කතුරු මිතුරු බලද්දී අෙන් තාත්තාත් හිටියා නම් හිතුණා -විජය නන්දසිරිගේ පුත් රසාංජන නන්දසිරි




රසාංජන - අවුරුදු පහකට පෙර ඔබ රඟපෑ ''කතුරු මිතුරු'' චිත්‍රපටය ඉතා සාර්ථක ලෙසින් තිරගත වෙනවා. මොකද හිතෙන්නේ...?


ගොඩක් සතුටුයි. කතුරු මිතුරු කියන්නේ මගේ ජීවිතයේ පළවෙනි සිනමා නිර්මාණයයි. පුංචි කාලේ ඉඳන් මම වේදිකා නාට්‍ය ඇසුරේ ජීවත්වුණ කෙනෙක්. මගේ මුල්ම කලා නවාතැන වුණේ වේදිකාවයි. මගේ තාත්තාත්, අම්මාත් කලාවට බොහෝම ආදරෙයි. ළෙන්ගතුයි. ඉතින් එයම මම කලාවට සම්බන්ධ වෙන්න හේතුවුණා. 2018 අවුරුද්දේදී තමයි මගේ පළමු සිනමා නිර්මාණය වුණේ. ''කතුරු මිතුරු'' චිත්‍රපටය සඳහා ගිරිරාජ් කෞෂල්‍ය මහතාගේ ඇරයුම ලැබුණා. මේ සිනමා නිර්මාණයත් අපේ තාත්තා ඇසුරෙන්ම නිර්මාණය කරන්න තමයි ඔහුගේ බලාපොරොත්තුව වෙලා තිබුණේ. නමුත් තාත්තා නැතිවුණාට පස්සේ කෞෂල්‍ය මාමාට ''පුතාව හරි පොඩි චරිතයකට ගන්නවා'' කියලා අදහසක් එන්න ඇති. ඒ ආරාධනාව මම හරිම සතුටින් බාරගත්තා. වේදිකා නාට්‍යවල, ටෙලිනාට්‍යවල හිටපු මට කතුරු මිතුරු පළමු නිර්මාණය වුණා. මේක අවුරුදු පහකට පෙර කරපු චිත්‍රපටයක්. ඉතින් අද ලැබෙන ප්‍රතිචාරත් එක්ක ගොඩාක් සතුටු වෙනවා.


අවුරුදු පහක් ගතවුණා. මේ ගෙවුණ අවුරුදු පහ තුළ වෙනත් නිර්මාණවලටත් ආරාධනා ලැබුණාද?


ඔව්. නිර්මාණවලට ආරාධනා ලැබුණා. නමුත් ඒ සිනමා නිර්මාණවලට මම සම්බන්ධ වුණේ නැහැ. මේ නිර්මාණය ආවට පස්සේ තමයි තවත් කලා කටයුතු කරනවද නැද්ද කියලා මම තීරණය කරන්නේ කියලයි හිතුවේ. වැඩිපුරම ටෙලිනාට්‍යවලට තමයි ආරාධනා ලැබුණේ. නමුත් ටික කාලයක් ඉන්න මට ඕනෑවුණා. 2019-2020 කියන්නේ රටේ වාතාවරණය එතරම් හොඳ කාලයක් වුණේ නැහැ. ඒ වගේම මගේ වැඩකටයුතුත්  ඒ කාලේ සෑහෙන්න තිබුණා. ඒ නිසා ඉදිරියට බලමු. අසාවෙන් අපි කරපු දෙයක් රස විඳින්න අපිත් කැමැතියි. ඉතින් ප්‍රවීණ, ජ්‍යෙෂ්ටයන් බොහෝමයක් එක්ක ''කතුරු මිතුරු'' හරහා මට වැඩකරන්න ලැබුණා. ඉතින් ඉතා ආසාවෙන්, පුදුම කැමැත්තෙන් මේ නිර්මාණයට දායක වුණේ.


දේවිකා මිහිරානි, ඔබේ ආදරණීය මව. ඇය තමයි පුංචි තිරයේ පළමුවැනි නිළිය. ඒ දිමුතුමුතු ටෙලිනාට්‍යයෙන්. අදටත් ඇයට ප්‍රේක්ෂකයින් ආදරෙයි. රසාංජන පුංචි තිරයට අකමැති ඇයි?


