයේ තිබ්බේ මම වයසට යනවට කැමැතියි වගේ දෙයක්. මහලු බවක් මගෙන් පේන්න තිබ්බා. මම ඕනෑම චරිතයක් කරන්න කැමැතියි. බොහෝඅය සිතා ඉන්නවා මට හාස්‍ය චරිත විතරයි කරන්න පුළුවන් කියලා. එහෙම නැහැ මට බැරෑරුම් චරිතත් කරන්න පුළුවන්. මම හාස්‍යජනක චරිත කළ නිසා බැරෑරුම් චරිතයක් කරන්න කැමැතියි.


සිනමාව තුළ ඔබේ භූමිකාව විස්තර කළොත්...?


මම මුලින්ම සිනමාවට ආවේ විජය ධර්මශ්‍රීගේ "ගුරු ගෙදර" චිත්‍රපටයෙන්.ඊළඟට සෝමරත්න දිසානායකගේ "සරෝජා" චිත්‍රපටයටත් උදයකාන්ත වර්ණසූරියගේ "ගිනිඅවි සහ ගිනිකෙළි", "බහුබූතයෝ" චිත්‍රපටවලටත් කඳපොළ කුමාරතුංගගේ "සමාවෙන්න මා රත්තරනේ" චිත්‍රපටයටත් ධර්මසිරි බණ්ඩාරනායක ගේ "බවදුක" චිත්‍රපටයටත් බන්දු සමරසිංහගේ "පීටර් වන්" චිත්‍රපටයටත් දායක වුණා. උදයකාන්තගේ "පුංචි සිංඥෝ" චිත්‍රපටයේ රඟපෑවත් එය තවම තිරගත වූයේ නැහැ. මතක හිටින චරිතයක් කළේ "පීටර් වන්" චිත්‍රපටයේ . චිත්‍රපටයේම මට තිබ්බේ වචන 02යි. ඒ චරිතයට මම කැමැතියි.


රංගනයේදී ඔබ ගුරුකොටගත් පිරිස සිහිකළොත්...?


මගේ ජිවිතයේ මට පළමුවෙන් හමුවුණු නාට්‍ය උපදේශකවරයා වුණේ ලෙස්ලි ෆොන්සේකා නමැති නාට්‍යවේදියා. ඔහු අද ජීවතුන් අතර නැහැ. ඔහු හොඳ සංගීතඥවරයෙක්. ඉන්පසු රෝහණ බැද්දගේ මට මුණගැසුණා . හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ මම ඉගෙනගන්න කාලයේ ඔහු එහි නැටුම් ගුරුවරයා වුණා. මම ඔවුන්ගෙන් යම් යම් උපදෙස් ලබාගත්තා . ඒවගේම හේමසිරි ලියනගේ නාට්‍යකරුවාගේ නාට්‍යවලත් ඔහු සමඟ වැඩකළා. විශේෂයෙන් ගාමිණී හත්තෙට්ටුවේගම නාට්‍යවේදියා සමඟ ලද ඇසුර ඉතා වටිනවා . ගාමිණී හත්තෙට්ටුවේගම, හේමසිරි ලියනගේ , රෝහණ බැද්දගේ යන තිදෙනා මගේ ජීවිතයේ අමතක නොවන තිදෙනෙක්. ඔවුන්ගේ නිර්මාණවලට මම ආසා කළා. ඒ නිර්මාණ සමඟ තමයි අපේ ජීවිත හැඩගැසෙන්නේ. ජීවිතය දෙස නැවත හැරීබලද්දී මම කිසිම දෙයක් ලෙහෙසියෙන් ලබාගත්ත කෙනෙක් නෙවෙයි කියලා පෙනෙනවා. සියල්ල ලබාගත්තේ බොහෝම මහන්සියෙන්.


ඔබ සම්මානයට පාත්‍රවූ අවස්ථා මතක් කළොත්...?


