ලැබෙන මල් පොකුරු වගේම ගල් මුල් දරාගන්න විදිහත් අප්පච්චි අපිට කියා දුන්නා- මාධවී වත්සලා




ඕනෙම තරාතිරමක ඉන්න ආදරණීය දරුවන්ට තමන්ගේ ලෝකයේ මුල්ම වීරයින් වෙන්නේ ආදරණීය මවුපියන්. ඒ වගේම දුවෙක්ගේ ලෝකයේ හැමදාමත් ආදරණීයම තැන හිමි වෙන්නේ තාත්තාට. තාත්තෙක් අහිමිවුණු දුවෙක්ගෙන් ඒ අහිමිවීම කොහොමද දරා ගන්නේ කියලා අහන එක තරම් අමාරු ප්‍රශ්නයක් තවත් නැහැ. පසුගිය සතියේ රටක් ලොවක් හඬවමින් දැයෙන් සමුගත් විස්මිත මිනිසා වන්නේ ජැක්සන් ඇන්තනී නම් යුග පුරුෂයායි. පුරාවෘත්තයක එක පරිච්ඡේදයක් නිම කරමින් දැයෙන් සමුගත් ජැක්සන් ඇන්තනීගේ එකම දියණිය මාධවී වත්සලා ඇන්තනී සිය අප්පච්චිගේ මතකය ගැන ආවර්ජනය කළේ මෙලෙසින්


අප්පච්චි ගැන තියෙන මතක අතරේ, අතීතයටම ගියොත්, මාධවීට මතකයට නැ‍ෙඟන්නෙ මොකක් ද?


මට හුඟක් පුංචි කාලෙ මතක රූප සටහන් එක්කලා මතකයි. අප්පච්චිට මම මුලින් කිවුවෙ “අක්කෝච්චි”. අම්මා කියන්නෙ එතකොට මට අවුරුදු එකහමාරක් වගේ ඇතිලු. මට ලොකු මල්ලි උපදිනවාත් මතකයි. අම්මගෙ කිරිවල පැණි රස අඩු වුණ නිසා මම එපා කිවුවා මතකයි. මල්ලි මට වඩා අවුරුදු 1 1/2යි බාලයි. ඔන්න ඔය කාලෙ අප්පච්චි මාව තුරුල් කරන් ඉන්නවට මම ආස බව මතකයි. අප්පච්චිගෙ සුවඳට මම ආසයි. මම අප්පච්චිගෙ දාඩිය සුවඳට කිවුවෙ “අප්පච්චි සුවඳ” කියලා. අප්පච්චි සැරයක් දිග කාලයක් ෂූටිංවලට පිට නවතින්න ගියාම මට උණ හැදුණා. අම්මගෙ දොස්තර සුදු මල්ලි (මගෙ සුදු මාමා) කිවුවෙ මට සාංකාව කියලා. අප්පච්චි ආපහු ගෙදර ආවේ අඬාගෙන. මං හිටියෙම අප්පච්චිගෙ ඔඩොක්කුවෙ. කොහොමත් වැඩිමල් කාලෙ දක්වාම වැඩට ගියාම අප්පච්චි ගෙදර එනකන් අපි මඟබලන් ඉන්නෙ. අප්පච්චි “මොනා ගෙනා මොනා ගෙනා?” අහගෙන පනින්න ඇඟට. කඩචෝරු, පාට පාට මැටි වළං සෙට්, සරසවි චිත්‍රාගාරෙන් නිල් මානෙල් පොකුරු. ගෙදර ආපු වෙලේ ඉඳන් බයිබලය, ධර්ම භාන්ඩාගාරය, හිතෝපදේෂය, වානර වික්‍රම, හත්පෙති මල, සුවිනීත අලි පැංචාගේ කතාව ආදී පොත්වළින් අපිට කතන්දර කියන්නෙ රූප මැවෙන විදිහට. අප්පච්චි අපි එක්ක එකතු වෙලා පැදුරෙ ඉඳන් චිත්‍ර අඳිනවා. මට ඒ හැකියාව හොඳින්ම පිහිටුවා. පස්සෙ මල්ලිලාගෙ අත්වැඩ පොත්වල සටහන් ඇඳලා දුන්නෙත් මම. අම්මා උගන්නන කවි සින්දු මං ලව්වා කියෝගන්න, මල්ලිලාගෙ දඟවැඩ කටකාර කතා අහන්න අප්පච්චි වෙනම වෙලාවක් වෙන් කරන් අපි එක්ක සෙල්ලම් කළා. මගෙ බාල කාලෙ මට දැනුනෙ මම හරි වැදගත් කියලයි. මොකද මං දැනන් හිටියා අප්පච්චිට මං නැතුව බෑ කියලා.