එහෙම අකමැත්තක් නැහැ. ඇය තමයි දකුණු ආසියාවේ ප්‍රථම ටෙලිනාට්‍ය නිළිය වෙන්නේ. දිමුතු මුතු මමත් බලලා නැහැ. එතකොට මගේ අක්කා බලලත් නැහැ. අම්මගේ කලාව ටෙලිනාට්‍යයයි. එක රුයකින් ඒ ආදරය, ජනප්‍රියත්වය ගන්න පුළුවන් කලාවක්. මගේ තාත්තා වේදිකාවෙන් සිනමාවට ඇවිත් එතනින් ටෙලිනාට්‍යයට ආපු කෙනෙක්. ඔහු මේ ක්ෂේත්‍ර තුනේම හිටපු කෙනෙක්. මේ දෙන්නම මේ විෂයන්වල ප්‍රවීණයන්. ජ්‍යෙෂ්ඨයන්. ඉතින් මමත් මුලින්ම වේදිකා නාට්‍යවල පොඩි පොඩි චරිතවලට එකතුවුණු කෙනෙක්. 2000 අවුරුද්දේදි වේදිකා ආලෝකකරණයෙන් තමයි මම වේදිකා නාට්‍ය කලාවට සම්බන්ධ වුණේ. අම්මයි තාත්තයි දෙන්නම ඒ කාලේ වේදිකා නාට්‍යවල ඉඳිද්දී මගේ අක්කත් වේදිකා නාට්‍යවල පොඩි චරිත රඟපෑවා. ඇය වේෂ නිරෑපණ ශිල්පිනියක්. ඉතින් අපේ මුළු පවුලම වේදිකාවට කැපවුණ අයයි. හැබැයි කිසිම වෙලාවක මට කලාවට එන්න කියලා අම්මවත් තාත්තවත් කිව්වේ නැහැ. ඒ නිසා මම පුංචි තිරයට කවදාවත් අකමැති කෙනෙක් නෙමෙයි. හැබැයි වේදිකා ආලෝකකරණය මම ආසාවෙන් ඉල්ලලා ගත්තු දෙයක්.


වේදිකා ආලෝකකරණයට කැමැත්තෙන් හිටපු රසාංජන රංගනයට එකතු වුණේ කොහොමද?


ඒ කාලේදී මම වගේ පොඩි ළමයෙක්ට ආලෝකකරණ භාණ්ඩ අතපත ගාන්න කිසිම කෙනෙක් දෙන්නේ නැහැ. හැබැයි මට ඒ අවස්ථාව ලැබුණා. මට තාක්ෂණය පැත්තෙන් ඉගෙන ගන්න පුදුම ආසාවක් තිබුණා. රඟපානවට වඩා වේදිකා ආලෝකකරණය, ශබ්ද පරිපාලනය වගේ දේවල්වලට ගොඩක් කැමැති වුණා. ඒ දේවල් ඉගෙන ගත්තා. ඉස්සර පිටරටකට වේදිකාවක් අරගෙන යද්දි බොහෝ පිරිසක් අරගෙන යන්න බැහැ. ඉතින් මාවත් ඔය ඉගෙන ගන්න වේදිකා ආලෝකකරණයට, ශබ්ද පරිපාලනයට අරගෙන ගියා. 2003 අවුරුද්දේදි තාත්තාගේ ''වෘෂභරාජ'' වේදිකා නාට්‍යයෙන් මාත් වෙනදා වගේම මගේ කොටස කළා. ඒ දවසේ එක් චරිතයකට පණපොවන නළුවෙක් එකපාරටම නොකියාම අතුරුදන් වුණා.... ඔහු නොකියාම කොහාටද ගිහින්. පුද්ගලයාව හොයාගන්න බැරි නිසා ''කමක් නැහැ. ඒ කොටස අයින් කරලා අපි නාට්‍යය කරගෙන යමු'' කියලා තාත්තා කිව්වා. කොහොම හරි කුමාර අංකල් (කුමාර තිරිමාදුර) මාව පුංචි කාලේ ඉඳන්ම හඳුනාගත්ත කෙනෙක්. ඉස්සර හැම වේදිකා නාට්‍යයම තාත්තයි, අම්මයි පිටපත් පුහුණු වුණේ මායි අක්කයි එක්කයි. අපි ඒක පුදුම ආසාවෙන් කරපු දෙයක්. ඉතින් කුමාර අංකල් අපි ''කොල්ලව ලෑස්ති කරලා ගමු'' කියලා මාව ඒ චරිතයට ලෑස්ති කළා.