පෙර සඳහන් කළ පරිදි වේදිකා නාට්‍ය සංගීතයේදී බොහෝ අවස්ථාවන්හි සම්මානය ලක්වුණා. ඒවගේම පසුගිය වසරේදී කලාභූෂණ සම්මානය හිමිවුණා. කලාකරුවෙකුට ලැබිය හැකි උසස්ම රාජ්‍ය ගෞරවය එහිදී මට ලැබුණා . ඊට අමතරව යම් යම් සංවිධානවලින් පදවි, තනතුරු ලැබුණා. ඒවගේම මගේ පාසල වුණු පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයයෙන් මාව ඇගයීමට ලක්වුණා.කලාකරුවෙක් වශයෙන් වගේම ගුරුවරයකු වශයෙන්ද මගේ කාර්යයන් මිනිසුන් අතරට ගිහින් තියෙනවා .


බොහෝදෙනෙක් නොදත් ඔබේ ගීතනු නිර්මාණකරණය ගැන කතා කළොත්....? කොරෝනා කාලයේ ලස්සන පද මාලාවන් රැසක් මට ලැබී තිබුණා. ඒ කාලයේ නිකරුණේ කාලය ගතකරනවාට වඩා යම් නිර්මාණයක් කළ යුතුයි යන හැඟීමෙන් යමක් කළයුතුයි කියා සිතුණා. එසේ සිතා මම තෝරාගත් ගීතනු නිර්මාණ 20කට තනු යොදා තෝරාගත් 16කට සංයුක්ත තැටියක් එළිදැක්වුවා. එහි එඩ්වඩ් ජයකොඩි , චරිතා ප්‍රියදර්ශනී පීරිස් , බන්දුල විජේවීර, දයාන් විතාරණ , ජානක වික්‍රමසිංහ , රොඩ්නි වර්ණකුල, මාධනී මල්වත්තගේ , නිල්මිණී කෝට්ටගේ,සම්පත් බණ්ඩිහෙට්ටිගේ, මරියසෙල් ගුණතිලක වගේ අය ගීත ගායනා කළා..


කාලයක් ඔබ "සතුට" චිත්‍රකතා පත්තරයේ කාටුන් ශිල්පියෙක් විදිහටත් වැඩකළා.....?


මුලින්ම මගේ කලා භාවිතය ගැන සොයද්දී සාමාන්‍ය පෙළ කරන කාලයේදී මම දැනගත්තා මම චිත්‍ර අඳීන්න දක්ෂයි කියලා. ඒ කාලයේ තිබුණා "සතුට" නමින් චිත්‍රකතා පත්තරයක්. ඒ පත්තරයට මම කාටුන් කිහිපයක් ඇන්ඳා. පසුකාලය වෙද්දී හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට ගිහින් නාට්‍ය හා රංගකලාවට යොමුවුණාම මේ චිත්‍ර විෂයය මගෙන් ගිලිහුණා. නමුත් තවත් චිත්‍ර අඳීන්න පුළුවන් කියා මම හිතනවා


සරත් කුලාංග නම් ගායන ශිල්පියා වඩාත් ඉස්මතු වුණේ නැහැ නේද....?


ගායන ශිල්පියා ඉස්මතු වන අවස්ථා නම් අඩුයි. මම හිතනවා මම ගායකයෙක් නෙවෙයි කියලා. මගේ කටහඬ එතරම් මිහිරි නැහැ. මට මිහිරි තනු නිර්මාණය කරන්න පුළුවන්. මම දකිනවා මම නිර්මාණය කරන ගීත වෙනත් කෙනෙක්ගේ හඬින් ගයන්න පුළුවන් නම් ඒක තමයි විය යුත්තේ. කේමදාස වැනි අයත් ගීත ගායනා කළේ නැහැනේ. මම හිතනවා මම හොඳ ගීතනු නිර්මාපකයෙක් මිසක් හොඳ ගායකයෙක් නොවන බව.


ඔබේ ගුරු භූමිකාව ගැන සඳහන් කළොත්... ?