එක තැනක මම දැක්ක පුංචි කාලේ ඉදන් මම ජැක්සන් ඇන්තනීගේ දුව කියලා කියන්නෙ හරි ආඩම්බරයකින් කියලා ඔබ කියලා තියෙනවා. ඒ ආඩම්බරකාර අප්පච්චිගේ එකම දූ වීම කොහොමද දැනුණේ…


සතුටක්. ආඩම්බරයක්. සුපර් පවර් එකක්. මට කොහොම වුණත් මම මොනවා කළත් මට කවුරු නැතත් අප්පච්චි ඉන්න බව දැනුණා. මට කවදත් වෙන කවුරුත් ලොකු නෑ අප්පච්චි තරම්. අප්පච්චිගෙ හිත රිදෙවුව කෙනෙක් ජීවිතෙන් අතාරින්න මට අමාරු වුණේ නැහැ. ඒ වගේම අප්පච්චි වෙනුවෙන් ඕන දෙයක් අපි තුන් දෙනාම!


මල්ලිලා දෙන්නත් පවුලට ආවම තුන්දෙනා එක්කම ආදරේ බෙදුණාද, ඒ අප්පච්චිගේ ආදරේ ගැන කතා කළොත්


අප්පච්චි කියන්නෙ අප්පච්චි අපි එක්කෙනෙකුට 33 1/3ක් ආදරෙයි කියලයි. කොහොම වුණත් මල්ලිලා මං එක්ක තරහ වෙන්නෙ නෑ මං හැමදාම විශ්වාස කළාට මට අප්පච්චි වැඩියෙන් ආදරේ කරපු බව.


මොන ප්‍රශ්න දාගත්තත් මගෙ වාතේ කියලා ළඟට අරන් තුරුලු කරන් දුන් උපදෙස එදාටත් වඩා අද දැනෙනවා ඇති නේද?


ඔව් මතක් වෙනවා. මං ප්‍රශ්න නිසා වැටිලා කලකිරීමකින් ඉද්දි අප්පච්චි මට කිවුවෙ “ජීවිතේ දිහා දුරු රූපෙන් බලන්න පුතා” කියලා. එතකොට ළඟට හුඟක් ලොකුවට දැනෙන ප්‍රශ්න කුඩා වෙනවා කියලා. තව ජීවිතේ හරියට ගඟක් වගේ ලු. උල්පතය, ගඟ ය, ගං ගැට ය, ගං මෝය ය කියලා වෙන වෙනම ගන්න බෑ මුළු ගඟම එකක් ලෙස පෙනී හිටිනවා නිරන්තරයෙන් ගලා බසිනවා කිවුවා. සංසාරෙ වගේ ගඟ මුහුදෙන් ආපහු උල්පතට එනවා කිව්වා. මම අප්පච්චි එක්ක කරපු වට්සැප් මැසේජ් ආයෙ ආයෙ බලනවා. අප්පච්චි මට හැමදාම කිවුවා “මම පුතාට ඉන්නවා” කියලා. අන්තිම මොහොතේ අප්පච්චිට හුස්ම ගන්න බැරුව කෑගහනකොට කියලා තියෙන්නෙත් “දුවට එන්න කියන්න” කියලා. ඒ ඇයි කියලා මම දන්නවා.


අප්පච්චි, අන්තිම කාලේ මාධවීට කිවුවෙ හෝ කියන්න උත්සාහ කළේ මොනවාද?‍


හැමදාම කියපු දේවල් තමයි. වෙනසක් නෑ. “ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ” “කිසිවක් සිදු වී අවසන් වන්නෙ නැත. සියල්ල හැමවිටම සිදු වෙමින් පවතින්නේ ය” ඔය වගේ දේවල්. පවුල එකට ඉන්න කියලා අප්පච්චි කිවුවා. දවසක් ඉස්පිරිතාලෙ ගිහින් අප්පච්චි එක්ක කතා කර කර ඉඳලා මම වෙනම මල්ලි වෙනම ආවා කියලා අප්පච්චි ඉස්පිරිතාලෙ අය ලවුවා මට කෝල් කරවලා එන්න කිවුවා ආයෙ හැරිලා. එතකොට මමයි අඛිලයි එකට හිටියෙ. අප්පච්චි බය වෙලා මම තනියෙන් කියලා. අපි පණ කඩාගෙන දිව්වා රෝහලට. එයා අපිව එකට දැක්කම සැනසුම් සුසුමක් හෙළුවා. “මං හිතුවෙ දුව තනියෙන් ගියා කියලා. හරි පුතා කට්ටිය එකටම ඉන්න” කියලා හස්ත සංඥාවෙන් කියලා බෝඩ් එකේ ලියලා පෙන්නුවා. මොකද කටෙන් හුස්ම බටේ දාලා තිබ්බ නිසා එයාට කතා කරන්න බෑ ඒ දවස්වල.