රසාංජන ඒ චරිතයට සූදානම් වෙන බව තාත්තා දැනගෙන හිටියාද?


නැහැ. කුමාර අංකල් මාව ඒ චරිතයට සූදානම් කරනවා කියලා තාත්තා දැනගෙන හිටියේ නැහැ. ඒ වෙද්දි ඒ හැම නාට්‍යයකම දෙබස්, ගීත මටයි අක්කටයි කටපාඩම් වෙලයි තිබුණේ. අපි ගිරව් වගේ ඒ දෙබස් කියවනවා. ඒක කුමාර අංකල් දැනගෙන හිටියා. සාමාන්‍ය විදිහට වේදිකා නාට්‍යය වේදිකා ගතවුණා... අක්කා මාව චරිතයට සූදානම් කළා. අම්මා දැනගෙන හිටියා. හැබැයි ඒ නාට්‍යයේ අම්මත් රඟපාපු නිසා එයත් කාර්යබහුලයි. ඔන්න කුමාර අංකල් සොල්දාදුවා විදිහට රඟපාන නිසා නාට්‍යයේ විදිහට මගේ චරිතය ඇඳගෙන වේදිකාවට එන්න එන මුල්ම කොටසේදී මම පොඩි නිසා කුමාර අංකල් මාව උස්සගෙන ඇවිත් වේදිකාව මැද අතහැරියා. තාත්තා පුදුම වුණා. එදා තාත්තා මගේ දිහා බලාගෙන හිටපු හැටි මට තාම මතකයි. හැබැයි මට වෙනසක් නෑ. මම ඒ චරිතය හොඳට කළා. මම දෙබස් ටික හරියටම කිව්වා. තාත්තාට ලේසියෙන් දෙබස් අමතක වෙන්නේ නැහැ. හැබැයි එදා තමයි තාත්තට දෙබස් අමතක වුණ මුල්ම දවස වුණේ. මම මගේ දෙබස් වගේම තාත්තාගේ දෙබස් හෙමීට එයාට මතක් කරලා දුන්නා. ඒ තමයි මගේ මුල්ම වේදිකා නාට්‍යය වුණේ.  එතකොට මට වයස අවුරුදු නවයක් විතර ඇති. මට තාම මතකයි වේදිකාවේ තිරය කොනකට වෙන්න අම්මා ඇඬුවා. මගේ තාත්තා වේදිකාව උඩ පුදුමාකාර සංවේදී මනුස්සයෙක් වුණා.


'කතුරු මිතුරු'' චිත්‍රය සිනමා තිරයෙන් දකිද්දී බොහෝ දෙනෙකුට විජය නන්දසිරි නම් ප්‍රතිභාපූර්ණ කලාකරුවාව මතකයට නැගුණා. රසාංජනටත් එහෙම මතකයට නැඟෙන්න ඇති...?


ඇත්තටම මට මතක් වුණා. එදා දවසේ විතරක් නෙමේ අද දවසට වුණත් රෑපවාහිනියෙන් මට තාත්තාගේ කටහඬ ඇහෙනවා. ඒ අම්මා රෑපවාහිනියෙන් මොකක් හෝ චැනල් එකක පරණ ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් නරඹනවා. ඒ මුලින්ම චිත්‍රපටය 2019 අවුරුද්දේදී ජාතික චිත්‍රපට සංස්ථාවේදී මුලින්ම චිත්‍රපටය බලන්න යනකොට මගේ චිත්‍රපටයකටත් වඩා මට මගේ තාත්තාව මතක් වුණා. අපි එක පවුලක්. තාත්තාගේ දින දර්ශනය, දැනගෙන හිටියේ මගේ අම්මයි. තාත්තාට එතනදීවත් හිතන්න අම්මා ඉඩ දුන්නේ නැහැ. තාත්තා පුදුම ආසාවෙන්, නිරවුල්ව, කැමැත්තෙන් නිදහසේ වැඩටික කරපු කෙනෙක්. තාත්තාගේ නිල්පාට ප්ලාස්ටික් බෑග් එක හරි ප්‍රසිද්ධ  එකක්. ඒකේ හදිස්සියකට කන්න නැත්නම් ඕනෑම නළුවෙක්ට ඒකෙන් බිස්කට්, චීස් කන්න තිබෙනවා. එදා මට මුලින්ම ෆිල්ම් එක බලද්දී ''අනේ අද තාත්තා හිටියනම්'' කියලා හිතුණා. මගේ මුල්ම ගුවන් ගමන ආරම්භ කරද්දීත් මගේ තාත්තා හිටියේ නැහැ. එදාත් මට තාත්තාව මතක් වුණා. කලාවත් එක්ක අපි හැම මොහොතකම හිටියා. හැබැයි තාත්තා නැතිවුණාට පස්සේ තමයි මට සිනමා නිර්මාණයකට දායක වෙන්න ලැබුණේ. ඒ දුක මට තිබුණා. ඉතින් මාව මේ නිර්මාණයට දායක කරගත්තු ගිරිරාජ් කෞෂල්‍ය මහතාටත්, මට බොහෝ උදව් කළ, ආශීර්වාද කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාටත් ගොඩාක් ස්තූති කරනවා.