මම ලද අන්තිම වරප්‍රසාදය තමයි ගුරුවරයෙක් ලෙස සමාජයට සේවය කිරීම..මට 1979දී අළුත්ගම, ඉඳීගස්තුඩුව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස පත්වීමක් ලැබුණා. ඉන්පසු පාසල් කිහිපයකම සේවය කළා. අවුරුදු 36ක් ගුරු සේවයේ යෙදී 2014දී විශ්‍රාම යනවා තව අවුරුදු 04ක් සේවය කිරීමේ හැකියාව තිබියදීත්. වැඩකටයුතු අධික වීම නිසයි එසේ කල් ඇතිව විශ්‍රාම ගත්තේ. මගේ ගුරු භූමිකාව තුළ කලාවට දායාද කළ ඉතාම දක්ෂ ශිල්පි ශිල්පිනියෝ බොහෝ ඉන්නවා. ඒ අතර සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුත් ඉන්නවා. රූපවාහිනියේ, සිනමාවේ, වේදිකාවේ දක්ෂයෝ රැසක්මත් ඉන්නවා. ඒ ගැන ආපසු හැරිලා බලද්දී මගේ ගුරු භූමිකාව තුළ මම සතුටු වෙනවා. ගුරු භූමිකාව තුළ අවුරුදු 04ක් වගේ කාලයකදී මම තේරුම්ගත්ත දේ තමයි පාසල්වල ඉන්න ගුරුවරු ඉන්නේ ඉගෙනගන්න ළමයින්ට උගන්වන්න කියලා. මම කළේ මම උගන්වන අතරතුර සොයාබැලුවේ ඉගෙනගන්න බැරි ළමයින්ට ගුරුවරයෙක් වෙන්න. ඒක ඉතාම අවශ්‍ය වෙනවා. විශ්වවිද්‍යාලයට යන්නේ 1.7%යි. අනෙක් අයට මොකද වෙන්නේ. ඒ අයගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය මඟපෙන්වීම මම කර තියෙනවා. ඒ අතින් මම ඉතා සතුටට පත්වෙනවා අවුරුදු 36ක් තුළ මම සාර්ථක ගුරුවරයෙක් වීම ගැන.


ඔබේ ඉදිරි නිර්මාණ දායකත්වය කෙසේද...?


මම මේවෙද්දී කෝලම් කුට්ටමේ රූගතකිරීම්වලට සහභාගි වෙනවා. අලුත් ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. වේදිකාවේ නම් ජනක් ප්‍රේමලාල්ගේ "රාජකපුරු", "අබුද්දස්ස කෝලම" නාට්‍යවලත් ප්‍රියන්ත රංජන්ගේ "මල්වඩම් අනවශ්‍යයි , රූකඩ රාජ්ජේ, අන්ත:පුරය හොරුකඩයි" නාට්‍යවලත් අතුල වී. සමරවීරගේ "සූටිගමරාල සහ රයිගම් බණ්ඩා නාට්‍යවලත් මගේ "දෙයියොත් දන්නේ නෑ" නාට්‍යයත් එක්ක රටවටා යනවා. වේදිකා නාට්‍යයක් නිෂ්පාදනයට සැලසුම් කර තියෙනවා. තවම නමක් යොදාත් නැහැ . එහි පිරිමි චරිත 04යි ගැහැනු චරිතයයි තියෙන්නේ . එය හාස්‍යෝත්පාදක නාට්‍යයක්


ඔබගේ පවුලේ විස්තර කිව්වොත්...?


මගේ බිරිඳ නිලන්ති මාලා ප්‍රනාන්දු .මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුව නිර්මාණි ප්‍රභාෂ්වරී. පුතා තරිඳු ධනංජය ප්‍රනාන්දු . දුව මේ වෙද්දී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ ආචාර්යවරියක් ලෙස සේවය කරනවා. පුතා විදේශීය බැංකුවක ආපදා කළමනාකරු වශයෙන් සේවය කරනවා. දුවට දුවලාම දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව සඳලි පවිත්‍රා. අනෙක් දුව ජනනි දහම්සා.දුව විවාහ වුණේ සම්මානිත සිනමා අංගරචනා ශිල්පියෙක් වන විදුර අබේධීර සමඟ . ඔහු "සරිගම, සුනාමි" වැනි චිත්‍රපටවල අංගරචනා ශිල්පියා. පුතා විවාහ වුණ දියණිය දිලිනි ප්‍රනාන්දු . ඇයත් විදේශීය තානාපති කාර්යාලයක සේවය කරනවා. එයාලටත් පුතෙක් ඉන්නවා..ඔහු තෙහාන් ප්‍රනාන්දු . අපි සතුටින් ඉන්නවා.





Previous Post Next Post