අප්පච්චි ඉන්න කාලෙට වඩා අමාරුයි අප්පච්චිගෙ නම රැකගෙන පවුලක් විදිහට ජීවිතේ ගෙවන්න. මාධවීටත් එහි ලොකු වගකීමක් තියෙනවා. ඒ ගැන කිවුවොත්?


අපිව අප්පච්චි හැදුවෙම කලාකාරයො වෙන්න. ඒ ගමනෙදි ලැබෙන ගල් මුල් වගේම මල් පොකුරු දරාගන්න විදිහත් එයා කියා දුන්නා. ඉදිරියේදි මල්ලිලා සහ මමත් කසුනුත් කරන කලා කටයුතු නිසා අප්පච්චිව ආඩම්බර කරන්න අපිට පුළුවන් වෙයි. අපි මේ ගේම අතාරින්නෙ නැහැ. මං ගැන තව අධ්‍යාපන කෂේත්‍රයේ බලාපොරොත්තුවක් අප්පච්චිට තිබ්බා. මම ඒ කටයුත්ත ගැනත් දැන් හිතනවා.


ලෝකයා මොන කතා කිවුවත් ලොකුම පාඩුව පාළුව ගෙදරට, අප්පච්චි නැති අඩුව වචන කරන්න පුළුවන් ද?


කොහෙත්ම බැහැ. ඒත් ඒ අඩුව ගැන කියලා හඬා වැටුණු අති සාමාන්‍ය පුරවැසියෝ දහස් ගණනින් මගෙ අප්පච්චිට අවසන් ගෞරව දක්වන්න ආව බව අපි දැක්කා. කලා ක්ෂේත්‍රයට සාපේක්ෂව ඉතා වැඩි ප්‍රතිශතයක් ආවෙ අපි පුද්ගලිකව නොහඳුනන සාමාන්‍ය රසික ප්‍රජාව. අප්පච්චිව කුලක කරලා වෙනස්කම් නොකර එහෙම ආවෙ ආදරේ නිසාමයි. ආබාධිත අය, අන්ධ අය, රෝද පුටුවලින් පවා අප්පච්චිට වැඳලා යන්න ආවා. හුඟක් දුර ඉඳන්. රට රටවල්වලින් පවා. කෙනෙක් අවුරුදු ගාණකට පස්සෙ හිරෙන් නිදහස් වෙලා කෙළින්ම ආවෙ අප්පච්චි බලන්න. අප්පච්චි විවිධ උදවු කරපු අය අපිට ඒ ගැන කිවුවා අපි දන්නෙත් නෑ ඒවා. එයා ආදරේ කළේ අපිට විතරක් නෙවෙයි. අප්පච්චිගෙ ගෝල බාලයෝ අප්පච්චිට ආදරේ කරන්නෙත් අපි වගේමයි. ඉතිං පාඩුව ගෙදරට විතරක් නෙවෙයි. මුළු රටටමයි.


දවසක් සතියක් මාසයක් තිස්සෙ කතා කරන්න කියන්න දේ ඇති, නමුත් මේ කෙටි ලිපිය අවසානයට අප්පච්චි ගැන කියන්න දෙයක් ඇති


මගෙ අප්පච්චි හරිම අහිංසක දුප්පත් මිනිහෙක්. එයා රැස් කළේ පොදි ගැහුවේ දැනුම, ආදරේ, ගෞරවය මිසක් සල්ලි පොකුරු, දේපොළ නෙවෙයි. ඉතින් අපිට මේ කටයුතු ඉහළින් කරගන්න මුදලින් උදවු කරපු හැමෝටම හිඟක් ස්තුතියි. අප්පච්චි ට “සකල කලා සක්විති” නම් විරුධ නාමය දුන්නට මහාචාර්ය සුනිල් ආරියරත්නට ස්තුතියි. අප්පච්චි සී රජ ටෙලිනාට්‍ය වෙනුවෙන් මට ලියා දුන් ගීය අද දවස දැකලා ලිවුවා වගේ. ඒ වචන ටික තමයි මගෙ උදාන වාක්‍යය…


අනුෂා රණසිංහ





Previous Post Next Post