ආදරය ගැන අත්දැකීමක් තිබුණා-කනුෂ්කි ප්‍රේමචන්ද්‍




තුෂාර තෙන්නකෝන්ගේ ‘මල් පිපෙන කාලේ‘ ටෙලි නිර්මාණයෙන් කලාවට පිවිසි නිවුන් රංගන ශිල්පිනියන් දෙදෙනා ඔබට අමතක නැතුව ඇති. නිල් නෙතු සහ පිනිමුතු ලෙසින් ඔබ ආදරයෙන් වැලඳ ගත් ‘මල් පිපෙන කාලේ‘ වර්ණවත් කළ මේ පියකරු යෞවනියන් දෙදෙනා නමින් අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍රය. සංජය වෙදආරච්චිගේ ‘සිත්‘ ටෙලි නිර්මාණයේ ශයිනි සහ අංජනා වූ ඔවුන් පසුගියදා පැවැති බ්‍රිටිෂ් වේ පීපල්ස් අවෝර්ඩ්හි වසරේ ජනප්‍රියම නර්තන ශිල්පිනියට හිමි සම්මානය ද හිමි කර ගත්තාය. අද අපේ කතාබහට එක්වන කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන තුෂාර තෙන්නකෝන්ගේ නිකිණි කුසුම්හි සකුණි ලෙසින් ඔබ හමුවන්නීය.


කනුෂ්කි මේ දවස්වල අපට හමුවන්නේ නිකිණි කුසුම් ටෙලි නිර්මාණයේ. මේ ඔබ තනිව සම්බන්ධ වුණු ප්‍රථම අවස්ථාව නේද?


ඇත්තටම ඔව්. නිකිණි කුසුම් කියන්නෙත් තුෂාර සර්ගෙම නිර්මාණයක්. අක්කයි, මමයි ක්ෂේත්‍රයට එන්නේ ඔහුගේම මල් පිපෙන කාලේ ටෙලි නිර්මාණයෙන්. ඊට පස්සෙ අපි දෙන්නම සංජය වෙදආරච්චිගේ සිත් ටෙලි නිර්මාණයට වගේම ඇන්ජලෝ කුරුප්පු මිස්ගෙ සේපාලිකා ටෙලි ෆිල්ම් එකට සම්බන්ධ වුණා. මේක තමයි තනිව සම්බන්ධ වුණු පළමු අවස්ථාව. කතා කරපු සමහර නිර්මාණ තිබුණා චරිතය නිවුන් චරිත බවට පත්කරලා ස්ක්‍රිප්ට් එක වෙනස් කරපු. මේ කණ්ඩායම එක්ක මං වැඩ කරල තිබුණ නිසා කැමැත්තෙන්ම භාර ගත්තා. මේ කැරැක්ටර් එකට මං ආසයි.


පවුල් පසුබිමෙන් සපෝට් එකක් නැතුව රංගනයට පිවිසි ඔබ දැන් යම් ස්ථාවරත්වයක ඉන්නවා කිවුවොත්?


පාසල් යන කාලෙ කලා කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා. පොඩි කාලෙ අපි දෙන්නව කාටවත්ම වෙන්කරල අඳුනගන්න බෑ. හැමෝම නිතරම කිවුවෙ ඔය දෙන්න හොඳ රඟපාන්න කියලා. අපිට නම් ඒ ගැන අදහසක් තිබුණෙ නෑ. ඒත් එකම දේ නිතර නිතර ඇහෙද්දි අපේ හිතෙත් ඒ පැත්තට කැමැත්තක් ඇති වුණා. ඔය අතරෙ තමයි සංජය වෙදආරච්චි අයියගෙ සිත් ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ. අපි මෙහෙම නිවුන් අයගෙ ටෙලි නාට්‍යයක් කරනවා ඔයාල සම්බන්ධ වෙන්න කැමැතිද කියලා. අපිත් කැමැත්තෙන්ම භාර ගත්තා. ඒකෙ ෂූටින් යන අතරේ තමයි තුෂාර තෙන්නකෝන් සර්ගෙ මල් පිපෙන කාලෙට ආරාධනා ලැබෙන්නේ. කලින් විකාශය වුණේ මල් පිපෙන කාලේ නාට්‍යය.


නිකිණි කුසුම්හි සකුණි කියන්නෙ මොන වගේ චරිතයක්ද?