තාත්තා අද ජීවතුන් අතර නැතත් රසාංජනගේ ජීවිතේ අද ලොකුම හෙවනැල්ල අම්මා..?


ඔව්. ඒක ඇත්ත. අද විතරක් නොවෙයි මගේ පාසැල් කාලයේදී පවා ඒ හෙවනැල්ල මට තිබුණා. ඉස්සර මගේ පාසැලේ දෙමව්පිය රුස්වීම්වලට අම්මා තමයි ආවේ. ඒ කාලේ තාත්තා ඉස්කෝලෙට ආවේ නැහැ. එහෙම රුස්වීමකට ආවම රුස්වීම පැත්තකින් තියලා ටීචර්ලා තාත්තා එක්ක කතාබහ කරනවා. මම ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විදුහලේ. මම කොහොමත් දඟයි. ඒ නිසා මගේ දඟ වැඩ අහුවෙච්චි දවසකට මම තාත්තාව ඉස්කෝලෙට ගෙන්වා ගන්නවා. එතකොට රුස්වීම් වෙන්නේ නැහැ. මගේ වැරදිත් අමතකයි. ඉස්සර මට ඉස්කෝලේදී ''පුංචි ප්‍රේමචන්ද්‍ර'' කියලයි කිව්වේ. ඉතින් දෙමව්පිය රුස්වීම්වලට අම්මා වැඩිපුරම ආවා. අදටත් ඒ හයිය අම්මගෙන් මට ලැබෙනවා.


කලා පවුලක ඉපදුණු කලා ක්ෂේත්‍රයත් අතපත ගාපු රසාංජන වෘත්තියෙන් ගුවන් නියමුවෙක්?


ඔව්. අම්මයි තාත්තයි ජීවිතයටත් මටවත්, අක්කටවත් තහංචි බලපෑම් කළේ නැහැ. පුංචි කාලේ ඉඳන් මම තාක්ෂණය පැත්තට කැමැතියි. අපි වේදිකා නාට්‍යයත් එක්ක ලෝකේ බොහෝ රටවල්වල ගිහින් තිබෙනවා. සමහර රටවල්වල කිහිප වතාවක්ම ගිහින් තිබෙනවා. ඕස්ට්‍රේලියාවට පවා සම්පූර්ණ වේදිකා නාට්‍යයක් විදිහට ලංකාවේ ගියේ තාත්තාගේ වේදිකා නාට්‍යයෙන්. ඔහොම ගුවන් යානාවල යද්දී මගේ ලොකුම ආසාව වුනේ ඒ ගුවන්යානය ගැනයි. ඉතින් මට මුලින්ම ඒ ගමනේදී ගුවන් නියමු කුටියට යන්න අවස්ථාව ලැබුණා. ඒ දිහා මම හරිම ආසාවෙන් බලාගෙන හිටියා. ඉතින් එදා ඉඳන් මටත් ලොකුම හීනය වුණේ ගුවන් නියමුවෙක් වෙන්නයි. සාමාන්‍ය පෙළ කරද්දියි අම්මයි, තාත්තයි ''ලොකු වුණාම කවුද වෙන්නේ'' කියලා ඇහුවා. එතකොට මම ''ගුවන් නියමුවෙක් වෙන්න ඕනේ'' කියලා කිව්වා. ඒක වගකීම් සහිත රස්සාවක් කියලා තාත්තා දැනගෙන හිටියා. හැබැයි තාත්තාවත් අම්මවත් ඒකට අකමැති වුණේ නැහැ.


► දිශානි ජයමාලි




Previous Post Next Post