සකුණි රත්නායක කියන්නේ අවංක හිත හොඳ තරුණියක්. අම්මා තාත්තාගෙ දික්කසාදෙන් පස්සෙ ලොකු මානසික පීඩනයකට ලක්වෙන සකුණි බොහෝ දේවල් දරාගන්නෙ තනිවම. තාත්තගෙ දෙවැනි විවාහයත් එක්ක සකුණිගෙ මානසික තත්ත්වය තවත් අවුල් වෙනවා. තාත්තගෙ දෙවනි කසාදෙ බිරියට ඉන්නෙ පොඩි දුවක්. අම්ම තාත්තගෙ කාර්යබහුලත්වය හමුවේ තනිවෙන ඒ ළමයා ගැන හොයල බලන්නෙත් සකුණි. මේ නිසා දෙන්න අතරේ ලොකු ළෙන්ගතුකමක් ගොඩනැඟෙනවා. සකුණි කැම්පස් යන්න පටන් ගැනීමත් එක්ක බෝඩිම් ජීවිතේ තෝරගන්නවා. බෝඩිමේ කැම්පස් එකේ අත්විඳින දේ එක්කයි කතාව දිවෙන්නේ. ළමයෙකුට අවශ්‍ය ආදරය, අවධානය වගේ දේවල් නැති වුණහම ඔවුන් මුරණ්ඩු වෙන විදිහ වගේම ඔවුන්ට ආදරය ලැබෙන තැනට ඇදිල යන විදිහ හොඳින්ම නිරූපණය වෙන නිර්මාණයක්. කොතරම් කාර්යබහුල ජීවිත ගත කළත් මවුපියන් තම දරුවන් වෙනුවෙන් කාලයක් වෙන් කළ යුතුයි කියන පණිවුඩයත් මේකෙන් සමාජගත කරන්න උත්සාහ කරනවා.


හැම නිර්මාණයකදීම වගේ අක්කා අනුෂ්කි ඔබත් එක්ක හිටියා නේද?


ඔව්, පහුගිය හැම එකේම එයා හිටියා. මේකෙ නැති වුණත් මගේ කොස්ටියුම් තෝරලා, ස්ක්‍රිප්ට් එක කියවලා එයා මට ලොකු සපෝට් එකක් දෙනවා . එයා හිටිය නම් ලොකු කන්ෆිඩෙන්ස් එකක් තියෙනවා.


දෙන්නම එකම වගේ නිසා නිර්මාණවලදි අධ්‍යක්ෂවරුන්ට පැටලිලා නැද්ද?


ඒක නම් වෙනවා. සමහර වෙලාවට අනුෂ්කිගෙ කැරැක්ටර් එකේ දේවල් මට කියන අවස්ථා තියෙනවා. ඇන්ජලෝ කුරුප්පු මිස්ගෙ සේපාලිකා ටෙලි ෆිල්ම් ඒකේ අපි දෙන්න ඉන්නෙ කිරි කපන ගැමි තරුණියන් දෙන්නෙකුට. සමහර වෙලාවට අක්කගෙ ඔළුවට දාන්න ඕන එක මට දානවා. ඒකෙ මම නෙළුම්. අක්කා සේපාලිකා. සේපාලිකා මෙතන මෙහෙම කරන්න කියල මට චරිතෙ විස්තර කරනවා. ඒ වගේ පැටලිලි ඕන තරම් වෙනවා.


ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?


අපි දෙන්නම සම්බන්ධ වෙන අලුත් ඩ්‍රාමා දෙකක් දැනට භාර අරන් තියෙනවා. ඉදිරියෙදි නැවතත් අපි දෙන්නව එකට බලාගන්න පුළුවන් වේවි. අපි දෙන්නගෙ යූ ටියුබ් චැනල් එකේ වැඩත් කෙරීගෙන යනවා. අපි දෙන්නගෙ කාවල්ලා ඩාන්ස් එක මාසෙකටත් අඩු කාලෙකදි මිලියනයක් බලල තිබුණා.


ආදරය ගැන කනුෂ්කිට තියෙන්නෙ මොන වගේ අත්දැකීමක්ද ?


ආදරය ගැන අත්දැකීමක් තිබුණා. දැන් ඒක නෑ. දැනට හිතන්නෙ කලා කටයුතු ගැන. ඉස්සරහට බලමුකො ඉතින්.


නාමලී ගමගේ




Previous Post Next Post